යොහන් 1:1-51

  • ‘වචනය’ කියන තැනැත්තා මිනිසෙක් විදිහට ආවා (1-18)

  • යොහන් බව්තීස්ත දීපු සාක්ෂිය (19-28)

  • යේසුස් දෙවියන්ගේ බැටළු පැටියා (29-34)

  • යේසුස්ගේ මුල්ම ගෝලයන් (35-42)

  • ෆිලිප් සහ නතානියෙල් (43-51)

1  පටන්ගැන්මේදී* ‘වචනය’*+ කියන තැනැත්තා හිටියා. ඔහු හිටියේ දෙවියන් එක්කයි.+ ‘වචනය’ කියන තැනැත්තා දෙවියන් වගේම කෙනෙක්.*+  ඒ තැනැත්තා පටන්ගැන්මේ ඉඳන් හිටියේ දෙවියන් එක්කයි.  හැම දෙයක්ම හදන්න හවුල් කරගත්තේ ඔහුවයි.+ ඔහු නැතුව කිසිම දෙයක් හැදුවේ නැහැ. ඔහු මාර්ගයෙන් තමයි  හැම දේකටම ජීවය දුන්නේ. ඔහුගේ ජීවිතය මිනිස්සුන්ට ආලෝකයක් වුණා.+  ඒ ආලෝකය අන්ධකාරයේ දිගටම බැබළෙනවා.+ ඒක නිවලා දාන්න අන්ධකාරයට පුළුවන්කමක් නැහැ.  යොහන් කියලා කෙනෙක් හිටියා.+ එයා දෙවියන් එවපු කෙනෙක්.  එයා ආවේ සාක්ෂිකරුවෙක් විදිහටයි. ආලෝකය ගැන සාක්ෂි දරලා+ හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ගේ හිත්වල විශ්වාසයක් ඇති කරන්නයි.  ඒත් එයා ඒ ආලෝකය නෙමෙයි.+ එයා ආවේ ඒ ආලෝකය ගැන සාක්ෂි දරන්නයි.  හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට ආලෝකය දෙන ඒ සැබෑ ආලෝකය ලෝකයට එන කාලය ළං වෙලයි තිබුණේ.+ 10  ඔහු* ඒ වෙද්දීත් ලෝකයේ හිටියා.+ ලෝකය හැදුවේ ඔහුව හවුල් කරගෙන+ වුණත් ලෝකේ හිටපු අය ඔහුව පිළිගත්තේ නැහැ. 11  ඔහු තමන්ගෙම දේශයට ගියත් ඔහුගේ සෙනඟ ඔහුව පිළිගත්තේ නැහැ. 12  ඒත් ඔහුව පිළිගත්ත හැමෝටම දෙවියන්ගේ දරුවන්+ වෙන්න අවස්ථාව ඔහු දුන්නා. මොකද එයාලා ඔහු* ගැන විශ්වාසය තිබ්බා.+ 13  දෙවියන්ගේ දරුවන් විදිහට එයාලා ඉපදුණේ දෙමාපියන් මාර්ගයෙන්වත් දෙමාපියන්ගේ කැමැත්ත නිසාවත් මිනිසෙක්ගේ කැමැත්ත නිසාවත් නෙමෙයි. එයාලා ඉපදුණේ දෙවියන්ගේ කැමැත්ත නිසයි.+ 14  ‘වචනය’ කියන තැනැත්තා මිනිසෙක් වෙලා+ අපි අතරේ ජීවත් වුණා. අපි ඔහුගේ තේජස දැක්කා. ඒ තේජස තමන්ගේ එකම පුතාට*+ තාත්තාගෙන් ලැබෙන තේජසට සමානයි. ඔහුට දෙවියන්ගේ කරුණාව අඩුවක් නැතුව ලැබුණා.* සත්‍යයත් ඔහු මාර්ගයෙන් නොඅඩුව දකින්න තිබුණා. 15  (යොහන් හැමෝටම ඇහෙන්න ඔහු ගැන මෙහෙම සාක්ෂි දැරුවා. “‘මට පස්සේ එන කෙනා මාව පහු කරගෙන ඉදිරියට ඇවිල්ලා. මොකද ඔහු මට කලින් ඉඳලාම හිටියා’+ කියලා මං කිව්වේ මේ කෙනා ගැනයි.”) 16  ඔහුට නොඅඩුව මහත් කරුණාව ලැබුණ නිසා ඔහු අපිටත් කිසිම අඩුවක් නැතුව මහත් කරුණාව පෙන්නුවා. 17  දෙවියන් නීතිය දුන්නේ මෝසෙස් මාර්ගයෙන්.+ ඒත් ඔහු මහත් කරුණාව*+ පෙන්නුවෙත් සත්‍යය දුන්නෙත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්.+ 18  කිසිම මිනිසෙක් දෙවියන්ව කවදාවත් දැකලා නැහැ.+ ඒත් දෙවියන් කවුද කියලා පැහැදිලි කරලා දුන්නේ ඔහුගේ එකම පුතායි.*+ පියාණන් ළඟින්ම ඉන්න*+ ඒ පුතා දෙවියන් වගේමයි.+ 19  යුදෙව්වන් යෙරුසලමේ ඉඳන් පූජකයන්වයි, ලෙවීවරුන්වයි යොහන් ළඟට යවලා “ඔයා කවුද”+ කියලා ඇහුවාම යොහන් එයාලට සාක්ෂි දැරුවා. 20  එයා “මං ක්‍රිස්තුස් නෙමෙයි” කියලා කෙළින්ම කිව්වා. 21  ඉතින් එයාලා “එහෙමනං ඔයා කවුද? ඔයා එලියාද”+ කියලා යොහන්ගෙන් ඇහුවා. එයා මෙහෙම උත්තර දුන්නා. “නෑ, මං එලියා නෙමෙයි.” එතකොට එයාලා ඇහුවා “එනවා කියලා කියපු අනාගතවක්තෘවරයා ඔයාද”+ කියලා. ඒකටත් එයා “නැහැ” කියලා උත්තර දුන්නා. 22  ඉතින් එයාලා යොහන්ට මෙහෙම කිව්වා. “එහෙමනං ඔයා කවුද කියලා අපිට කියන්න. එතකොට අපිව එවපු අයට උත්තරයක් දෙන්න අපිට පුළුවන්. ඔයා කියන්නේ ඔයා කවුරු කියලද?” 23  එතකොට යොහන් මෙහෙම කිව්වා. “මම තමයි අනාගතවක්තෘ යෙසායා කියපු+ පාළුකරයෙන් ඇහෙන හඬ. ඒ හඬ ‘යෙහෝවාගේ* මාර්ගය සමතලා කරන්න’+ කියලා කියනවා.” 24  යොහන්ගෙන් ඒ ප්‍රශ්න අහපු අයව එව්වේ පරිසිවරු.* 25  ඉතින් එයාලා යොහන්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා ක්‍රිස්තුස්වත් එලියාවත් නෙමෙයි නං, එනවා කියපු අනාගතවක්තෘවරයාත් නෙමෙයි නං ඇයි ඔයා මිනිස්සුන්ව බව්තීස්ම කරන්නේ?” 26  යොහන් මෙහෙම උත්තර දුන්නා. “මං බව්තීස්ම කරන්නේ වතුරෙන්. ඔයාලා තාමත් අඳුරගෙන නැති කෙනෙක් ඔයාලා අතරේම ඉන්නවා. 27  ඔහු තමයි මට පස්සේ එන කෙනා. ඔහුගේ පාවහන්වල පටි ලිහන්නවත් මං වටින්නේ නැහැ.”+ 28  ඒ දේවල් වුණේ යොහන් මිනිස්සුන්ව බව්තීස්ම කරපු+ යොර්දාන් ගඟෙන් එහා පැත්තේ තියෙන බෙතානියේ. 29  ඊළඟ දවසේ යොහන් දැක්කා යේසුස් එයා ළඟට එනවා. ඉතින් එයා මෙහෙම කිව්වා. “බලන්න, මේ ඉන්නේ දෙවියන්ගේ බැටළු පැටියා!+ ලෝකයෙන්+ පාපය+ නැති කරන්නේ ඔහුයි. 30  මං කලින් මෙහෙම කිව්වේ මෙයා ගැන තමයි. ‘මට පස්සේ කෙනෙක් එනවා. ඔහු මාව පහු කරගෙන ඉදිරියට ඇවිල්ලා. මොකද ඔහු මට කලින් ඉඳලාම හිටියා.’+ 31  මාත් ඔහුව අඳුරගෙන තිබුණේ නැහැ. ඒත් වතුරෙන් බව්තීස්ම කරන වැඩේ මං පටන්ගත්තේ ඔහු කවුද කියලා ඊශ්‍රායෙල්වරුන්ට පෙන්නලා දෙන්නයි.”+ 32  යොහන් මේ සාක්ෂියත් දුන්නා. “පරෙවියෙක් අහසේ ඉඳන් එනවා වගේ දෙවියන්ගේ බලය ඔහු පිටට එනවා මං දැක්කා. ඒ බලය ඔහුගෙන් අයින් වුණේ නැහැ.+ 33  මමත් ඔහුව අඳුරගෙන තිබුණේ නැහැ. ඒත් වතුරෙන් බව්තීස්ම කරන්න මාව එවපු තැනැත්තා මට මෙහෙම කිව්වා. ‘මගේ බලය කවුරු හරි කෙනෙක් පිටට ඇවිල්ලා ඒක දිගටම ඔහු ළඟ තියෙනවා+ ඔයා දැක්කොත් අන්න ඒ කෙනා තමයි මගේ බලයෙන් බව්තීස්ම කරන්නේ.’+ 34  මං ඒක දැක්කා. ඔහු තමයි දෙවියන්ගේ පුතා+ කියලා මං සාක්ෂි දැරුවා.” 35  ඊළඟ දවසෙත් යොහන් එතන හිටගෙන හිටියා. එයාත් එක්ක එයාගේ ගෝලයන් දෙන්නෙකුත් හිටියා. 36  යේසුස් ඇවිදගෙන යනවා දැකලා යොහන් මෙහෙම කිව්වා. “බලන්න! අර ඉන්නේ දෙවියන්ගේ බැටළු පැටියා!”+ 37  එයා කියපු දේ අහලා ඒ ගෝලයෝ දෙන්නා යේසුස්ගේ පස්සෙන් ගියා. 38  යේසුස් හැරිලා බලද්දී දැක්කා ඒ දෙන්නා ඔහුගේ පිටිපස්සෙන් එනවා. ඉතින් ඔහු එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලට මොනවාද ඕනේ?” එයාලා “රබ්බි, ඔබ නතර වෙලා ඉන්නේ කොහෙද” කියලා ඇහුවා. (“රබ්බි” කියන වචනයේ තේරුම “ගුරුතුමා.”) 39  එතකොට ඔහු මෙහෙම කිව්වා. “ඔයාලත් එන්න. ඇවිත් බලන්න.” ඉතින් එයාලා ඔහු එක්ක ගිහින් ඔහු නතර වෙලා ඉන්නේ කොහෙද කියලා බැලුවා. ඒක වුණේ දහවෙනි පැයේදී විතර.* එයාලා දෙන්නා එදා යේසුස් එක්ක හිටියා. 40  යොහන් කියපු දේවල් අහලා යේසුස් පස්සෙන් ගිය දෙන්නාගෙන් එක් කෙනෙක් අන්දෘ.+ එයා සීමොන් පේතෘස්ගේ සහෝදරයා. 41  ඊටපස්සේ අන්දෘ කෙළින්ම එයාගේ සහෝදරයා වුණ සීමොන් ළඟට ගිහිල්ලා “අපිට මෙසියස්ව+ හම්බ වුණා” කියලා එයාට කිව්වා. (“මෙසියස්” කියන වචනයේ තේරුම “ක්‍රිස්තුස්.”) 42  අන්දෘ සීමොන්ව යේසුස් ළඟට එක්කගෙන ගියා. යේසුස් එයා දිහා බලලා මෙහෙම කිව්වා. “යොහන්ගේ පුතා සීමොන්,+ දැන් ඉඳන් ඔයාට කියන්නේ සීෆස් කියලා” (ග්‍රීක භාෂාවෙන් පේතෘස්).+ 43  ඊළඟ දවසේ යේසුස්ට ඕනෙ වුණා ගලීලයට යන්න. එතකොට ඔහුට ෆිලිප්ව+ හම්බ වුණා. ඔහු එයාට කිව්වා “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියලා. 44  ෆිලිප් බෙත්සයිදාවල කෙනෙක්. අන්දෘ සහ පේතෘස් කියන්නෙත් ඒ නගරයේ අය. 45  ෆිලිප් නතානියෙල්ව+ හම්බ වෙලා එයාට මෙහෙම කිව්වා. “මෝසෙස්ට දීපු නීතියෙයි, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලයි කතා කරලා තියෙන කෙනාව අපිට හම්බ වුණා. එයා යෝසෙප්ගේ+ පුතා යේසුස්. එයා නාසරෙත්වල කෙනෙක්.” 46  ඒත් නතානියෙල් එයාට මෙහෙම කිව්වා. “නාසරෙත්වලින් කොහොමද හොඳ කෙනෙක් එන්නේ?” එතකොට ෆිලිප් “එන්න, ඔයාම ඇවිත් බලන්න” කියලා එයාට කිව්වා. 47  නතානියෙල් තමන් ළඟට එනවා දැකලා යේසුස් මෙහෙම කිව්වා. “මේ ඉන්නේ කිසිම හොර බොරුවක් නැති, නියම ඊශ්‍රායෙල්වරයෙක්.”+ 48  එතකොට නතානියෙල් මෙහෙම ඇහුවා. “ඔබ කොහොමද මාව දන්නේ?” යේසුස් එයාට මෙහෙම කිව්වා. “ෆිලිප් ඔයාට එන්න කියන්නත් කලින් මං ඔයාව දැක්කා. ඔයා හිටියේ අත්තික්කා ගහක් යට.” 49  ඒක ඇහුවාම නතානියෙල් “රබ්බි, ඔබ තමයි දෙවියන්ගේ පුතා. ඊශ්‍රායෙල්වල රජ ඔබයි”+ කියලා කිව්වා. 50  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයා මාව විශ්වාස කරන්නේ අත්තික්කා ගහක් යට ඔයා ඉන්නවා මං දැක්කා කියලා කියපු නිසාද? ඊට වඩා පුදුම හිතෙන දේවල් ඔයා දකියි.” 51  ඔහු මෙහෙමත් කිව්වා. “ඇත්තටම මං ඔයාලා හැමෝටම කියන්නේ, අහස* ඇරිලා දෙවියන්ගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා+ ළඟට බැහැලා එන විදිහයි, ආයේ ඉහළට යන විදිහයි ඔයාලා දකියි.”

පාදසටහන්

හෝ, “දෙවි කෙනෙක්.”
මේ පරිච්ඡේදයේ “වචනය” කියලා පාවිච්චි කරන්නේ යේසුස්ට තියෙන තනතුරක් විස්තර කරන්නයි.
ඒ කියන්නේ හැම දෙයක්ම නිර්මාණය කරන්න කලින්.
ඒ කියන්නේ “වචනය” කියන තැනැත්තා.
මූ.අ., “ඔහුගේ නම.”
ඒ කියන්නේ තමන්ගේ අතින්ම නිර්මාණය කරපු තමන්ගේ එකම පුතාට.
හෝ, “මහත් කරුණාව ඔහුගෙන් දකින්න පුළුවන් වුණා.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාව.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “පියාණන්ගේ පපුවට හේත්තු වෙලා ඉන්න.” ඒකෙන් අදහස් කරන්නේ ඒ කෙනාට විශේෂ තැනක් තියෙනවා කියලයි.
ඒ කියන්නේ දෙවියන්ගේ අතින්ම නිර්මාණය කරපු ඔහුගේ එකම පුතායි.
උප. A5 බලන්න.
ඒ කියන්නේ හවස 4ට විතර.
මෙතන පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනයෙන් අහස වගේම ස්වර්ගයත් අදහස් වෙන්න පුළුවන්.