යොෂුවා 17:1-18

  • බස්නාහිර පැත්තෙන් මනස්සේ ගෝත්‍රයට ලැබුණ උරුමය (1-13)

  • යෝසෙප්ගෙන් පැවතෙන අයට තවත් ප්‍රදේශයක් ලැබෙයි (14-18)

17  දාදු දැම්මාට+ පස්සේ මනස්සේ ගෝත්‍රයේ+ අයටත් එයාලාගේ උරුමය ලැබුණා. මනස්සේ යෝසෙප්ගේ කුලුඳුල් පුතා.+ මනස්සේගේ කුලුඳුල් පුතා මාකීර්.+ මාකීර්ගේ පුතා ගිලියද්. මාකීර් යුද්ධයට හුඟක් දක්ෂයි. මාකීර්ට ගිලියද් සහ බාෂාන්+ කියන ප්‍රදේශ ලැබුණේ ඒ නිසයි.  දාදු දැම්මාට පස්සේ මනස්සේගෙන් පැවතෙන අනිත් පවුල්වලටත් එයාලාගේ උරුමය ලැබුණා. අබිඑෂෙර්,+ හේලෙක්, අස්‍රියෙල්, ෂීකෙම්, හේෆෙර් සහ ෂෙමිදා කියන ඒ පවුල්වලටත් දේශයෙන් කොටසක් වෙන් කරලා දුන්නා. යෝසෙප්ගේ පුතා වන මනස්සේගෙන් පැවතෙන පවුල් ඒවායි.+  මනස්සේ ගෝත්‍රයට අයිති ෂෙලොපෙහාද්+ කියලා කෙනෙක් හිටියා. එයාගේ තාත්තා හේෆෙර්. හේෆෙර්ගේ තාත්තා ගිලියද්. ගිලියද්ගේ තාත්තා මාකීර්. මාකීර්ගේ තාත්තා මනස්සේ. ෂෙලොපෙහාද්ට පුතාලා හිටියේ නැහැ. එයාට හිටියේ මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂා කියන දුවලා විතරයි.  ඒ දුවලා පූජක එලියාසර්වයි,+ නූන්ගේ පුතා වන යොෂුවාවයි, අධිපතීන්වයි හම්බ වෙලා මෙහෙම කිව්වා. “අපේ ගෝත්‍රයට උරුමය බෙදලා දෙද්දී අපිටත් කොටසක් දෙන්න කියලා යෙහෝවා මෝසෙස්ට කිව්වා.”+ ඉතින් ෂෙලොපෙහාද්ගේ සහෝදරයන්ට උරුමය බෙදලා දෙද්දී යෙහෝවා දෙවියන් කියපු විදිහට එයාගේ දුවලටත් දේශයෙන් කොටසක් ලබා දුන්නා.+  යොර්දාන් ගඟට එහා පැත්තෙන්* තියෙන ගිලියද් දේශයට සහ බාෂාන් දේශයට අමතරව ගඟෙන් මේ පැත්තෙනුත් මනස්සේ ගෝත්‍රයට බිම් කොටස් දහයක් ලැබුණා.+  මොකද මනස්සේගෙන් පැවතෙන පුතාලට වගේම දුවලටත් උරුමයක් දුන්නා. මනස්සේ ගෝත්‍රයට අයිති අනිත් අයට උරුමයක් විදිහට ලැබුණේ ගිලියද් දේශයයි.  මනස්සේ ගෝත්‍රයට ලැබුණ දේශයේ මායිම ආෂෙර් ඉඳන් ෂීකෙම්වලට+ ඉස්සරහින් තියෙන මික්මෙතාත්+ දක්වා දිව ගියා. ඊටපස්සේ ඒක දකුණු දිහාවට හැරිලා එන්තප්පුවාවල වැසියන් ජීවත් වෙන ප්‍රදේශය දක්වා දිව ගියා.  තප්පුවා+ කියන ප්‍රදේශයෙන් වැඩි හරියක්ම උරුම වුණේ මනස්සේ ගෝත්‍රයට. ඒත් මනස්සේ ගෝත්‍රයේ දේශ සීමාව ළඟ තියෙන තප්පුවා කියන ප්‍රදේශය උරුම වුණේ එෆ්‍රායිම් ගෝත්‍රයේ අයටයි.  මනස්සේ ගෝත්‍රයේ දේශ සීමාව තප්පුවා ඉඳන් කානාහ් නිම්නය වෙන කල් පහළට දිව ගියා. මනස්සේ+ ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති නගරත් තිබුණා. මනස්සේ ගෝත්‍රයේ දේශ සීමාව කානාහ් නිම්නයේ උතුරු පැත්තෙන් තියෙන ප්‍රදේශය හරහා ගිහින් මහ මුහුදෙන් කෙළවර වුණා.+ 10  එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති ප්‍රදේශය තිබුණේ දකුණු පැත්තේ. මනස්සේ ගෝත්‍රයට අයිති ප්‍රදේශය තිබුණේ උතුරු පැත්තේ. මනස්සේ ගෝත්‍රයේ එක සීමාවක් වුණේ මහ මුහුද.+ එයාලාගේ දේශ සීමාව උතුරු පැත්තේ තියෙන ආෂෙර් ගෝත්‍රයේ දේශ සීමාව දක්වාත් නැඟෙනහිරෙන් තියෙන ඉසකාර් ගෝත්‍රයේ දේශ සීමාව දක්වාත් විහිදිලා ගියා. 11  ඉසකාර් ගෝත්‍රයට සහ ආෂෙර් ගෝත්‍රයට අයිති ප්‍රදේශවල තියෙන නගරත් ඒ නගරවල පදිංචි වෙලා හිටපු අයවත් ඒ නගරවලට අයිති කුඩා නගරත් මනස්සේ ගෝත්‍රයට උරුම වුණා. එයාලට ලැබුණේ බෙත්ෂෙයාන්, ඉබ්ලෙයාම්,+ දෝර්+ කියන නගර සහ කඳුකරයේ තියෙන ඒන්දෝර්,+ තයනක්+ සහ මෙගිද්දෝ කියන නගර. 12  මනස්සේ ගෝත්‍රයට ඒ නගර උරුම වුණත් ඒ නගරවල ජීවත් වුණ කානානිවරුන්ව පන්නලා දාන්න එයාලට බැරි වුණා.+ 13  ඊශ්‍රායෙල්වරු දේශයේ තමන්ගේ බලය තහවුරු කරගත්තාට පස්සෙත් එයාලා කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම දේශයෙන් පන්නලා දැම්මේ නැහැ.+ එයාලා කානානිවරුන්ව දාසකමට තියාගත්තා.+ 14  යෝසෙප්ගෙන් පැවතෙන අය යොෂුවා ගාවට ඇවිත් මෙහෙම පැමිණිලි කළා. “අපි මෙච්චර ලොකු සෙනඟක් වුණේ යෙහෝවා අපිට ආශීර්වාද කරපු නිසයි.+ ඒත් දේශයෙන් පොඩි කොටසක්නේ ඔයා අපිට දීලා තියෙන්නේ!”*+ 15  එතකොට යොෂුවා එයාලට මෙහෙම කිව්වා. “එෆ්‍රායිම්+ කඳුකරයේ ඔයාලට ජීවත් වෙන්න ඉඩ මදි නම් පෙරිස්සිවරුන්ටයි,+ රෙෆායිවරුන්ටයි+ අයිති දේශයේ තියෙන කැලෑවට ගිහිල්ලා ඒක එළිපෙහෙළි කරලා එහේ ජීවත් වෙන්න. ඔයාලට ලොකු සෙනඟක් ඉන්න නිසා එහෙම කරන්න.” 16  එතකොට යෝසෙප්ගෙන් පැවතෙන අය යොෂුවාට මෙහෙම කිව්වා. “අපිට ජීවත් වෙන්න කඳුකර ප්‍රදේශයේ ඉඩ මදි තමයි. ඒත් අපි කොහොමද නිම්නයේ* ඉන්න කානානිවරු එක්ක සටනට යන්නේ? එහේ ඉන්න හැමෝටම ලොකු යුධ රථ* තියෙනවා.+ ඒවාට තියෙන්නේ යකඩ උල් හයි කරපු රෝද. බෙත්ෂෙයාන්+ නගරයේ සහ ඒ ළඟ තියෙන කුඩා නගරවල විතරක් නෙමෙයි යෙෂ්‍රෙයෙල් නිම්නයේ*+ ඉන්න අය ගාවත් ඒ වගේ රථ තියෙනවා.” 17  ඒත් යොෂුවා යෝසෙප්ගෙන් පැවතෙන එෆ්‍රායිම් ගෝත්‍රයේ සහ මනස්සේ ගෝත්‍රයේ අයට මෙහෙම කිව්වා. “ඔයාලා ලොකු සෙනඟක්. ඒ වගේම ඔයාලා හරිම බලවත්. ඔයාලට ලැබිලා තියෙන ප්‍රදේශයේ ඉඩ මදි කියලා මං දන්නවා.+ 18  ඒ නිසා කඳුකර ප්‍රදේශයේ ඉතුරු කොටසත් ඔයාලා ගන්න.+ ඒක කැලෑවක් වුණත් ඔයාලට පුළුවන් ඒක එළිපෙහෙළි කරලා එහේ පදිංචි වෙන්න. ඒක තමයි ඔයාලට අයිති දේශ සීමාව. ඇත්ත, එහේ ඉන්න කානානිවරු බලවත් අය තමයි. එයාලාගේ යුධ රථවල යකඩ උල් හයි කරපු රෝද* තියෙනවා කියන කතාවත් ඇත්ත. ඒ මොනවා තිබුණත් ඔයාලට පුළුවන් එයාලව පන්නලා දාන්න.”+

පාදසටහන්

ඒ කියන්නේ නැඟෙනහිර පැත්තෙන්.
මූ.අ., “මැනලා වෙන් කරලා දුන්නේ එක කොටසක්.”
හෝ, “තැනිතලාවේ.”
මූ.අ., “යකඩවලින් හදපු යුධ රථ.”
හෝ, “තැනිතලාවේ.”
මූ.අ., “එයාලට යකඩවලින් හදපු යුධ රථ.”