යොෂුවා 8:1-35

  • හැංගිලා ඉඳලා ආයි නගරයට පහර දෙන්න යොෂුවා සැලසුම් කරයි (1-13)

  • ආයි නගරය යටත් කරගනියි (14-29)

  • ඒබාල් කන්දේදී නීතිය කියවයි (30-35)

8  යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා.+ එඩිතරව ඉන්න. ඔයා ආයෙත් මුළු හමුදාවත් එක්ක ආයි නගරයට යන්න. ඒ නගරයේ රජවත් එයාගේ සෙනඟවත් එයාගේ මුළු දේශයත් මං ඔයාට යටත් කරලා දෙනවා.+  යෙරිකෝවයි, ඒකේ රජවයි විනාශ කරපු විදිහටම ආයි නගරයත් ඒකේ රජවත් විනාශ කරන්න.+ ඒත් නගරයේ තියෙන වටිනා දේවලුයි, ඒකේ ඉන්න සත්තුන්වයි ඔයාලට ගන්න පුළුවන්. කට්ටියක් නගරය පිටිපස්සට ගිහින් හැංගිලා ඉඳලා පහර දෙන්න ඕනේ.”  ඉතින් යොෂුවායි, එයාගේ හමුදාවයි ආයි නගරයට විරුද්ධව සටන් කරන්න පිටත් වුණා. යොෂුවා යුද්ධයට දක්ෂ පුරුෂයන් 30,000ක්ව තෝරගෙන රෑ වෙද්දී එයාලව පිටත් කරලා යැව්වා.  යොෂුවා සෙබළුන්ට මෙහෙම කිව්වා. “ඔයාලා නගරය පිටිපස්සට ගිහිල්ලා හැංගිලා ඉන්න. නගරයෙන් වැඩි ඈතකට යන්නේ නැතුව පහර දෙන්න ලෑස්ති පිට ඉන්න.  මායි, මාත් එක්ක ඉන්න අනිත් අයයි නගරය ඉස්සරහට යන්නම්. කලින් වතාවේ වගේ ආයි නගරයේ අය අපිත් එක්ක සටන් කරන්න එද්දී+ අපි එයාලාගෙන් පලා යන්නම්.  නගරයේ ඉඳන් සෑහෙන දුරක් යන කල් අපිව පන්නගෙන එන්න අපි එයාලට ඉඩහරින්නම්. එතකොට එයාලා කියයි ‘ඊශ්‍රායෙල්වරු කලින් වතාවේ වගේ මේ වතාවෙත් අපිට බයේ දුවනවා’+ කියලා. එයාලා අපිව පන්නගෙන එද්දී  ඔයාලා හැංගිලා ඉන්න තැනින් එළියට ඇවිත් නගරය අල්ලගන්න. ඔයාලාගේ දෙවි යෙහෝවා අනිවාර්යයෙන්ම නගරය ඔයාලට දෙයි.  නගරය යටත් කරගත්ත ගමන්ම ඒකට ගිනි තියන්න.+ යෙහෝවා ඔයාලට කියපු හැම දේම ඒ විදිහටම කරන්න.”  නගරය පිටිපස්සට ගිහින් හැංගිලා ඉන්න ඕනෙ කට්ටියව යොෂුවා පිටත් කරලා යැව්වා. එයාලා ආයි නගරයේ බස්නාහිර පැත්තට වෙන්න, බෙතෙල් නගරයත් ආයි නගරයත් අතරේ තැනක හැංගිලා හිටියා. එදා රෑ යොෂුවා හිටියේ හමුදාවේ අනිත් අය එක්ක. 10  යොෂුවා පහුවෙනිදා උදෙන්ම නැඟිටලා හමුදාව ලෑස්ති කරගෙන ආයි නගරය පැත්තට ගියා. යොෂුවායි, ඊශ්‍රායෙල් වැඩිමහල්ලනුයි හමුදාවට ඉස්සරහින් ගියා. 11  හමුදාව+ ආයි නගරය දිහාවට ගිහින් නගරයේ උතුරු පැත්තට වෙන්න කඳවුරු බැඳගත්තා. එයාලා කඳවුරු බැඳගත්ත තැන සහ නගරය අතර නිම්නයක් තිබුණා. 12  ඒ වෙද්දීත් යොෂුවා ආයි නගරය පිටිපස්සේ හැංගිලා ඉන්න කියලා සෙබළු 5,000ක් විතර යවලයි තිබුණේ.+ ඒ අය හැංගිලා හිටියේ බෙතෙල්+ නගරය සහ ආයි නගරය අතර තැනක. ඒක තිබුණේ නගරයට බස්නාහිර පැත්තේ. 13  ඔය විදිහට හමුදාවේ ප්‍රධාන භට පිරිස කඳවුරු බැඳගෙන හිටියේ නගරයට උතුරෙන්.+ අනිත් අය නගරයේ බස්නාහිර පැත්තට වෙන්න හැංගිලා හිටියා.+ එදා රෑ යොෂුවා නිම්නය* මැද්දට ගිහින් හිටියා. 14  ඊශ්‍රායෙල්වරු එයාලට විරුද්ධව සටනට ඇවිත් ඉන්නවා කියලා ආයි නගරයේ රජට ආරංචි වුණා. ඒ නිසා එයා ඉක්මනටම එයාගේ හමුදාවත් එක්ක පාන්දරින්ම පිටත් වුණා. එයාලා ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරන්න නිම්නය ඉස්සරහා තිබුණ තැනක රැස් වෙලා හිටියා. ඒත් රජ දැනගෙන හිටියේ නැහැ ඊශ්‍රායෙල් හමුදාවේ තවත් භට පිරිසක් නගරයට පිටිපස්සෙන් හැංගිලා ඉන්නවා කියලා. 15  ආයි නගරයේ අය ඊශ්‍රායෙල්වරුන්ට පහර දුන්නාම යොෂුවායි, එයාගේ හමුදාවයි පාළුකරය පැත්තට පලා ගියා.+ 16  ඒ වෙලාවේ ආයි නගරයේ පුරුෂයන් හැමෝටම රජ අණ කළා ඊශ්‍රායෙල්වරු පස්සේ පන්නගෙන යන්න කියලා. ඒ හැමෝම නගරයෙන් ඈතට යන කල් යොෂුවාගේ හමුදාව පස්සේ පන්නගෙන ගියා. 17  ආයි සහ බෙතෙල් නගරවල පුරුෂයන් හැමෝම ඊශ්‍රායෙල්වරු පස්සේ පන්නගෙන ගිය නිසා ආයි නගරය ආරක්ෂා කරන්න එක පුරුෂයෙක්වත් හිටියේ නැහැ. 18  ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “ඔයාගේ අතේ තියෙන හෙල්ලය ආයි නගරය දිහාවට දික් කරන්න.+ මං දැන් නගරය ඔයාට යටත් කරලා දෙනවා.”+ එතකොට යොෂුවා එයාගේ හෙල්ලය ආයි නගරය දිහාවට දික් කළා. 19  ඒක දැක්ක ගමන්ම නගරය පිටිපස්සේ හැංගිලා හිටිය භට පිරිස නගරයට ඇතුල් වෙලා ඒක යටත් කරගත්තා. එයාලා නගරයට ගිය ගමන්ම ඒකට ගිනි තිබ්බා.+ 20  ඊශ්‍රායෙල්වරු පස්සෙන් එළවගෙන ගිය ආයි නගරයේ අය පිටිපස්ස හැරිලා බලද්දී එයාලාගේ නගරයෙන් දුමක් නඟිනවා දැක්කා. ඊශ්‍රායෙල්වරුන්ගෙන් බේරෙන්න එයාලට මොන පැත්තකටවත් පලා යන්න පුළුවන් වුණේ නැහැ. ඊටපස්සේ පාළුකරය පැත්තට පලා ගිය ඊශ්‍රායෙල්වරු ආපස්සට හැරුණා. 21  ආයි නගරයට ගිනි තියලා තියෙනවා කියලා දැක්කාම යොෂුවායි, එයාගේ හමුදාවයි සතුරන්ට පහර දෙන්න පටන්ගත්තා. 22  නගරයට ගිනි තිබ්බ අයත් යොෂුවාගේ උදව්වට ඇවිත් සතුරන්ට පහර දුන්නා. ඒ විදිහට ආයි නගරයේ පුරුෂයන් දෙපැත්තෙන්ම කොටු වුණා. ඊශ්‍රායෙල්වරු ඒ හැමෝවම මරලා දැම්මා.+ 23  ඒත් එයාලා ආයි නගරයේ රජව+ මරන්නේ නැතුව යොෂුවා ළඟට අරන් ආවා. 24  ඊශ්‍රායෙල්වරු එයාලා පස්සෙන් පන්නගෙන ආපු ආයි නගරයේ පුරුෂයන්ව පාළුකරයේදී මරලා දැම්මාට පස්සේ එයාලා නගරයට ගිහිල්ලා ඒකේ ඉන්න හැම කෙනෙක්වමත් කඩුවෙන් මරලා දැම්මා. 25  එදා ආයි නගරයේ හැම කෙනෙක්ම මැරුම් කෑවා. ස්ත්‍රීන් සහ පුරුෂයන් 12,000කගේ ජීවිත එදා නැති වුණා. 26  ආයි නගරයේ හැම කෙනෙක්වම මරලා දාන කල්+ යොෂුවා එයාගේ හෙල්ලය පල්ලෙහට දැම්මේ නැහැ.+ 27  ඒත් ඊශ්‍රායෙල්වරු ආයි නගරයේ තිබුණ වටිනා දේවලුයි, සත්තුන්වයි එයාලාගේ ප්‍රයෝජනයට ගත්තා. මොකද එහෙම කරන්න කියලා යෙහෝවා යොෂුවාට කියලයි තිබුණේ.+ 28  යොෂුවා ආයි නගරයට ගිනි තියලා ඒක සම්පූර්ණයෙන්ම විනාශ කළා.+ ඒක අදටත් පාළුවට ගිය නටබුන් ගොඩක්. 29  යොෂුවා ආයි නගරයේ රජව මරලා එයාගේ මළ සිරුර හවස් වෙන කල් කණුවක* එල්ලලා තිබ්බා. ඉර බැහැගෙන යන වෙලාවේදී යොෂුවා එයාගේ සෙබළුන්ට කිව්වා මළ සිරුර පහළට ගන්න කියලා.+ එයාලා ඒක අරන් ගිහින් නගරයේ දොරටුව ඉස්සරහට වීසි කළා. ඊටපස්සේ එයාලා ඒකට උඩින් ගල් විශාල ප්‍රමාණයක් ගොඩගැහුවා. ඒ ගල් ගොඩ අදටත් තියෙනවා. 30  ඒ සිද්ධියෙන් පස්සේ යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට ඒබාල් කන්දේ+ පූජාසනයක් හැදුවා. 31  එයා ඒ පූජාසනය හැදුවේ යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ+ සඳහන් වෙලා තියෙන විදිහටයි. ඒකේ කියලා තියෙන්නේ “ආයුධයකින් කපපු නැති ගල්වලින් පූජාසනය හදන්න”+ කියලයි. ඊශ්‍රායෙල්වරු ඒ පූජාසනයේ යෙහෝවාට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා.+ 32  මෝසෙස් ඊශ්‍රායෙල්වරු ඉස්සරහා+ ලියපු නීතිය යොෂුවා එතන තිබුණ ගල්වල කෙටුවා.+ 33  මුළු ඊශ්‍රායෙල් සෙනඟත් වැඩිමහල්ලනුත් නායකයනුත් විනිශ්චයකරුවනුත් විදේශිකයනුත්+ එතන රැස් වෙලා හිටියා. එයාලා හිටගෙන හිටියේ යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන හිටිය ලෙවී ගෝත්‍රයේ පූජකයන්ගේ දෙපැත්තේ. ඒ අයගෙන් භාගයක් හිටියේ ගෙරිසීම් කන්ද පාමුල. අනිත් අය හිටියේ ඒබාල් කන්ද+ පාමුල. ඒ හැමෝම එතන රැස් වෙලා හිටියේ පූජකයන්ගෙන් ආශීර්වාද ලබාගන්නයි. (ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් දීපු උපදෙස්වලට අනුවයි.)+ 34  පස්සේ යොෂුවා හැමෝටම ඇහෙන්න නීතිය කියෙව්වා.+ නීතිය පිළිපැද්දොත් ලැබෙන ආශීර්වාද+ ගැනත් ඒක කඩ කළොත් අද්දකින්න වෙන ශාප+ ගැනත් නීතියේ සඳහන් කරලා තියෙන හැම දෙයක්ම එයා කියෙව්වා. 35  එතන ස්ත්‍රීන්, දරුවන්, විදේශිකයන්+ ඇතුළු මුළු ඊශ්‍රායෙල් සෙනඟම රැස් වෙලා හිටියා.+ මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ සඳහන් හැම දෙයක්ම යොෂුවා එයාලා ඉස්සරහා අකුරක් නෑර ශබ්ද නඟා කියෙව්වා.+

පාදසටහන්

හෝ, “තැනිතලාව.”
හෝ, “ගහක.”