යොෂුවා 4:1-24

  • සිහිවටනයක් විදිහට තිබ්බ ගල් (1-24)

4  මුළු ඊශ්‍රායෙල් සෙනඟම යොර්දාන් ගඟෙන් එගොඩ වුණ ගමන්ම යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා.  “ගෝත්‍ර 12 නියෝජනය කරන්න පුරුෂයන් 12දෙනෙක්ව තෝරගෙන+  එයාලට මෙහෙම කියන්න. ‘යොර්දාන් ගඟ මැදට ගිහිල්ලා පූජකයන් හිටගෙන ඉන්න තැනින්+ ගල් 12ක් ගන්න. අද රෑට ඔයාලා කූඩාරම් ගහන තැන ඒවා තියන්න.’”+  ඉතින් යොෂුවා, ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර අතරින් තෝරගත්ත පුරුෂයන් 12දෙනාට එන්න කියලා  එයාලට මෙහෙම කිව්වා. “යොර්දාන් ගඟ මැද්දේ තියෙන ඔයාලාගේ දෙවි යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය ඉස්සරහට යන්න. ඊටපස්සේ ඔයාලා එක් එක් කෙනා එතනින් ගලක් ගාණේ අරන් ඒක කරේ තියාගෙන එන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 12 නියෝජනය කරන  ඒ ගල් සිහිවටනයක් විදිහට තියන්න. කවදා හරි ඔයාලාගේ දරුවෝ ‘ඇයි මේ ගල් මෙහෙම තියලා තියෙන්නේ’ කියලා ඇහුවොත්+  එයාලට මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය යොර්දාන් ගඟ මැදින් අරන් යද්දී දෙවියන් ගඟේ වතුර ගලන එක නැවැත්තුවා.+ ඊශ්‍රායෙල්වරුන්ට ඒ සිද්ධිය හැමදාටම මතක් වෙන්නයි මේ ගල් මෙතන ගොඩගහලා තියෙන්නේ.’”+  ඊශ්‍රායෙල්වරු 12දෙනා, යොෂුවා කියපු විදිහට කළා. යෙහෝවා යොෂුවාට කියපු විදිහටම එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 12 නියෝජනය කරන්න යොර්දාන් ගඟ මැද්දෙන් ගල් 12ක් ගත්තා. ඊටපස්සේ එයාලා කූඩාරම් ගහපු තැන ඒවා ගොඩගැහුවා.  යොෂුවා තවත් ගල් 12ක් අරගෙන පූජකයන් ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යොර්දාන් ගඟ මැද හිටගෙන හිටපු තැන තිබ්බා.+ අද වෙන කල්ම ඒ ගල් එතන තියෙනවා. 10  යෙහෝවා යොෂුවා මාර්ගයෙන් සෙනඟට අණ කරපු හැම දේම කරන කල් ගිවිසුම් පෙට්ටිය උස්සගෙන හිටපු පූජකයන් යොර්දාන් ගඟ මැද හිටගෙන හිටියා. ඒ හැම දෙයක්ම මෝසෙස් යොෂුවාට කියලා තිබුණ විදිහටම සිද්ධ වුණා. ඒ අතරතුර සෙනඟ පුළුවන් තරම් ඉක්මනට ගඟෙන් එගොඩ වුණා. 11  මුළු සෙනඟම ගඟෙන් එගොඩ වුණාට පස්සේ යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන හිටපු පූජකයන් සෙනඟ බලන් ඉද්දීම ගඟෙන් එගොඩ වුණා.+ 12  රූබෙන් ගෝත්‍රයේ අයත් ගාද් ගෝත්‍රයේ අයත් මනස්සේ ගෝත්‍රයේ එක කොටසකුත් මෝසෙස් කියපු විදිහටම කළා.+ එයාලා හමුදාවක් වගේ පෙළ ගැහිලා+ අනිත් ඊශ්‍රායෙල්වරුන්ට කලින් ගඟෙන් එගොඩ වුණා. 13  යුද්ධයට සූදානම් වෙලා හිටපු පුරුෂයන් 40,000ක් විතර යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයට ගියා. යෙහෝවාත් එයාලා එක්ක හිටියා. 14  එදා යෙහෝවා දෙවියන් මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා යොෂුවාව ගෞරවයට පත් කළා.+ මෝසෙස්ට ගෞරව කරපු විදිහටම සෙනඟ යොෂුවාටත් එයාගේ ජීවිත කාලය පුරාම හුඟක් ගෞරවයෙන් සැලකුවා.+ 15  යෙහෝවා යොෂුවාට මෙහෙම කිව්වා. 16  “ගිවිසුම් පෙට්ටිය*+ අරගෙන යන පූජකයන්ට කියන්න යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න කියලා.” 17  එතකොට යොෂුවා “යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න” කියලා පූජකයන්ට කිව්වා. 18  යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන ගිය පූජකයන්+ යොර්දාන් ගඟෙන් එගොඩ වුණ ගමන්ම නැවතිලා තිබුණ ගඟේ වතුර ආයෙත් ගලන්න පටන්ගත්තා. කලින් වගේ ගඟ පිටාර ගැලුවා.+ 19  පළවෙනි මාසයේ දහවෙනිදා ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා යෙරිකෝවේ නැඟෙනහිර සීමාවේ තියෙන ගිල්ගාල්+ නගරයේ කඳවුරු බැඳගත්තා. 20  යොර්දාන් ගඟෙන් ගත්ත ගල් 12 යොෂුවා ගිල්ගාල් නගරයේ එක තැනක ගොඩගැහුවා.+ 21  එයා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “‘ඇයි මේ ගල් මෙහෙම තියලා තියෙන්නේ’ කියලා කවදා හරි ඔයාලාගේ දරුවන් ඇහුවොත්+ 22  එයාලට මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟෙන් එගොඩ වෙද්දී එයාලට යන්න වියළි පාරක් හැදුණා.+ 23  ඊශ්‍රායෙල් සෙනඟ රතු මුහුදෙන් එගොඩ වෙද්දී යෙහෝවා වතුර දෙපැත්තට කරලා වියළි බිමක් හැදුවා වගේ අපි යොර්දාන් ගඟෙන් එගොඩ වෙද්දීත් ඔහු ගඟ මැද්දෙන් වියළි බිමක් හැදුවා. අපි ගඟෙන් එගොඩ වෙන කල් ඔයාලාගේ දෙවි යෙහෝවා ගඟේ වතුර ගලාගෙන යන එක නැවැත්තුවා.+ 24  යෙහෝවා දෙවියන් එහෙම කළේ ඔහු කොච්චර බලවත් කෙනෙක්ද කියන දේ පොළොවේ ඉන්න හැමෝටම දැනගන්නයි.+ ඒ වගේම ඔයාලාගේ දෙවි යෙහෝවා ගැන ඔයාලාගේ හිත්වල හැමදාටම ගරුබියක් ඇති කරන්නයි.’”

පාදසටහන්

මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”