යොෂුවා 20:1-9

  • ආරක්ෂාව ලබා දෙන නගර (1-9)

20  යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා.  “ඊශ්‍රායෙල්වරුන්ට මේ දේ කියන්න. ‘මං කලින් මෝසෙස්ට කිව්ව විදිහට ඔයාලා දැන් නගර කීපයක් තෝරගෙන ආරක්ෂාව ලබා දෙන නගර විදිහට ඒවා වෙන් කරන්න.+  එතකොට අත්වැරදීමක් නිසා* කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් එයාට පුළුවන් ආරක්ෂාව ලබා දෙන නගරයකට පලා යන්න. වරද කරපු කෙනා ඒ නගරයකට ගියොත් එයාව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන්* ආරක්ෂා වෙන්න එයාට පුළුවන්.+  එයා ඒ නගරයේ+ දොරටුව ළඟට ඇවිත්+ එතන ඉන්න වැඩිමහල්ලන්ට තමන් අතින් සිද්ධ වුණ දේ ගැන කියන්න ඕනේ. එතකොට වැඩිමහල්ලන් එයාව නගරය ඇතුළට අරන් ගිහින් එයාට ජීවත් වෙන්න තැනක් සූදානම් කරලා දෙන්න ඕනේ.  වරදකරුව මරලා දාන්න අයිතිය තියෙන කෙනා එයාව හොයාගෙන නගරයට ආවොත් වැඩිමහල්ලන් වරදකරුව ඒ කෙනාට භාර නොදිය යුතුයි. මොකද ඒ මරණය වුණේ අත්වැරදීමකින්.* ඒක හිතේ වෛරයක් තියාගෙන කරපු දෙයක් නෙමෙයි.+  සෙනඟ ඉස්සරහා විනිශ්චයක් ලැබෙන කල් වරදකරු නගරයේ ඉන්න ඕනේ.+ මරණය අත්වැරදීමකින් වුණා කියලා ඔප්පු වුණොත් එයාට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඒත් උත්තම පූජකයා මැරෙන කල්+ නගරයෙන් එළියට යන්න ඒ කෙනාට බැහැ. උත්තම පූජකයා මිය ගියොත් ආයෙත් එයාගේ නගරයටත් ගෙදරටත් යන්න එයාට පුළුවන්.’”+  ඉතින් ඊශ්‍රායෙල්වරු නගර කීපයක් තෝරගෙන ඒවා ශුද්ධ නගර විදිහට වෙන් කළා. ඒ නගර මේවායි. ගලීලය කියන ප්‍රදේශයේ තියෙන කෙදෙෂ්+ නගරය. ඒක තියෙන්නේ නෆ්තලී ගෝත්‍රයට අයිති කඳුකර පළාතේ. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ෂීකෙම්+ නගරය. යූදා ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන කිර්යත්අර්බා+ නගරය. (ඒක හෙබ්‍රොන් විදිහටත් හඳුන්වනවා.)  යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ යෙරිකෝවට ළඟින් තියෙන බෙෂෙර්+ නගරය. ඒක තියෙන්නේ රූබෙන් ගෝත්‍රයේ දේශ සීමාවට අයිති පාළුකරයේ තියෙන උස් තැනිතලාවේ. ගාද් ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයේ ගිලියද්වල තියෙන රාමොත්+ නගරය. මනස්සේ+ ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයේ බාෂාන්වල තියෙන ගෝලාන්+ නගරය.  ඒ නගර වෙන් කළේ, ඊශ්‍රායෙල් ජාතිකයෙක් අතින් හරි ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වෙන විදේශිකයෙක් අතින් හරි අත්වැරදීමකින් කවුරු හරි මැරුණොත් වරදකරුට ආරක්ෂාව ලබා දෙන්නයි.+ සෙනඟ ඉස්සරහා විනිශ්චයක් ලැබෙන කල් වරදකරු ඒ නගරයකට පලා ගිහින් එහෙට වෙලා ඉන්න ඕනේ. එතකොට එයාව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන් ආරක්ෂා වෙන්න එයාට පුළුවන්.+

පාදසටහන්

හෝ, “නොදැනුවත්ව.”
මූ.අ., “ලේවල පළිය ගන්න කෙනාගෙන්.”
හෝ, “නොදැනුවත්කමින්.”