යොෂුවා 24:1-33

  • යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය මතක් කරලා දෙයි (1-13)

  • යෙහෝවාට නමස්කාර කරන්න දිරිගන්වයි (14-24)

    • “මමයි, මගේ පවුලේ අයයි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි” (15)

  • යොෂුවා ඊශ්‍රායෙල්වරුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම (25-28)

  • යොෂුවාගේ මරණය සහ එයාව තැන්පත් කරපු තැන (29-31)

  • යෝසෙප්ගේ ඇටකටු ෂීකෙම්වලදී තැන්පත් කරයි (32)

  • එලියාසර්ගේ මරණය සහ එයාව තැන්පත් කරපු තැන (33)

24  යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ හැම ගෝත්‍රයකම අයව ෂීකෙම් නගරයට රැස් කළා. එතනට එයා වැඩිමහල්ලන්ටත් නායකයන්ටත් විනිශ්චයකරුවන්ටත් නිලධාරීන්ටත්+ එන්න කිව්වා. සැබෑ දෙවියන් ඉස්සරහා රැස් වුණ ඒ හැමෝටම  යොෂුවා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘කාලෙකට කලින්+ ආබ්‍රහම්ගෙත් නාහෝර්ගෙත් තාත්තා වුණ ටේරා ඇතුළු ඔයාලාගේ මුතුන්මිත්තන්+ ජීවත් වුණේ ගඟෙන්* එහා පැත්තේ. එයාලා නමස්කාර කළේ වෙන දෙවිවරුන්ට.+  “‘මං ගඟෙන්* එහා පැත්තේ ජීවත් වුණ ඔයාලාගේ මුතුන්මිත්තා වන ආබ්‍රහම්ව+ කානාන් දේශයට අරන් ඇවිත් එයාව දේශයේ හැම තැනකටම එක්කන් ගියා. මං එයාට ආශීර්වාද කරපු නිසා එයාට දරු මුනුපුරන් හුඟදෙනෙක් ලැබුණා.+ මං එයාට ඊසාක්ව දුන්නා.+  ඊසාක්ට මං යාකොබ් සහ ඒසව්+ කියන පුතාලා දෙන්නාව දුන්නා. සේයිර් කඳුකරය මං ඒසව්ට උරුමයක් විදිහට දුන්නා.+ යාකොබ් සහ එයාගේ පුතාලා ඊජිප්තුවට ගිහින් පදිංචි වුණා.+  කාලයක් ගියාට පස්සේ මං එයාලව බේරගන්න මෝසෙස්වයි, ආරොන්වයි යැව්වා.+ ඊටපස්සේ ඊජිප්තුවරුන්ට පීඩාවලින් පහර දීලා+ එයාලව ඊජිප්තුවෙන් එළියට අරන් ආවා.  මං ඔයාලාගේ තාත්තාලව ඊජිප්තුවෙන් එළියට අරන් ඇවිත්+ රතු මුහුද ළඟට ගෙනාවාම ඊජිප්තුවරු යුධ රථවලයි, අශ්වයන්ගේ පිටෙයි නැඟලා එයාලාගේ පස්සෙන් එළවගෙන ආවා.+  ඒ වෙලාවේ එයාලා කෑගහලා යෙහෝවා වන මගෙන් උදව් ඉල්ලුවා.+ එතකොට මං එයාලව ආරක්ෂා කරන්න ඊජිප්තුවරුනුයි, එයාලයි අතරේ අඳුරු වලා ටැඹක් තිබ්බා. ඊටපස්සේ මං ඊජිප්තුවරුන්ව මුහුදේ ගිලෙන්න සැලැස්සුවා.+ මං ඊජිප්තුවේදී කරපු ඒ හැම දෙයක්ම එයාලා ඇස් දෙකෙන්ම දැක්කා.+ ඊටපස්සේ අවුරුදු ගාණක් එයාලා පාළුකරයේ ජීවත් වුණා.+  “‘කාලයක් ගියාට පස්සේ යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ ජීවත් වුණ අමෝරිවරුන්ගේ දේශයට මං ඔයාලව අරගෙන ආවා. ඒ අය ඔයාලා එක්ක සටනට ආවත්+ මං ඒ අයව ඔයාලට යටත් කරලා දුන්නා. ඒ දේශය ඔයාලට උරුම කරලා දෙන්න ඕනෙ නිසා මං ඔයාලාගේ ඇස් පනාපිටම එයාලව විනාශ කරලා දැම්මා.+  ඔය අතරේ මෝවබ් දේශයේ රජ වුණ ෂිප්පෝර්ගේ පුත් බාලාක්, ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව වැඩ කරන්න පටන්ගත්තා. බාලාක් ඔයාලට ශාප කරන්න බෙයොර්ගේ පුතා වුණ බාලාම්වත් ගෙන්නගත්තා.+ 10  ඒත් මං බාලාම්ට ඇහුම්කන් දුන්නේ නැහැ.+ ඉතින් ඔයාලට ශාප කරනවා වෙනුවට බාලාම් කීප වතාවක්ම ඔයාලට ආශීර්වාද කළා.+ ඒ විදිහට මං ඔයාලව එයාගෙන් බේරගත්තා.+ 11  “‘ඒකෙන් පස්සේ ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා+ යෙරිකෝවට ආවා.+ යෙරිකෝවේ නායකයෝ,* අමෝරිවරු, පෙරිස්සිවරු, කානානිවරු, හිත්තීවරු, ගිර්ගාෂිවරු, හිවීයවරු, යෙබූසිවරු ඔයාලත් එක්ක සටනට ආවත් මං ඒ අයව ඔයාලට යටත් කරලා දුන්නා.+ 12  එයාලා අතරට ඔයාලා යන්නත් කලින් මං එයාලාගේ හිත්වල ලොකු බයක් ඇති කළා. එයාලා හොඳටම අධෛර්යය වෙලයි හිටියේ. ඒ නිසා ඔයාලව දැක්කාම එයාලා පලා ගියා.+ ඒ විදිහට කඩුවක්වත් දුන්නක්වත් පාවිච්චි කරන්නේ නැතුව එයාලව පරද්දන්න ඔයාලට පුළුවන් වුණා.+ අමෝරිවරුන්ගේ රජවරු දෙන්නාව ඔයාලා පැරැද්දුවෙත් ඒ විදිහට. 13  එහෙම කරලා මං මේ දේශය ඔයාලට අයිති කරලා දුන්නා. ඒ නිසා කිසි මහන්සියක් නැතුව මේ දේශය ලබාගන්න ඔයාලට පුළුවන් වුණා. ඒකේ නගර ඉදි කරන්නත් ඔයාලට මහන්සි වෙන්න ඕන වුණේ නැහැ.+ මේ දේශයේ කලින් ජීවත් වුණ අය වගා කරපු මිදිවතුවල සහ ඔලීවවතුවල පලදාව දැන් එකතු කරගන්නේ ඔයාලයි.’”+ 14  ඊටපස්සේ යොෂුවා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා වෙනුවෙන් ඒ හැම දෙයක්ම කරපු යෙහෝවාට මුළු හදවතින්ම ගෞරව කරන්න.* අවංක හිතකින් ඔහුට නමස්කාර කරලා දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න.+ යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න. ගඟෙන්* එහා පැත්තේ සහ ඊජිප්තුවේ ජීවත් වුණ ඔයාලාගේ මුතුන්මිත්තන් නමස්කාර කරපු දෙවිවරුන්ව අත්හැරලා ඒ දෙවිවරුන්ගේ රූප විනාශ කරලා දාන්න.+ 15  ඒත් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඔයාලා කැමති නැත්නම් ඔයාලා නමස්කාර කරන්නේ කාටද කියලා අදම තීරණය කරන්න.+ ඕනෙ නම් ගඟෙන්* එහා පැත්තේ ජීවත් වුණ ඔයාලාගේ මුතුන්මිත්තන් නමස්කාර කරපු දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ එහෙමත් නැත්නම් මේ දේශයේ ජීවත් වුණ අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ හැබැයි මමයි, මගේ පවුලේ අයයි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි.” 16  එතකොට සෙනඟ මෙහෙම කිව්වා. “යෙහෝවාව අත්හැරලා වෙන දෙවිවරුන්ට නමස්කාර කරන එක ගැන අපිට හිතන්නවත් බැහැ. 17  ඊජිප්තුවේ වහලුන් විදිහට හිටපු අපිවත් අපේ තාත්තලාවත් නිදහස් කළේ අපේ දෙවි යෙහෝවායි.+ ඔහු අපි වෙනුවෙන් හුඟක් පුදුම දේවල් කළා.+ මේ දේශයට එන කල් ඔහු අපිව ආරක්ෂා කළා. අපි පහු කරන් ආපු ජාතීන්ගෙන් අපිට කිසිම හානියක් වෙන්න ඔහු ඉඩ දුන්නේ නැහැ.+ 18  මේ දේශයේ හිටිය අමෝරිවරුන්වයි, අනිත් ජාතීන්වයි පන්නලා දැම්මේ යෙහෝවායි. ඔහුයි අපේ දෙවියන්. ඒ නිසා ඔයා වගේම අපිත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි.” 19  එතකොට යොෂුවා සෙනඟට මෙහෙම කිව්වා. “යෙහෝවාට දිගටම නමස්කාර කරන්න ඔයාලට පුළුවන් වෙයිද කියලා හිතලා බලන්න. මොකද ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහු ඔයාලාගෙන් බලාපොරොත්තු වෙනවා ඔහුට මුළු හදවතින්ම ආදරේ කරලා ඔහුට විතරක් නමස්කාර කරයි කියලා.*+ එහෙම කළේ නැත්නම් දෙවියන් ඔයාලාගේ වැරදිවලට සමාව දෙන්නේ නැහැ.+ 20  යෙහෝවා ඔයාලා වෙනුවෙන් හුඟක් යහපත් දේවල් කළා. හැබැයි ඔයාලා ඔහුව අත්හැරලා වෙන දෙවිවරුන්ට නමස්කාර කළොත් ඔහු අනිවාර්යයෙන්ම ඔයාලට දඬුවම් කරලා මුළු ජාතියම විනාශ කරලා දායි.”+ 21  එතකොට සෙනඟ යොෂුවාට කිව්වා “අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි”+ කියලා. 22  යොෂුවා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා කැමැත්තෙන්මයි යෙහෝවාට නමස්කාර කරන්න තෝරගත්තේ. ඒ කාරණයට අද ඔයාලා හැමෝම සාක්ෂිකරුවන්.”+ එයාලත් “අපි දුන්න පොරොන්දුවට අපිම සාක්ෂිකරුවෝ” කියලා උත්තර දුන්නා. 23  “එහෙනම් දැන් ඔයාලා ළඟ තියෙන වෙනත් දෙවිවරුන්ගේ රූප අයින් කරලා දාන්න. මුළු හිතින්ම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට නමස්කාර කරන්න.” 24  සෙනඟත් “අපි නමස්කාර කරන්නේ යෙහෝවාට විතරයි. ඔහු කියන දේට අපි කීකරු වෙනවා” කියලා යොෂුවාට කිව්වා. 25  ඉතින් එදා ෂීකෙම් නගරයේදී යොෂුවා සෙනඟ එක්ක ගිවිසුමක් ඇති කරගෙන ඒ ගිවිසුමට අයිති නීති සහ කොන්දේසි ස්ථිර කළා. 26  යොෂුවා ඒ හැම දෙයක්ම දෙවියන්ගේ නීතිය සඳහන් වුණ ලියවිල්ලේ සටහන් කළා.+ ඊටපස්සේ එයා ලොකු ගලක්+ අරන් යෙහෝවා දෙවියන්ට කැප කරපු තැන තිබුණ විශාල ගහක් යට ඒ ගල තිබ්බා. 27  ඒ වෙලාවේ යොෂුවා සෙනඟට මෙහෙම කිව්වා. “මේ ගල අපි ඇති කරගත්ත ගිවිසුමට සාක්ෂියක්.+ මොකද දෙවියන් අපිට ඒ හැම දෙයක්ම කිව්වේ මේ ගල ඉස්සරහයි. ඒ නිසා ඔයාලා යෙහෝවාව අත්හැරියොත් ඔයාලා වැරදිකරුවන් කියන දේට මේ ගල සාක්ෂියක් වෙයි.” 28  ඊටපස්සේ යොෂුවා සෙනඟව එයාලාගේ ගෙවල්වලට පිටත් කරලා යැව්වා.+ 29  ඒ දේවල් සිද්ධ වෙලා ටික කාලයක් ගියාට පස්සේ නූන්ගේ පුතා වුණ යොෂුවා මිය ගියා. යෙහෝවාගේ සේවකයා වුණ යොෂුවා මිය යනකොට එයාගේ වයස අවුරුදු 110යි.+ 30  ඊශ්‍රායෙල්වරු එයාව තැන්පත් කළේ එයාට උරුමයක් විදිහට ලැබුණ තිම්නත්සේරා+ නගරයේ. ඒ නගරය තියෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ගයෂ් කන්දට උතුරු පැත්තෙන්. 31  යොෂුවා ජීවත් වෙලා හිටපු කාලේ පුරාම සහ ඊටපස්සේ යම් කාලයක් යන කල් ඊශ්‍රායෙල්වරු යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළා. ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් යෙහෝවා කරපු හැම දේම දැකලා තිබුණ වැඩිමහල්ලන් ජීවත් වෙලා ඉන්න කල් එයාලා දෙවියන්ට විශ්වාසවන්තව හිටියා.+ 32  ෂීකෙම්ගේ තාත්තා වුණ හාමෝර්ගේ පුතාලාගෙන්+ යාකොබ් රිදී කාසි 100කට+ ඉඩමක් මිල දීලා අරන් තිබ්බා. ඒක තියෙන්නේ ෂීකෙම් නගරයේ. ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ ඉඳන් එද්දී අරන් ආපු යෝසෙප්ගේ ඇටකටු+ තැන්පත් කළේ එතන. ඒ බිම් කොටස උරුම වුණේ යෝසෙප්ගේ පුතාලට.+ 33  පස්සේ ආරොන්ගේ පුතා වුණ එලියාසර් මිය ගියා.+ එලියාසර්ව තැන්පත් කළේ එයාගේ පුතා වුණ පිනෙහාස්ගේ+ නමින් හඳුන්වපු කන්දේ. ඒ කන්ද තියෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ.

පාදසටහන්

ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.
හෝ සමහරවිට, “ඉඩම් හිමියෝ.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.
මූ.අ., “ගරුබියක් ඇතුව ඉන්න.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.
හෝ, “ඔහුට නමස්කාර කරන ගමන් වෙන දෙවිවරුන්ටත් නමස්කාර කරන එක ඔහු දැඩි ලෙස හෙළා දකිනවා.”