යොෂුවා 11:1-23

  • උතුරේ තිබුණ නගර යටත් කරගනියි (1-15)

  • යොෂුවා යටත් කරගත්ත ප්‍රදේශ (16-23)

11  ඊශ්‍රායෙල්වරු කරපු දේවල් ගැන හාෂොර් නගරයේ යාබින් රජට ආරංචි වුණාම එයා මාදොන්+ නගරයේ රජ වුණ යෝබාබ්ටයි, ෂිම්රොන් සහ අක්ෂාප්+ කියන නගරවල රජවරුන්ටයි පණිවිඩ යැව්වා.  උතුරු පැත්තට වෙන්න තියෙන කඳුකර ප්‍රදේශයේ, කින්නෙරෙත්වලට* දකුණෙන් තියෙන ප්‍රදේශයේ,* පහත් බිම්වල* සහ බස්නාහිර පැත්තට වෙන්න තියෙන දෝර්+ කඳු බෑවුම්වල හිටිය රජවරුන්ටත් එයා පණිවිඩ යැව්වා.  නැඟෙනහිර සහ බස්නාහිර පැතිවල හිටපු කානානිවරුන්ටත්+ කඳුකර ප්‍රදේශවල හිටපු අමෝරිවරුන්,+ හිත්තීවරුන්, පෙරිස්සිවරුන් සහ යෙබූසිවරුන්ටත් හෙර්මොන්+ කන්ද පාමුල තිබුණ මිෂ්පා දේශයේ හිටපු හිවීයවරුන්ටත්+ එයා පණිවිඩ යැව්වා.  ඒ රජවරු හැමෝම එයාලාගේ හමුදා රැස් කරගෙන අශ්වයන් සහ අශ්ව රථ විශාල ප්‍රමාණයක් එක්ක පිටත් වුණා. පිටත්ව ආපු ඒ සෙනඟ හරියට මුහුදු වෙරළේ වැලි වගේ හිතාගන්නවත් බැරි තරම් විශාලයි.  ඒ රජවරු කලින් කතා කරගත්ත විදිහට එක තැනකදී හම්බ වුණා. පස්සේ එයාලා හැමෝම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න මෙරොම් දිය උල්පත් ළඟ කඳවුරු බැඳගත්තා.  ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “ඒ හමුදාවට බය වෙන්න එපා.+ හෙට මේ වෙලාව වෙද්දී මං ඒ හැමෝවම ඔයාගේ අතට අහු කරලා දෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම එයාලා හැමෝවම විනාශ කරනවා. එයාලාගේ අශ්වයන්ගේ කකුල් තුවාල කරලා+ අශ්ව රථවලට ගිනි තියන්න.”  ඊටපස්සේ යොෂුවා එයාගේ මුළු හමුදාවත් එක්ක මෙරොම් දිය උල්පත් ළඟට ගිහින් සතුරන් හිතන්නෙවත් නැති වෙලාවක එයාලට පහර දුන්නා.  යෙහෝවා එයාලව ඊශ්‍රායෙල් හමුදාවගේ අතට අහු කරලා දුන්නා.+ ඊශ්‍රායෙල්වරු විශාල නගරයක් වුණ සීදොන්+ දක්වාත් මිස්රෙපොත්මායිම්+ දක්වාත් නැඟෙනහිර පැත්තේ තියෙන මිෂ්පේ නිම්නය දක්වාත් එයාලාගේ සතුරන්ව පන්නගෙන ගිහින් ඒ හැමෝවම මරලා දැම්මා.+  ඊටපස්සේ යොෂුවා යෙහෝවා දෙවියන් කියපු විදිහටම එයාලාගේ අශ්වයන්ගේ කකුල් තුවාල කරලා අශ්ව රථවලට ගිනි තිබ්බා.+ 10  ඊටපස්සේ යොෂුවා ආයෙත් හැරිලා හාෂොර්වලට ගිහින් ඒක යටත් කරගෙන ඒකේ රජව කඩුවෙන් මරලා දැම්මා.+ මොකද යොෂුවා විනාශ කරපු ඒ හැම රාජ්‍යයක්ම තිබුණේ හාෂොර් නගරයේ පාලනය යටතේ. 11  ඊශ්‍රායෙල් හමුදාව එහේ හිටපු හැමෝවම කඩුවෙන් මරලා දැම්මාට පස්සේ+ එයා හාෂොර් නගරයට ගිනි තිබ්බා. එහේ හිටපු එක් කෙනෙක්වවත් යොෂුවා ඉතුරු කළේ නැහැ.+ 12  යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ආපු ඒ හැම රාජ්‍යයක්ම යටත් කරගෙන එයාලාගේ රජවරුන්ව කඩුවෙන් මරලා දැම්මා.+ යෙහෝවාගේ සේවක මෝසෙස් අණ කරපු විදිහටම යොෂුවා ඒ හැම කෙනෙක්වම මරලා දැම්මා.+ 13  ඒත් හාෂොර් හැර උස්බිම්* මත ඉදි කරලා තිබුණ වෙන කිසිම නගරයකට යොෂුවා ගිනි තිබ්බේ නැහැ. 14  ඊශ්‍රායෙල්වරු ඒ නගරවල හිටපු හැමෝවම කඩුවෙන් මරලා දැම්මා.+ එයාලා එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ.+ ඒත් ඊශ්‍රායෙල්වරු ඒ නගරවල තිබුණ වටිනා දේවල් සහ ඒවාවල හිටිය සත්තුන්ව අරගත්තා.+ 15  යෙහෝවා තම සේවක මෝසෙස්ට කරන්න කියපු හැම දෙයක්ම මෝසෙස් යොෂුවාට දැනුම් දීලයි තිබුණේ.+ යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම යොෂුවා කළා. ඒ හැම දෙයක්ම එයා අකුරටම පිළිපැද්දා.+ 16  ඔය විදිහට යොෂුවා ඒ මුළු දේශයම යටත් කරගත්තා. ඒ කියන්නේ යූදාවල තියෙන කඳුකරය, ඒ අවට තියෙන පහත් බිම්,*+ මුළු නෙගෙබ්+ ප්‍රදේශය, මුළු ගෝෂෙන් දේශය, අරබා+ ප්‍රදේශය, ඊශ්‍රායෙල්වල තියෙන කඳුකරය සහ ඒ අවට තියෙන පහත් බිම් එයා යටත් කරගත්තා. 17  සේයිර් දක්වා විහිදිලා යන හලක් කන්දේ ඉඳන් හෙර්මොන්+ කන්ද පාමුල තියෙන ලෙබනොන්වල නිම්නයේ බාල්ගාද්+ නගරය දක්වා තියෙන මුළු ප්‍රදේශයම එයා යටත් කරගත්තා. එයා ඒ ප්‍රදේශයේ ඉන්න හැම රජෙක්වම මරලා දැම්මා. 18  ඒ රජවරුන්ට අයිති ප්‍රදේශ යටත් කරගන්න යොෂුවාට ගොඩක් කල් සටන් කරන්න වුණා. 19  ගිබියොන් නගරයේ ජීවත් වුණ හිවීයවරු විතරයි ඊශ්‍රායෙල්වරු එක්ක සාම ගිවිසුමක් ඇති කරගත්තේ.+ ඊශ්‍රායෙල්වරු සටන් කරලා ඒ ප්‍රදේශවලට අයිති අනිත් හැම නගරයක්ම යටත් කරගත්තා.+ 20  ඒ නගරවල වැසියන් මුරණ්ඩු වෙලා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළේ යෙහෝවා ඒකට ඉඩහැරපු නිසයි.+ මොකද එයාලට අනුකම්පාවක් පෙන්නන්න කිසිම හේතුවක් තිබුණේ නැති නිසා එයාලව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න දෙවියන් තීරණය කරලයි තිබුණේ.+ යෙහෝවා මෝසෙස්ට කියපු විදිහටම ඒ හැම දේම සිද්ධ වුණා.+ 21  යොෂුවා කඳුකර පළාතේ හිටපු අනාක්වරුන්වත්+ විනාශ කළා. ඒ කියන්නේ හෙබ්‍රොන්, දෙබීර් සහ අනාබ් කියන නගරවල හිටපු අනාක්වරුන්වත් යූදා සහ ඊශ්‍රායෙල් කඳුකර පළාත්වල හිටපු අනාක්වරුන්වත් ඒ අයගේ නගරත් එයා සම්පූර්ණයෙන්ම විනාශ කළා.+ 22  බේරුණේ+ ගාසා,+ ගාත්+ සහ අෂ්දොද්+ කියන ප්‍රදේශවල ජීවත් වුණ අනාක්වරු විතරයි. ඊශ්‍රායෙල්වරුන්ට අයිති ප්‍රදේශයේ අනාක්වරු එක් කෙනෙක්වත් ඉතුරු වුණේ නැහැ. 23  යෙහෝවා දෙවියන් මෝසෙස්ට පොරොන්දු වුණ විදිහටම යොෂුවා ඒ මුළු දේශයම යටත් කරගත්තා.+ ඊටපස්සේ යොෂුවා දේශය කොටස්වලට බෙදලා ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් විදිහට දුන්නා. ඊශ්‍රායෙල්වරුන්ට එයාලාගේ ගෝත්‍රවලට අනුව උරුමයක් ලැබුණා.+ ඊටපස්සේ දේශය පුරාම යුද්ධ නැති සාමකාමී වාතාවරණයක් උදා වුණා.+

පාදසටහන්

ඒ කියන්නේ ගෙනසරෙත් විල නැත්නම් ගලීල මුහුද.
හෝ, “අරබා ප්‍රදේශයේ.”
මූ.අ., “ෂෙපේලාවල.”
ඒ කියන්නේ නටබුන් ගොඩක් උඩ ඉදි කරලා තිබුණ නගර.
මූ.අ., “ෂෙපේලා.”