යොෂුවා 22:1-34

  • නැඟෙනහිර පැත්තේ උරුමය ලබපු අය එයාලාගේ දේශයට යයි (1-8)

  • යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදයි (9-12)

  • පූජාසනය හදන්න හේතුව පැහැදිලි කරයි (13-29)

  • ප්‍රශ්නේ විසඳගනියි (30-34)

22  ඊටපස්සේ යොෂුවා රූබෙන් ගෝත්‍රයේ, ගාද් ගෝත්‍රයේ සහ මනස්සේ* ගෝත්‍රයේ අයට එන්න කියලා  මෙහෙම කිව්වා. “යෙහෝවාගේ සේවක මෝසෙස් ඔයාලට අණ කරපු හැම දේකටම ඔයාලා කීකරු වුණා.+ ඒ වගේම මං ඔයාලට කරන්න කියපු හැම දෙයක්මත් ඔයාලා කළා.+  මේ වෙන කල්ම ඔයාලා ඔයාලාගේ සහෝදරයන්ව අත්හැරියේ නැහැ.+ ඒ වගේම ඔයාලාගේ දෙවි යෙහෝවා කරන්න කියපු හැම දෙයක්ම ඔයාලා ඒ විදිහටම කළා.+  අද ඔයාලාගේ සහෝදරයන් මේ දේශයේ කිසි කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙනවා. ඒ, ඔයාලාගේ දෙවි යෙහෝවා ඔහු දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරපු නිසයි.+ ඉතින් දැන් ඔයාලට පුළුවන් යෙහෝවාගේ සේවක මෝසෙස් ඔයාලට උරුමයක් විදිහට දුන්න දේශයට ගිහින් ජීවත් වෙන්න. යොර්දාන් ගඟෙන් එහා පැත්තේ* තියෙන ඔයාලාගේ ගෙවල්වලට* ගිහින් පදිංචි වෙන්න.+  ඒත් යෙහෝවාගේ සේවක මෝසෙස් ඔයාලට දුන්න අණපනත් කවදාවත් අමතක කරන්න එපා.+ ඒවා දිගටම පිළිපදින්න. ඔයාලට ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ දේවල් කළොත් විතරයි. ඔයාලාගේ දෙවි යෙහෝවාට ආදරේ කරන්න.+ හැම වෙලාවෙම ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න.+ ඔහු දීලා තියෙන ආඥාවලට කීකරු වෙන්න.+ ඔයාලාගේ මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න.+ ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් හැම දේම කරන්න.*+ ඔයාලා ජීවත් වෙන තාක් කල් ඔහුව අත්හරින්න එපා.”+  යොෂුවා එයාලට ආශීර්වාද කළාට පස්සේ එයාලා තම තමන්ගේ ගෙවල්වලට ගියා.  (ඒ වෙද්දී මෝසෙස්, මනස්සේ ගෝත්‍රයේ එක කොටසකට බාෂාන්+ දේශය උරුමයක් විදිහට දීලයි තිබුණේ. යොෂුවා ඉතුරු කොටසට යොර්දාන් ගඟට බස්නාහිරෙන් තිබුණ දේශයෙන් කොටසක් දුන්නා.)+ යොෂුවා එයාලට ආශීර්වාද කරලා එයාලාගේ ගෙවල්වලට යන්න කියපු වෙලාවේ  ඒ අයට මෙහෙමත් කිව්වා. “සතුරන්ගෙන් ගත්ත වටිනා දේවල් ගොඩක් අපි ළඟ තියෙනවා. යන්න කලින් ඔයාලත් ඒකෙන් කොටසක් ගන්න.+ රත්තරන්, රිදී, තඹ, යකඩ, ඇඳුම්, සත්තු ඇති තරම්+ අරන් ගිහින් ඒවා ඔයාලාගේ සහෝදරයන් එක්ක බෙදාගන්න.”  ඊටපස්සේ රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අය, අනිත් ගෝත්‍රවල අයගෙන් සමුගත්තා. එයාලා කානාන් දේශයේ ෂීලෝ නගරයේ ඉඳන් එයාලට උරුම වුණ ගිලියද්+ දේශයට යන්න පිටත් වුණා. යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට මෝසෙස් එයාලට ඒ දේශය දීලයි තිබුණේ.+ 10  ඒ ගෝත්‍ර තුනට අයිති සෙනඟ යොර්දාන් ගඟ ළඟට ආවා. ගඟෙන් එහා පැත්තට යන්න කලින් එයාලා එතන විශාල පූජාසනයක් හැදුවා. 11  පස්සේ අනිත් ගෝත්‍රවලට මෙහෙම ආරංචි වුණා.+ “බලන්නකෝ රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අය කරලා තියෙන දේ! එයාලා කානාන් දේශයෙන් යන්න කලින් යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදලා. ඒක හදලා තියෙන්නෙත් අපේ පැත්තේ.” 12  ඒක ඇහුවාම ඊශ්‍රායෙල්වරු හැමෝම එයාලට විරුද්ධව යුද්ධයට යන්න ෂීලෝවල රැස් වුණා.+ 13  ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අයව හම්බ වෙන්න පූජක එලියාසර්ගේ පුතා වන පිනෙහාස්ව+ ගිලියද් දේශයට යැව්වා. 14  හැම ගෝත්‍රයක්ම නියෝජනය කරන අධිපතීන් දහදෙනෙකුත් එයාත් එක්ක ගියා. ඒ දහදෙනා ඊශ්‍රායෙල් ගෝත්‍රවල* හිටපු පවුල් මූලිකයන්.+ 15  ඒ අය ගිලියද් දේශයට ගිහින් රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අයව හම්බ වෙලා මෙහෙම කිව්වා. 16  “යෙහෝවාගේ සෙනඟ ඔයාලාගෙන් මෙහෙම අහනවා. ‘ඇයි ඔයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට විරුද්ධව මේ වගේ වරදක් කළේ?+ ඔයාලා යෙහෝවාව අත්හැරලා වෙනම පූජාසනයක් හදලා තියෙනවා. ඇයි ඔයාලා යෙහෝවාට විරුද්ධව මේ විදිහට කැරලිගහන්නේ?+ 17  පෙයෝර්වලදී අපේ අතින් වුණ බරපතළ වරද ඔයාලට මතක නැද්ද? අපි කරපු ඒ වරද නිසා යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟට වසංගතයකින් පහර දුන්නා.+ අපි තාමත් ඒ වරදේ නරක ප්‍රතිඵල අද්දකිනවා. 18  එච්චර දෙයක් වෙලත් ඔයාලා යෙහෝවාට මේ වගේ දෙයක් කළේ ඇයි? ඔයාලා යෙහෝවාට විරුද්ධව කැරලිගැහුවොත් ඔහු හෙට මුළු ඊශ්‍රායෙල් සෙනඟටම දඬුවම් කරයි.+ 19  ඔයාලට ලැබුණ දේශය අපවිත්‍රයි කියලා හිතෙනවා නම් යෙහෝවාට අයිති දේශයට ඇවිත් අපිත් එක්ක ජීවත් වෙන්න.+ යෙහෝවා දෙවියන්ට අයිති ශුද්ධ කූඩාරම තියෙන්නෙත් එහේ.+ අපේ දෙවි යෙහෝවාට දැනටමත් ඒ දේශයේ පූජාසනයක් හදලයි තියෙන්නේ. ඉතින් මොකටද තවත් පූජාසනයක් හදන්නේ? එහෙම කරලා යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න එපා.+ එහෙම කළොත් ඔයාලාගේ වරදට අපිටත් වග කියන්න වෙයි. 20  සේරාගේ පුතා වුණ ආකාන්+ නිසා වෙච්ච දේ මතක නැද්ද? එයා දෙවියන් විනාශ කරන්න නියම කරපු දේවල් ළඟ තියාගත්ත නිසා මුළු ඊශ්‍රායෙල් සෙනඟ එක්කම දෙවියන්ට කේන්ති ගියා.+ ආකාන් කරපු ඒ වරද නිසා එයාට විතරක් නෙමෙයි අනිත් අයටත් මැරෙන්න වුණා.’”+ 21  එතකොට රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවලට අයිති සෙනඟ ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්ට මෙහෙම කිව්වා.+ 22  “යෙහෝවා තමයි උසස්ම දෙවියන්! යෙහෝවා තරම් බලවත් දෙවි කෙනෙක් තවත් නැහැ!*+ ඒ නිසා අපි ඒ වගේ දෙයක් කළේ ඇයි කියලා ඔහු දන්නවා. ඊශ්‍රායෙල් සෙනඟත් ඒක දැනගනියි. යෙහෝවා දෙවියනි, අපි ඔබට විරුද්ධව කැරලිගහලා ඔබට ද්‍රෝහි වෙලා තියෙනවා නම් දැන්මම අපිව මරලා දාන්න. 23  අපි මේ පූජාසනය හැදුවේ යෙහෝවාව අත්හැරලා, වෙන දෙවිවරුන්ට දවන පූජා, ධාන්‍ය පූජා සහ හවුල් පූජා ඔප්පු කරන්න නම් යෙහෝවා අපිට දඬුවම් නොකර ඉඳියි කියලා ඔයාලා හිතනවාද?+ 24  අපි මේ පූජාසනය හැදුවේ එහෙම දේකට නෙමෙයි. පස්සේ කාලෙකදී ඔයාලාගේ දරුවන් අපේ දරුවන්ට මෙහෙම කියයි කියලා අපිට බය හිතුණා. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න ඔයාලට අයිතියක් නැහැ. 25  යෙහෝවා ඔයාලට යොර්දාන් ගඟෙන් එහා පැත්තෙන් දේශයක් දුන්නේ රූබෙන් ගෝත්‍රයයි, ගාද් ගෝත්‍රයයි අපෙන් වෙන් කරන්න ඕනෙ නිසයි. ඒ නිසා යෙහෝවාට නමස්කාර කරන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ.’ ඔයාලාගේ දරුවෝ ඒ විදිහට කිව්වොත් අපේ දරුවන් යෙහෝවාට නමස්කාර කරන එක අත්හරියි කියලා අපිට බයක් දැනුණා. 26  “අපි පූජාසනයක් හදන්න තීරණය කළේ ඒ නිසයි. අපි ඒක හැදුවේ දවන පූජා ඔප්පු කරන්නවත් වෙනත් පූජා ඔප්පු කරන්නවත් නෙමෙයි. 27  ඔයාලා වගේම අපිත් නමස්කාර කරන්නේ යෙහෝවාට විතරයි. අපි ඔහු ඉස්සරහා විතරයි දවන පූජා, හවුල් පූජා සහ වෙනත් පූජා ඔප්පු කරන්නේ.+ ඔයාලටයි, අපිටයි, අපි දෙගොල්ලන්ගෙම දරුවන්ටයි ඒ දේ මතක් වෙන්නයි+ අපි මේ පූජාසනය හැදුවේ. එතකොට කවදා හරි දවසක ‘යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඔයාලට අයිතියක් නැහැ’ කියලා කියන්න ඔයාලාගේ දරුවන්ට පුළුවන් වෙන්නේ නැහැ. 28  අපිට හරි අපේ දරුවන්ට හරි ඒ වගේ දෙයක් කවුරු හරි කිව්වොත් අපිට මෙහෙම කියන්න පුළුවන්. ‘දැක්කාද අපේ මුතුන්මිත්තන් යෙහෝවා දෙවියන්ගේ පූජාසනය වගේ පූජාසනයක් හදලා තියෙනවා. එයාලා ඒක හැදුවේ දවන පූජා නැත්නම් වෙනත් පූජා ඔප්පු කරන්න නෙමෙයි. ඔයාලා වගේම අපිත් නමස්කාර කරන්නේ එකම දෙවි කෙනෙක්ට කියන දේ මතක් කරන්නයි.’ 29  යෙහෝවා දෙවියන්ට අයිති ශුද්ධ කූඩාරම ඉස්සරහා තියෙන පූජාසනයට අමතරව තවත් පූජාසනයක් හදලා ඒකේ පූජා ඔප්පු කරන එක ගැන අපිට හිතන්නවත් බැහැ.+ අපේ දෙවි යෙහෝවාට විරුද්ධව කැරලිගහන්නවත් යෙහෝවාව අත්හැරලා යන්නවත් අපි කවදාවත් හිතන්නේ නැහැ.”+ 30  රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල සෙනඟ කිව්ව දේවල් ඇහුවාට පස්සේ පූජක පිනෙහාස් සහ ඊශ්‍රායෙල් ගෝත්‍රවල හිටපු අධිපතීන් සතුටු වුණා.+ 31  ඉතින් එලියාසර්ගේ පුතා වුණ පූජක පිනෙහාස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා යෙහෝවාට ද්‍රෝහි වුණේ නැති නිසා යෙහෝවාත් අපිව අත්හරින්නේ නැහැ කියලා අපිට දැන් විශ්වාසයි. යෙහෝවා දෙවියන් අපිට දඬුවම් කරන එකක් නැහැ.” 32  ඊටපස්සේ එලියාසර්ගේ පුතා වුණ පූජක පිනෙහාස් සහ ඊශ්‍රායෙල්වරුන්ගේ අධිපතීන් ගිලියද් දේශයේ හිටපු රූබෙන් සහ ගාද් ගෝත්‍රවල අයගෙන් සමු අරන් ආයෙත් කානාන් දේශයට ආවා. එයාලා ඇවිත් වෙච්ච හැම දෙයක් ගැනම අනිත් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. 33  ඒ ගැන අහලා ඊශ්‍රායෙල්වරු ගොඩක් සතුටු වුණා. එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා. රූබෙන් සහ ගාද් ගෝත්‍රවලට විරුද්ධව යුද්ධ කරලා එයාලාගේ දේශය විනාශ කරන්න ගත්ත තීරණය එයාලා වෙනස් කළා. 34  රූබෙන් සහ ගාද් ගෝත්‍රවලට අයිති සෙනඟ එයාලා හදපු පූජාසනයට නමක්* දුන්නා. එයාලා ඒ වෙලාවේ කිව්වේ “යෙහෝවා සැබෑ දෙවියන් කියන දේට මේක අපි දෙගොල්ලන්ටම සාක්ෂියක්” කියලයි.

පාදසටහන්

ඒ කියන්නේ යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ උරුමය ලැබුණු මනස්සේ ගෝත්‍රයේ කොටස.
ඒ කියන්නේ නැඟෙනහිර පැත්තේ.
මූ.අ., “කූඩාරම්වලට.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “ඊශ්‍රායෙල්වරු දහස් ගණන් අතරේ.”
මූ.අ., “දෙවිවරුන්ගෙත් දෙවියන් යෙහෝවායි.”
මේ පදයේ කියලා තියෙන දෙයින් පූජාසනය සාක්ෂියක් කියන නමින් හැඳින්නුවා කියලා හිතන්න පුළුවන්.