යොෂුවා 2:1-24

  • යොෂුවා යෙරිකෝවේ තොරතුරු බලාගෙන එන්න පුරුෂයන් දෙන්නෙක්ව යවයි (1-3)

  • රාහබ් තොරතුරු බලන්න ආපු දෙන්නාව හංගයි (4-7)

  • රාහබ්ට වුණ පොරොන්දුව (8-21අ)

    • ලකුණක් විදිහට රතු පාට ලණුවක් ගැටගහයි (18)

  • තොරතුරු බලන්න ගිය දෙන්නා ආයෙත් යොෂුවා ළඟට යයි (21ආ-24)

2  නූන්ගේ පුතා වුණ යොෂුවා දේශයේ තොරතුරු හොයලා බලන්න පුරුෂයන් දෙන්නෙක්ව තෝරගෙන එයාලට මෙහෙම කිව්වා. “ඔය දෙන්නා ගිහින් දේශය ගැන හොයලා බලන්න. විශේෂයෙන්ම යෙරිකෝවේ තොරතුරු බලාගෙන එන්න.” ඊටපස්සේ එයා ඒ දෙන්නාව ෂිට්ටිම්+ කියන ප්‍රදේශයේ ඉඳන් හොර රහසේම පිටත් කරලා යැව්වා. ඒ දෙන්නා රාහබ්+ කියන ගණිකාවගේ ගෙදරට ඇවිත් එහේ නැවතුණා.  ඔය අතරේ යෙරිකෝවේ රජට මෙහෙම ආරංචි වුණා. “අද රෑ ඊශ්‍රායෙල් පුරුෂයන් කීපදෙනෙක් නුවරට ආවා. එයාලා ඇවිත් ඉන්නේ දේශයේ තොරතුරු හොයලා බලන්න.”  ඒක ඇහුවාම රජ රාහබ්ට පණිවිඩයක් යවලා මෙහෙම කිව්වා. “ඔයාගේ ගෙදරට ආපු මිනිස්සුන්ව අපිට භාර දෙන්න. එයාලා ඇවිත් ඉන්නේ දේශයේ ඔත්තු බලන්න.”  ඒත් රාහබ් ඒ දෙන්නාට එයාගේ ගෙදර හැංගෙන්න උදව් කළා. ඊටපස්සේ රජගේ පණිවිඩකරුවන්ට එයා මෙහෙම කිව්වා. “මිනිස්සු නම් ආවා. ඒත් එයාලා කොහේ ඉඳන් ආවාද කියන්න මං දන්නේ නෑ.  කළුවර වැටෙද්දී එයාලා ගියා. නුවරේ දොරටු වහන වෙලාවේදී වගේ තමයි එයාලා ගියේ. ඒත් කොහෙට ගියාද කියන්න නම් මං දන්නේ නෑ. ඉක්මනට ගියොත් එයාලව අල්ලගන්න පුළුවන් වෙයි.”  (මේ වෙනකොට රාහබ් ඒ පුරුෂයන් දෙන්නාව පැතලි වහල* උඩට එක්කගෙන ගිහින් ඒකේ පේළියට දාලා තිබුණ හණදඬු අස්සේ එයාලව හංගලයි තිබුණේ.)  ඉතින් රජගේ පණිවිඩකරුවන් ඒ මිනිස්සුන්ව අල්ලගන්න හිතාගෙන යොර්දාන් ගඟේ තොටුපොළ පැත්තට දුවගෙන ගියා.+ පණිවිඩකරුවන් නුවරෙන් එළියට ගියාට පස්සේ නුවරේ දොරටු වහලා දැම්මා.  රාහබ්, වහලේ හැංගිලා හිටිය පුරුෂයන් දෙන්නා නිදාගන්න කලින් එයාලා ළඟට ගිහින්  මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් ඔයාලට මේ දේශය දෙනවා කියලා මට හොඳටම විශ්වාසයි.+ ඔයාලාගේ සෙනඟ අපේ දේශය ළඟටම ඇවිත් කියලා දැනගත්තාම අපි හොඳටම බය වුණා.+ දේශයේ ඉන්න කිසිම කෙනෙක්ට ඔයාලා එක්ක සටන් කරන්න තරම් ධෛර්යයක් නැහැ.+ 10  ඔයාලා ඊජිප්තුවෙන් එද්දී යෙහෝවා දෙවියන් රතු මුහුද මැදින් ඔයාලට යන්න පාරක් හදපු විදිහ අපිට ආරංචි වුණා.+ යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ හිටිය අමෝරිවරුන්ගේ රජවරු දෙන්නා වුණ සීහොන්වයි,+ ඕග්වයි+ ඔයාලා විනාශ කරපු විදිහත් අපිට අහන්න ලැබුණා. 11  ඒ දේවල් ආරංචි වුණාම අපි හොඳටම බය වුණා. ඔයාලාගේ දෙවි යෙහෝවා තමයි අහසටත් පොළොවටත් අධිපති එකම දෙවියන්. ඉතින් ඔයාලා එක්ක සටන් කරන්න තරම් ශක්තියක් අපිට කොහෙන්ද?+ 12  දැන් ඔයාලා යෙහෝවා දෙවියන්ගේ නමින් දිවුරලා මට පොරොන්දුවක් වෙන්න. මං ඔයාලට කරුණාවෙන් සලකලා උදව් කළා.* ඒ වගේ ඔයාලත් මගේ තාත්තාගේ පවුලට අයිති හැමෝටම කරුණාවෙන් සලකනවා කියලා මට පොරොන්දු වෙන්න. ඒ පොරොන්දුව ඉටු කරනවා කියලා පෙන්නන්න මට ලකුණක් දෙන්න. 13  මගේ තාත්තාවයි, අම්මාවයි, මගේ සහෝදර සහෝදරියන්වයි, එයාලාගේ පවුල්වල ඉන්න හැමෝවමයි බේරනවා කියලා මට පොරොන්දු වෙන්න.”+ 14  එතකොට ඒ පුරුෂයන් දෙන්නා එයාට මෙහෙම කිව්වා. “අපි අපේ ජීවිත වුණත් ඔයා වෙනුවෙන් දෙන්න ලෑස්තියි. අපි ඔයාගේ විශ්වාසය කඩ කරන්නේ නැහැ. ඔයා අපි ගැන කාටවත් කියන්නේ නැත්නම් යෙහෝවා අපිට මේ දේශය අයිති කරලා දුන්නාම අපිත් ඔයාට අනිවාර්යයෙන්ම කරුණාවෙන් සලකනවා.” 15  රාහබ්ගේ ගෙදර හදලා තිබුණේ නුවර වටේ තිබුණ පවුරට උඩින්, පවුරටම අල්ලලයි. ඉතින් එයා ලණුවක් අරන් ඇවිත් ඒ දෙන්නාට ඒ ලණුව දිගේ ගෙදර ජනේලයෙන් බැහැලා යන්න උදව් කළා.+ 16  එයාලා පිටත් වෙද්දී රාහබ් එයාලට මෙහෙම කිව්වා. “කඳුකර පැත්තට ගිහින් දවස් තුනක් හැංගිලා ඉන්න. එතකොට ඔයාලව හොයන අයට ඔයාලව හොයාගන්න බැරි වෙයි. එයාලා ආයෙත් නුවරට ආවාම ඔයාලට පුළුවන් ඔයාලාගේ ගමන යන්න.” 17  එතකොට ඒ දෙන්නා රාහබ්ට මෙහෙම කිව්වා. “අපි කියන විදිහට ඔයා කළේ නැත්නම් ඔයාට වුණ පොරොන්දුවෙන් අපි නිදහස්.+ 18  අපි දේශය අල්ලගන්න එනවා. එතකොට ඔයා දැන් අපිට බැහැලා යන්න දීපු මේ රතු පාට ලණුව ජනේලයේ ගැටගහලා තියෙන්න ඕනේ. ඔයාගේ තාත්තාවත් අම්මාවත් සහෝදර සහෝදරියන්වත් තාත්තාගේ පවුලට අයිති හැමෝවමත් මේ ගෙදරට ගෙන්නගන්න.+ 19  කාටවත් මේ ගෙදරින් එළියට යන්න දෙන්න එපා. කවුරු හරි එළියට ගියොත් ඒ කෙනාගේ ජීවිතේට අපි වග කියන්නේ නැහැ. ඒත් ඔයා එක්ක මේ ගෙදර ඉන්න කාට හරි කරදරයක් වුණොත් අපි ඒ කෙනාගේ ජීවිතේට වග කියනවා. 20  ඒත් ඔයා අපිව පාවලා දුන්නොත්+ ඔයාට දුන්න පොරොන්දුවෙන් අපි නිදහස්.” 21  එතකොට රාහබ් මෙහෙම කිව්වා. “හොඳයි. ඔයාලා කියපු හැම දෙයක්ම ඒ විදිහටම වෙන්න ඕනේ.” එහෙම කියලා එයා ඒ දෙන්නාව පිටත් කරලා යැව්වා. ඊටපස්සේ රාහබ් රතු පාට ලණුව ජනේලයේ ගැටගැහුවා. 22  ඒ දෙන්නා කඳුකර ප්‍රදේශයට ගිහින් දවස් තුනක් හැංගිලා හිටියා. එයාලව හොයාගෙන ගිය අය හැම තැනම එයාලව හෙව්වා. ඒත් ඒ දෙන්නාව හොයාගන්න බැරි වුණ නිසා එයාලා ආපහු නුවරට ගියා. 23  ඊටපස්සේ කඳුකරයේ හැංගිලා හිටපු පුරුෂයන් දෙන්නා එතනින් පිට වෙලා ගිහින් ගඟෙන් එගොඩ වුණා. එයාලා නූන්ගේ පුතා වන යොෂුවා ළඟට ගිහින් සිද්ධ වුණ හැම දේම කිව්වා. 24  එයාලා යොෂුවාට මෙහෙම කිව්වා. “යෙහෝවා මුළු දේශයම අපිට දීලයි තියෙන්නේ.+ අපි එනවා කියලා දන්න නිසා එහේ ඉන්න හැමෝම දැනටමත් හොඳටම බය වෙලා ඉන්නේ.”+

පාදසටහන්

ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.
හෝ, “නොසැලෙන ආදරේ පෙන්නුවා.” “පැහැදිලි කිරීමක්” බලන්න.