යොෂුවා 3:1-17
-
ඊශ්‍රායෙල් සෙනඟ යොර්දාන් ගඟෙන් එගොඩ වෙයි (1-17)
3 යොෂුවා සහ මුළු ඊශ්‍රායෙල් සෙනඟ උදෙන්ම නැඟිටලා ෂිට්ටිම්+ කියන ප්‍රදේශයෙන් පිටත් වෙලා ගියා. ඊටපස්සේ එයාලා යොර්දාන් ගඟ ළඟට ඇවිත් එතන රැය ගත කළා.
2 දවස් තුනකට පස්සේ සෙනඟව බලාගන්න පත් කරලා හිටපු නායකයෝ+ කඳවුරේ හැම තැනකටම ගිහින්
3 සෙනඟට මෙහෙම කිව්වා. “ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන්+ ඔයාලාගේ දෙවි යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යයි. එතකොට ඔයාලත් ඔයාලාගේ කූඩාරම් අකුළගෙන එයාලාගේ පස්සෙන් යන්න.
4 ඔයාලා මීට කලින් මේ ප්‍රදේශය හරහා ගිහින් නැහැ. ඒ නිසා ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යන පූජකයන් ඔයාලට ඉස්සරහින් ගිහින් ඔයාලට මඟ පෙන්නයි. ඒත් ඔයාලා ගිවිසුම් පෙට්ටියට ළං වෙන්න එපා. ඔයාලා යන්න ඕනෙ ගිවිසුම් පෙට්ටියට රියන් 2,000ක්* විතර ඈතින්.”
5 පස්සේ යොෂුවා සෙනඟට මෙහෙම කිව්වා. “හෙට යෙහෝවා දෙවියන් ඔයාලා හැමෝම ඉස්සරහා පුදුම දේවල් කරන්න යනවා.+ ඒ නිසා දැන් පවිත්‍ර වෙන්න.”+
6 යොෂුවා පූජකයන්ට මෙහෙම කිව්වා. “ඔයාලා ගිවිසුම් පෙට්ටිය+ අරන් සෙනඟට ඉස්සරහින් යන්න.” ඉතින් එයාලා ගිවිසුම් පෙට්ටිය උස්සගෙන සෙනඟට ඉස්සරහින් ගියා.
7 ඊටපස්සේ යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “අද මම ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා ඔයාව ගෞරවයට පත් කරනවා.+ එතකොට එයාලා තේරුම්ගනියි මං මෝසෙස් එක්ක හිටියා වගේ+ ඔයා එක්කත් ඉන්නවා කියලා.+
8 ගිවිසුම් පෙට්ටිය අරන් යන පූජකයන්ට කියන්න ‘යොර්දාන් ගඟේ ඉවුරට ආවාම වතුරට බැහැලා ඉන්න’ කියලා.”+
9 පස්සේ යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “මං ළඟට ඇවිත් ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලට කියන දේ අහන්න.
10 ඔයාලා එක්ක ඉන්නේ ජීවමාන දෙවි කෙනෙක් කියලත්+ ඔහු අනිවාර්යයෙන්ම කානානිවරුන්ව, හිත්තීවරුන්ව, හිවීයවරුන්ව, පෙරිස්සිවරුන්ව, ගිර්ගාෂිවරුන්ව, අමෝරිවරුන්ව සහ යෙබූසිවරුන්ව+ ඔයාලා ඉස්සරහින් පන්නලා දානවා කියලත් දැන් වෙන්න යන දෙයින් පැහැදිලි වෙයි.
11 පූජකයන් දැන් ඔයාලට ඉස්සරහින් යයි. එයාලා මුළු පොළොවටම අධිපති දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය යොර්දාන් ගඟට අරන් යයි.
12 ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 නියෝජනය කරන්න හැම ගෝත්‍රයකින්ම එක පුරුෂයෙක් ගාණේ තෝරගන්න.+
13 මුළු පොළොවටම අධිපති දෙවි යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යන පූජකයන් යොර්දාන් ගඟට අඩිය තිබ්බ ගමන්ම ගඟේ ඉහළ ඉඳන් ගලාගෙන එන ජල පහර නතර වෙයි. ගඟ හරහා වේල්ලක් බැන්දා වගේ ඒ ජල කඳ එක තැන නතර වෙයි.”*+
14 ඊටපස්සේ සෙනඟ කූඩාරම් අකුළගෙන යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න ලෑස්ති වුණා. පූජකයෝ ගිවිසුම් පෙට්ටිය උස්සගෙන+ සෙනඟට ඉස්සරහින් ගියා.
15 (ඒක අස්වැන්න නෙළන කාලය. සාමාන්‍යයෙන් ඒ කාලයේදී යොර්දාන් ගඟේ වතුර පිරිලා ඉතිරිලා යනවා.)+ ගිවිසුම් පෙට්ටිය අරන් ගිය පූජකයන් යොර්දාන් ගඟ ළඟට ඇවිත් වතුරට අඩිය තිබ්බ ගමන්ම
16 ගඟේ ඉහළ ඉඳන් ගලාගෙන ආපු වතුර හරියට වේල්ලකින් හිර කරලා තිබ්බා වගේ එක තැන නතර වුණා. ජල පහර නතර වුණේ සෙනඟ හිටපු තැනට ඈතින් තිබුණ ෂාරෙතාන් ප්‍රදේශය ළඟ තිබුණ ආදම් කියන නුවර ළඟ. පහළට ගලාගෙන ගිය ඉතුරු වතුර ටික මහ අරබා නිම්නයේ තියෙන ලුණු මුහුදට* ගලාගෙන ගියා. ඒ විදිහට යොර්දාන් ගඟේ උඩ ඉඳන් ආපු වතුර නතර වෙලා වියළි බිමක් මතු වුණ නිසා සෙනඟ එතනින් එගොඩ වෙලා යෙරිකෝව දිහාවට ගියා.
17 මුළු ඊශ්‍රායෙල් සෙනඟම වියළි පොළොව හරහා ඇවිදගෙන ගිහින්+ යොර්දාන් ගඟෙන් එගොඩ වුණා. එයාලා හැමෝම එගොඩ වෙන කල් යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන හිටපු පූජකයන් යොර්දාන් ගඟ මැද හිටගෙන හිටියා.+