යොෂුවා 9:1-27

  • ඥානවන්ත ගිබියොන්වරු සාම ගිවිසුමක් ඇති කරගනියි (1-15)

  • ගිබියොන්වරුන්ගේ සැලසුම හෙළි වෙයි (16-21)

  • ගිබියොන්වරුන්ට දර එකතු කරන්නත් වතුර අදින්නත් පවරයි (22-27)

9  ඊශ්‍රායෙල්වරු කරපු දේ යොර්දාන් ගඟේ බස්නාහිර පැත්තේ+ තිබුණ කඳුකර පළාතේ, පහත් බිම්වල,* මහ මුහුදේ* වෙරළ තීරයේ+ සහ ලෙබනොන් ඉස්සරහා තියෙන ප්‍රදේශයේ ජීවත් වුණ රජවරුන් හැමෝටම ආරංචි වුණා. හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, කානානිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ+ රජවරුන් වුණ ඒ අයට ඒ ගැන ආරංචි වුණ ගමන්ම  එයාලා හැමෝම එකතු වෙලා යොෂුවාටයි, ඊශ්‍රායෙල් සෙනඟටයි විරුද්ධව සටන් කරන්න ලෑස්ති වුණා.+  යොෂුවා යෙරිකෝවටයි,+ ආයි+ නගරයටයි කරපු දේ ගැන ගිබියොන්+ නගරයේ අයටත් ආරංචි වුණා.  ඒ නිසා එයාලා හොඳට හිතලා බලලා ඊශ්‍රායෙල්වරුන්ගෙන් බේරෙන්න සැලැස්මක් හැදුවා. එයාලා පැළිලා තිබුණ පරණ හම් භාජන හොයාගෙන ඒවාවල පැළුණ තැන් ගැටගහලා ඒවා හදාගත්තා. ඒ වගේම පරණ මලුවලට කෑම දාලා ඒ හැම දෙයක්ම බූරුවන් පිට පැටෙව්වා.  එයාලා ගෙවුණ පාවහන් සහ පරණ ඇඳුම් ඇඳගෙන වේළිච්ච රොටි මලුවලට දාගත්තා.  ඊටපස්සේ එයාලා ගිල්ගාල්+ නගරයේ කඳවුරට ගිහින් යොෂුවාටයි, ඊශ්‍රායෙල්වරුන්ටයි මෙහෙම කිව්වා. “අපි ආවේ හුඟක් දුර ඉඳන්. අපි ආසයි ඔයාලත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න.”  ඒක අහලා ඊශ්‍රායෙල් නායකයෝ හිවීයවරුන්ට*+ මෙහෙම කිව්වා. “අපි කොහොමද දන්නේ ඔයාලා කොහේ ඉඳන් ආපු අයද කියලා? සමහරවිට ඔයාලා මේ ළඟපාත ඉන්න අය වෙන්න ඇති. ඉතින් අපි කොහොමද ඔයාලා එක්ක ගිවිසුමක් ඇති කරගන්නේ?”+  ඒත් එයාලා යොෂුවාට මෙහෙම කිව්වා. “අපි කැමතියි ඔයාලට යටත් වෙලා සේවය කරන්න.” එතකොට යොෂුවා එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලා කවුද? කොහේ ඉඳන්ද එන්නේ?”  එයාලා යොෂුවාට මෙහෙම කිව්වා. “ඔයාලාගේ සේවකයන් වන අපි ආවේ හුඟක් දුර ඉඳන්.+ මොකද ඔයාලා නමස්කාර කරන යෙහෝවා දෙවියන් ගැන අපි අහලා තියෙනවා. ඊජිප්තුවේදී ඔහු කරපු බලවත් දේවල් ගැනත් අපිට ආරංචි වුණා. ඔහු කරපු දේවල් ගැන හැම තැනම කතා වෙනවා.+ 10  ඔයාලාගේ දෙවියන් යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ හිටිය අමෝරිවරුන්ගේ රජවරු දෙන්නා වුණ හෙෂ්බොන්වල සීහොන්වයි,+ අෂ්ටාරොත් නගරයේ ජීවත් වුණ බාෂාන්වල ඕග්වයි+ විනාශ කරපු හැටිත් අපිට දැනගන්න ලැබුණා. 11  ඒ නිසා අපේ දේශයේ නායකයන් සහ සෙනඟ අපිට මෙහෙම කිව්වා. ‘ගමනට ඕන කරන දේවලුත් අරගෙන ඊශ්‍රායෙල්වරු ඉන්න තැනට ගිහින් එයාලට මෙහෙම කියන්න. “අපි ඔයාලට සේවය කරන්න කැමතියි.+ අපි එක්ක ගිවිසුමක් ඇති කරගන්න.”’+ 12  මේ රොටි දිහා බලන්න. අපි මේවා මලුවලට දාගත්තේ උණු උණුවෙන්මයි. ඒත් අපි මෙච්චර දුරක් ආපු නිසා දැන් ඒවා හොඳටම වේළිලා.+ 13  අපි වයින් පුරවගත්තේ අලුත් හම් භාජනවලට. ඒත් දැන් ඒවා පැළිලා.+ අපි කොච්චර දුරක් ඇවිදගෙන ආවාද කිව්වොත් අපේ පාවහන් ගෙවිලා. අපේ ඇඳුම් දැන් හොඳටම සවුත්තු වෙලා.” 14  ඒක අහලා ඊශ්‍රායෙල්වරු ඒ අය ළඟ තිබුණ කෑම අතට අරන් බැලුවා. හැබැයි මොනවාද කරන්න ඕනෙ කියලා එයාලා යෙහෝවාගෙන් ඇහුවේ නැහැ.+ 15  ඉතින් යොෂුවා ඒ අය එක්ක යුද්ධ කරන්නේ නැහැ+ කියලා පොරොන්දු වෙලා එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුමට එකඟව වැඩ කරනවා කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ අධිපතීන් දිවුරලා පොරොන්දු වුණා.+ 16  දවස් තුනකට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ට දැනගන්න ලැබුණා එයාලා ගිවිසුම ඇති කරගත්තේ ඒ ළඟම ඉන්න ජාතියක් එක්ක කියලා. 17  ඒ නිසා ඊශ්‍රායෙල්වරු එතනින් පිටත් වෙලා ඒ අයව හොයාගෙන ගියා. එයාලා දවස් තුනකින් ගිබියොන්,+ කෙෆීරා, බෙයේරොත් සහ කිර්යත්යෙයාරීම්+ කියන ගිබියොන්වරුන්ගේ නගරවලට ආවා. 18  ඒත් එයාලා ගිබියොන්වරුන්ට පහර දුන්නේ නැහැ. මොකද අධිපතීන් ගිබියොන්වරුන්ට කිසිම හානියක් කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙලයි තිබුණේ.+ ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟ එයාලාගේ අධිපතීන්ට දොස් කියන්න පටන්ගත්තා. 19  එතකොට අධිපතීන් සෙනඟට මෙහෙම කිව්වා. “අපි එයාලට හානියක් කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වුණා. ඒ නිසා එයාලට විරුද්ධව දැන් අපිට කිසිම දෙයක් කරන්න බැහැ. 20  ඉතින් අපි පොරොන්දු වුණ විදිහටම කරමු.+ අපි අපේ පොරොන්දුව කඩ කළොත් දෙවියන්ට අපිත් එක්ක ලොකු කේන්තියක් ඇති වෙයි.” 21  අධිපතීන් මෙහෙමත් කිව්වා. “අපි පොරොන්දු වුණ විදිහටම එයාලට ජීවත් වෙන්න ඉඩහරිමු. ඒත් අපි දිගටම එයාලට කියලා දර එකතු කරගන්න එකයි, වතුර ඇදගන්න එකයි කරගමු.” 22  පස්සේ යොෂුවා ගිබියොන්වරුන්ට එන්න කියලා එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයාලා අපිව රැවැට්ටුවේ? ඔයාලා ජීවත් වෙන්නේ මේ ළඟනේ. ගොඩක් දුර ඉඳන් ආවා කියලා ඔයාලා කිව්වේ ඇයි?+ 23  ඒ නිසා අද ඉඳන් ඔයාලා ශාප ලත් සෙනඟක්.+ හැමදාටම ඔයාලට සිද්ධ වෙනවා අපිට දාසකම් කරන්න. මගේ දෙවියන්ගේ ගෘහයට ඕනෙ කරන දර එකතු කරන එකයි, වතුර ඇදලා දෙන එකයි ඔයාලා හැමදාටම කරන්න ඕනේ.” 24  එතකොට එයාලා යොෂුවාට මෙහෙම කිව්වා. “අනේ, අපි එහෙම කළේ+ ඔයාලා අපිව මරයි කියන බයට.+ මොකද අපිට දැනගන්න ලැබුණා මේ මුළු දේශයම යටත් කරගෙන ඒකේ ඉන්න හැමෝවම මරලා දාන්න කියලා ඔයාලාගේ දෙවි යෙහෝවා ඔහුගේ සේවක මෝසෙස්ට කිව්වා කියලා.+ 25  ඒ නිසා ඔයාලා කියන ඕනෙම දේකට අපි යටත් වෙන්නම්. ඔයාලට හොඳයි කියලා හිතෙන දෙයක් අපිට කරන්න.” 26  ඉතින් යොෂුවා එයාලව මරලා දාන්න ඊශ්‍රායෙල්වරුන්ට ඉඩ දුන්නේ නැහැ. 27  ඒත් එදා ඉඳන් යොෂුවා එයාලව ඊශ්‍රායෙල්වරුන්ගේ දාසයන් කරගත්තා. යෙහෝවා දෙවියන් තමන්ගේ පූජාසනය ඉදි කරන්න තෝරගන්න හැම තැනකදීම+ ඊශ්‍රායෙල් සෙනඟටත් පූජාසනයටත් ඕනෙ කරන දර එකතු කරන සහ වතුර අදින වගකීම යොෂුවා එයාලට පැවරුවා.+ අද වෙන කල්ම ඒ සේවය කරන්නේ ඒ අයයි.+

පාදසටහන්

ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.
මූ.අ., “ෂෙපේලාවල.”
ඒ කාලේ ගිබියොන් නගරයේ ජීවත් වුණේ හිවීයවරු.