යොෂුවා 6:1-27

  • යෙරිකෝවේ පවුර කඩන් වැටෙයි (1-21)

  • රාහබ්වයි, එයාගේ පවුලේ අයවයි බේරගනියි (22-27)

6  යෙරිකෝවේ සෙනඟ ඊශ්‍රායෙල්වරුන්ට බයෙන් හිටිය නිසා එයාලා නුවරේ ආරක්ෂාව වැඩි කරලයි තිබුණේ. නුවරට ඇතුල් වෙන්නවත් ඒකෙන් පිට වෙලා යන්නවත් කාටවත් පුළුවන් වුණේ නැහැ.+  යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “මම යෙරිකෝවයි, ඒකේ රජවයි, එයාගේ බලවත් හමුදාවයි ඔයාලට යටත් කරලා දෙනවා.+  ඔයායි, හමුදාවේ ඉන්න හැමෝමයි දවසට එක වතාවක් නුවර වටේ ගමන් කරන්න ඕනේ. දවස් හයක් ඒ විදිහට කරන්න.  ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යන පූජකයන්ට ඉස්සරහින් හොරණෑ* හතක් අරගෙන යන්න කියලා පූජකයන් හත්දෙනෙක්ට කියන්න. හැබැයි හත්වෙනි දවසේදී ඔයාලා නුවර වටේ හත් පාරක් ගමන් කරන්න ඕනේ. එහෙම යද්දී පූජකයන් එයාලාගේ හොරණෑ පිඹින්න ඕනේ.+  එක දිගට* හොරණෑ පිඹින ශබ්දය ඇහෙද්දී හමුදා භටයෝ හැමෝම එක හඬින් මහ හයියෙන් කෑගහන්න ඕනේ. එතකොට නුවරේ පවුරු බිමටම කඩන් වැටෙයි.+ ඊටපස්සේ ඔයාලා කිසිම බයක් නැතුව නුවරට ඇතුල් වෙන්න.”  ඉතින් නූන්ගේ පුතා වන යොෂුවා පූජකයන්ට එන්න කියලා මෙහෙම කිව්වා. “ගිවිසුම් පෙට්ටිය අරන් යන්න ලෑස්ති වෙන්න. යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය අරන් යන පූජකයන්ට ඉස්සරහින් තවත් පූජකයන් හත්දෙනෙක් හොරණෑ හතක් අරගෙන යන්න ඕනේ.”+  ඊටපස්සේ යොෂුවා යුද්ධයට සූදානම් වුණ හමුදා භටයන්ට+ මෙහෙම කිව්වා. “ඔයාලා නුවර වටේ යන්න. ඔයාලාගෙන් පිරිසක් යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය අරගෙන යන පූජකයන්ට ඉස්සරහින් යන්න ඕනේ.”  එයාලා යොෂුවා කියපු විදිහටම කළා. පූජකයන් හත්දෙනෙක් හොරණෑ හතක් අරන් යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටියට ඉස්සරහින් ගමන් කළා. එයාලා හොරණෑ පිඹිමින් යෙහෝවාට ඉදිරියෙන් ගියා.  හොරණෑ පිඹිමින් ගිය පූජකයන්ට ඉස්සරහින් හමුදා භටයන් පිරිසක් ගියා. ගිවිසුම් පෙට්ටියට පිටිපස්සෙන් හොරණෑ හඬ මැද තවත් භට පිරිසක් ගියා. 10  යොෂුවා හමුදා භටයන්ට මෙහෙම අණ කරලා තිබුණා. “ඔයාලා කෑගහන්නවත් කා එක්කවත් කතාවට යන්නවත් එපා. ‘හයියෙන් කෑගහන්න’ කියලා මං ඔයාලට කියන කල් නිශ්ශබ්දව ඉන්න. මං කියන දවසට ඔයාලා හැමෝම හයියෙන් කෑගහන්න.” 11  යොෂුවා අණ කරපු විදිහට එයාලා යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය නුවර වටේ එක වතාවක් අරන් ගියා. ඊටපස්සේ එයාලා කඳවුරට ගිහින් එහේ රාත්‍රිය ගත කළා. 12  යොෂුවා පහුවෙනිදා උදෙන්ම අවදි වෙලා යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යන පූජකයන්ව+ පිටත් කරලා යැව්වා. 13  යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය අරන් ගිය පූජකයන්ට ඉස්සරහින් තවත් පූජකයන් හත්දෙනෙක් හොරණෑ හතක් පිඹිමින් ගියා. ඒ පූජකයන් හත්දෙනාට ඉස්සරහින් හමුදා භටයන් පිරිසක් ගමන් කළා. යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය අරන් ගිය පූජකයන්ට පිටිපස්සෙන් තවත් භට පිරිසක් හොරණෑ හඬ මැද ගමන් කළා. 14  එයාලා දෙවෙනි දවසෙත් නුවර වටේ එක වතාවක් ගිහින් ආයෙත් කඳවුරට ආවා. එයාලා ඒ විදිහට දවස් හයක්ම කළා.+ 15  හත්වෙනි දවසේදී එළිය වැටුණ ගමන්ම එයාලා අවදි වෙලා නුවර වටේ හත් වතාවක් ගියා. ඒ හත් වතාවේදීම එයාලා ගමන් කළේ කලින් දවස්වලදී ගමන් කරපු විදිහටමයි.+ 16  හත්වෙනි වටයේදී පූජකයන් හොරණෑ පිඹිද්දී යොෂුවා හමුදා භටයන්ට මෙහෙම කිව්වා. “දැන් හයියෙන් කෑගහන්න.+ යෙහෝවා මේ නුවර ඔයාලට දීලයි තියෙන්නේ. 17  ඒ මුළු නගරයත් ඒකේ තියෙන හැම දෙයක්මත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න.*+ ඒත් රාහබ්+ කියන ගණිකාව අපේ ඔත්තුකාරයන්ව ආරක්ෂා කරපු නිසා එයාවයි, එයාගේ ගෙදර ඉන්න අයවයි විනාශ කරන්න එපා.+ මේ නුවරත් ඒකේ තියෙන හැම දෙයක්මත් අයිති යෙහෝවාටයි. 18  විනාශ කරන්න තියෙන කිසිම දේකට අතවත් තියන්න එපා.+ එහෙම කළොත් ඒ දේවල්වලට ඔයාලාගේ හිතේ ආශාවක් ඇති වෙලා ඔයාලා ඒවා ගන්න පෙලඹෙයි.+ එතකොට ඒක මුළු ඊශ්‍රායෙල් ජාතියේම විනාශයට හේතුවක් වෙයි.*+ 19  ඒත් නුවරේ තියෙන රන්, රිදී අයිති යෙහෝවාට. තඹවලින් සහ යකඩවලින් හදපු හැම දෙයක්මත් අයිති ඔහුටයි.+ ඒ නිසා ඒවා ශුද්ධයි. ඒවා යෙහෝවා දෙවියන්ගේ භාණ්ඩාගාරයේ තැන්පත් කරන්න.”+ 20  පූජකයන් හොරණෑ පිඹිද්දී හමුදා භටයන් කෑගහන්න පටන්ගත්තා.+ හැමෝම එක හඬින් හයියෙන් කෑගැහුවා. එතකොට නුවරේ පවුර බිමටම කඩන් වැටුණා.+ ඊටපස්සේ හමුදා භටයන් කිසිම බයක් නැතුව නුවර ඇතුළටම ගිහින් ඒක යටත් කරගත්තා. 21  එයාලා නුවරේ හිටපු පුරුෂයන්ව, ස්ත්‍රීන්ව, බාල මහලු හැමෝවම, ගොනුන්ව, බැටළුවන්ව සහ බූරුවන්ව කඩුවෙන් මරලා දැම්මා.+ 22  ඒ අතරතුරේ දේශයේ තොරතුරු බලන්න ගිය පුරුෂයන් දෙන්නාට යොෂුවා මෙහෙම කිව්වා. “ඔයාලට හම්බ වුණ ගණිකාවගේ ගෙදරට ගිහින් ඔයාලා පොරොන්දු වෙච්ච විදිහටම එයාවයි, එයාගේ ගෙදර ඉන්න අයවයි එළියට එක්කන් එන්න.”+ 23  ඉතින් ඒ තරුණයන් දෙන්නා රාහබ්ගේ ගෙදරට ගිහින් එයාවයි, එයාගේ අම්මාවයි, තාත්තාවයි, එයාගේ සහෝදරයන්වයි, එයාගේ ගෙදර හිටපු අනිත් හැමෝවමයි එළියට අරන් ආවා.+ එයාලා ඒ හැමෝවම ආරක්ෂා සහිතව ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුර ළඟට එක්කගෙන ආවා. 24  ඊටපස්සේ එයාලා මුළු නගරයටම සහ ඒකේ තිබුණ හැම දේකටම ගිනි තිබ්බා. ඒත් රන්, රිදී වගේම තඹවලින් සහ යකඩවලින් හදපු භාණ්ඩ එයාලා විනාශ කළේ නැහැ. එයාලා ඒවා යෙහෝවාගේ ගෘහයේ තියෙන භාණ්ඩාගාරයට භාර දුන්නා.+ 25  රාහබ් කියන ගණිකාවවත් එයාගේ තාත්තාගේ පවුලට අයිති අයවවත් රාහබ්ගේ ගෙදර හිටපු වෙන කිසිම කෙනෙක්වවත් යොෂුවා විනාශ කළේ නැහැ.+ එයා එහෙම කළේ යෙරිකෝවට යවපු ඔත්තුකරුවන්ව රාහබ් ආරක්ෂා කරපු නිසයි.+ රාහබ් අද වෙන කල් ඊශ්‍රායෙල්වරු එක්ක ජීවත් වෙනවා.+ 26  පස්සේ යොෂුවා මේ ශාපය කළා.* “කවුරු හරි කෙනෙක් යෙරිකෝව කියන මේ නුවර ආයෙත් ඉදි කරන්න උත්සාහ කළොත් යෙහෝවා එයාට ශාප කරයි. කෙනෙක් ඒකේ අත්තිවාරම දැම්මොත් එයාගේ කුලුඳුල් දරුවාගේ ජීවිතය නැති වෙයි. කෙනෙක් ඒකේ දොරටු හැදුවොත් එයාගේ බාලම දරුවාගේ ජීවිතය නැති වෙයි.”+ 27  යෙහෝවා දෙවියන් යොෂුවා එක්කම හිටියා.+ එයා* කරපු දේවල් පොළොව පුරාම ප්‍රසිද්ධ වුණා.+

පාදසටහන්

මූ.අ., “බැටළුවන්ගේ අංවලින් හදපු හොරණෑ.”
හෝ, “හත්වෙනි වතාවට.”
මූ.අ., “විනාශයට නියම කරලා තියෙනවා.”
මූ.අ., “මුළු ඊශ්‍රායෙල් ජාතියම විනාශයට නියම වෙයි.”
හෝ සමහරවිට, “මේ ශාපය වෙන්න කියලා සෙනඟගෙන් දිවුරුමක් ගත්තා.”
හෝ සමහරවිට, “දෙවියන්.”