යොහන් 10:1-42

  • එඬේරා සහ බැටළු ගාල් (1-21)

    • උතුම් එඬේරා යේසුස් (11-15)

    • “වෙනත් බැටළුවනුත් මට ඉන්නවා” (16)

  • කැප කිරීමේ උත්සවයේදී යුදෙව්වන්ට යේසුස්ව හම්බ වෙයි (22-39)

    • යුදෙව්වන් හුඟදෙනෙක් විශ්වාසය තියන්නේ නැහැ (24-26)

    • “මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා” (27)

    • පියාණන් සහ පුත්‍රයා එකට බැඳිලා ඉන්නවා (30, 38)

  • යොර්දාන් ගඟෙන් එගොඩ ඉන්න හුඟදෙනෙක් විශ්වාසය තියයි (40-42)

10  “ඇත්තටම මං ඔයාලට කියන්නේ, බැටළු ගාලට දොරටුවෙන් ඇතුල් වෙන්නේ නැතුව තාප්පෙන් පැනලා ඇතුල් වෙන කෙනා හොරෙක්, කොල්ලකාරයෙක්.+  ඒත් දොරටුවෙන් ඇතුල් වෙන්නේ බැටළුවන්ගේ එඬේරායි.+  දොරටු පාලකයා එයාට දොර අරිනවා.+ එයාගේ හඬට බැටළුවන් කීකරු වෙනවා.+ එයා තමන්ගේ බැටළුවන්ට නම් කියලා කතා කරලා උන්ව ගාලෙන් එළියට අරන් යනවා.  තමන්ට අයිති හැම බැටළුවෙක්වම එළියට ගත්තාට පස්සේ එයා උන්ට ඉස්සරහින් යනවා. බැටළුවන් එයාගේ හඬ අඳුරන නිසා උන් එයාගේ පස්සෙන් යනවා.  උන් අඳුරන්නේ නැති කෙනෙක් පස්සේ කොහොමටවත් යන්නේ නැහැ. උන් එයාගෙන් පැනලා දුවනවා. මොකද දන්නේ නැති අයගේ හඬ උන් අඳුරගන්නේ නැහැ.”  යේසුස් ඒ උදාහරණය කිව්වත් ඔහු කිව්වේ මොනවාද කියලා යුදෙව්වන්ට තේරුණේ නැහැ.  ඉතින් යේසුස් ආයෙත් සැරයක් එයාලට මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ, බැටළුවන්ට ඇතුල් වෙන්න තියෙන දොරටුව මමයි.+  එඬේරා මමයි කියලා කියාගෙන එන අනිත් හැමෝම හොරු, කොල්ලකාරයෝ. බැටළුවන් එයාලට ඇහුම්කන් දෙන්නේ නැහැ.  දොරටුව මමයි. ගාලට ඇතුල් වෙන්න මං ළඟට එන හැමෝටම ගැලවීම ලැබෙනවා. ඒ හැමෝටම ඇතුළට යන්නත් එළියට යන්නත් පුළුවන්. ඒ අයට සරු තණබිම් හම්බ වෙනවා.+ 10  හොරා එන්නේ නිකං නෙමෙයි. එයා එන්නේ බැටළුවන්ව හොරකම් කරන්න. උන්ව මරලා විනාශ කරන්න.+ ඒත් මං ආවේ බැටළුවන්ට ජීවනය ලබා දෙන්නයි. කිසිම අඩුවක් නැති ජීවිතයක් ලබා දෙන්නයි. 11  උතුම් එඬේරා මමයි.+ තමන්ගේ බැටළුවන් වෙනුවෙන් උතුම් එඬේරා එයාගේ ජීවිතය දෙනවා.+ 12  කුලියට බැටළුවන් බලාගන්න කෙනා නියම එඬේරෙක් නෙමෙයි. බැටළුවන් එයාට අයිති නැහැ. ඉතින් වෘකයෙක් එනවා දැක්කාම එයා බැටළුවන්ව දාලා පැනලා යනවා. වෘකයා ඇවිත් උන්ව ඇදගෙන යනවා. අනිත් උන් හැම තැනටම විසිරිලා යනවා. 13  එයා කුලියට වැඩ කරන කෙනෙක් නිසා එයාට බැටළුවන් ගැන ආදරයක් නැහැ. 14  උතුම් එඬේරා මමයි. මං මගේ බැටළුවන්ව අඳුරනවා. මගේ බැටළුවනුත් මාව අඳුරනවා.+ 15  ඒක හරියට පියාණන් මාවත් මං පියාණන්වත් අඳුරගෙන ඉන්නවා වගෙයි.+ මං මගේ ජීවිතය බැටළුවන් වෙනුවෙන් දෙනවා.+ 16  “මේ ගාලට අයිති නැති වෙනත් බැටළුවනුත් මට ඉන්නවා.+ මං උන්වත් එකතු කරගන්න ඕනේ. උන් මගේ හඬට කීකරු වෙනවා. උන් ඔක්කොම එක රැළක් වෙනවා. උන්ට ඉන්නේ එක එඬේරෙක්.+ 17  මගේ පියාණන් මට ආදරෙයි.+ මොකද මං මගේ ජීවිතය දෙන්නේ කැමැත්තෙන්මයි.+ එතකොට මට ඒක ආපහු ලැබෙනවා. 18  කිසිම මිනිසෙක් මගේ ජීවිතය මගෙන් උදුරගන්නේ නැහැ. මං මගේ ජීවිතය දෙන්නේ කැමැත්තෙන්මයි. මගේ ජීවිතය දෙන්න මට අයිතියක් තියෙනවා. ඒක ආපහු ලබන්නත් මට අයිතියක් තියෙනවා.+ ඒ ආඥාව මට ලැබුණේ මගේ පියාණන්ගෙන්.” 19  යේසුස් කියපු ඒ දේවල් නිසා ආපහු සැරයක් යුදෙව්වන් අතරේ බෙදීමක් ඇති වුණා.+ 20  එයාලාගෙන් හුඟදෙනෙක් “එයාට භූතයෙක් වැහිලා. එයාට පිස්සු. ඔයාලා මොකටද එයා කියන දේවල් අහන් ඉන්නේ” කියලා කිව්වා. 21  තවත් සමහරු මෙහෙම කිව්වා. “භූතයෙක් වැහිලා ඉන්න කෙනෙක් කොහොමද මෙහෙම උගන්නන්නේ? භූතයෙක්ට පුළුවන්ද අන්ධයන්ට පෙනීම ලබා දෙන්න?” 22  ඔය කාලේදී තමයි කැප කිරීමේ උත්සවය* යෙරුසලමේ පැවැත්තුවේ. ඒක ශීත කාලය. 23  යේසුස් දේවමාලිගාවේ කුලුනුවලින් වට වෙලා තිබුණ සලමොන්ගේ ශාලාවේ*+ ඇවිද ඇවිද හිටියා. 24  එතකොට යුදෙව්වන් ඔහුව වට කරගෙන “කවද්ද ඔයා අපිට ඇත්ත කියන්නේ? ඔයා ක්‍රිස්තුස්ද නැද්ද කියලා කෙළින්ම කියන්න” කියලා කිව්වා. 25  යේසුස් එයාලට මෙහෙම උත්තර දුන්නා. “ඒ ගැන මං කිව්වා. ඒත් ඔයාලා ඒක විශ්වාස කරන්නේ නැහැ. මගේ පියාණන්ගේ නාමයෙන් මං කරන දේවල් මං කවුද කියන එකට සාක්ෂියක්.+ 26  ඒත් ඔයාලා මගේ බැටළුවන් නෙමෙයි.+ ඒ නිසයි ඔයාලා මාව විශ්වාස කරන්නේ නැත්තේ. 27  මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා. මම එයාලව හොඳට අඳුරනවා. එයාලා මගේ පිටිපස්සෙන් එනවා.+ 28  මං එයාලට සදාකාල ජීවිතය දෙනවා.+ එයාලා කවදාවත් විනාශ වෙන්නේ නැහැ. කවුරුත් එයාලව මගේ අතින් උදුරගන්නේ නැහැ.+ 29  මගේ පියාණන් මට භාර දීලා තියෙන බැටළුවන් ගොඩක් වටිනවා. කිසිම කෙනෙක්ට පියාණන්ගේ අතින් උන්ව උදුරගන්න බැහැ.+ 30  මගේ පියායි, මමයි එක් කෙනෙක් වගේ.”*+ 31  යුදෙව්වන් ඔහුට ගහන්න ආපහු සැරයක් ගල් අතට ගත්තා. 32  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “පියාණන් කරන්න කියපු යහපත් දේවල් ගොඩක් මං ඔයාලා ඉස්සරහා කළා. ඔයාලා මට ගල් ගහන්න හදන්නේ මං කරපු ඒ මොන දේ නිසාද?” 33  එතකොට යුදෙව්වන් මෙහෙම කිව්වා. “අපි ඔයාට ගල් ගහන්නේ ඔයා කරපු යහපත් දේවල් නිසා නෙමෙයි. ඔයා දෙවියන්ට අපහාස කරපු නිසයි.+ ඔයා නිකම්ම නිකම් මනුස්සයෙක්. ඒත් ඔයා කියනවා ඔයා දෙවි කෙනෙක් කියලා.” 34  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලාගේ නීතියේ ලියලා තියෙනවා නේද ‘ඔබ දෙවිවරු’*+ කියලා දෙවියන් කිව්වා කියලා? 35  ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දෙවියන්ගේ වචනයේ වරදකරුවන් විදිහට පෙන්නලා තියෙන අයට දෙවියන්ම කිව්වා ‘දෙවිවරු’+ කියලා. 36  එහෙමනං පියාණන් ඔහුට සේවය කරන්න තෝරගෙන, මේ ලෝකයට එවපු මට ‘මං දෙවියන්ගේ පුතා’ කියලා කියපු නිසා+ ‘ඔයා දෙවියන්ට අපහාස කරනවා’ කියලා කියන එක හරිද? 37  මම මගේ පියාණන් බලාපොරොත්තු වෙන දේ කරන්නේ නැත්නම් මාව විශ්වාස කරන්න එපා. 38  ඒත් මං ඒවා කරනවා නම් ඔයාලා මාව විශ්වාස කළේ නැතත් මං කරන දේවල් බලලා හරි විශ්වාසයක් ඇති කරගන්න.+ එතකොට පියාණන් මාත් එක්ක එකට බැඳිලා ඉන්නවා වගේම මමත් පියාණන් එක්ක එකට බැඳිලා ඉන්නවා කියලා ඔයාලා තේරුම්ගනියි.+ ඒ ගැන ඔයාලට තියෙන අවබෝධය තව තවත් වැඩි වෙයි.” 39  එතකොට ආයේ සැරයක් එයාලා ඔහුව අල්ලගන්න උත්සාහ කළා. ඒත් යේසුස් එයාලාගෙන් බේරිලා ගියා. 40  ඔහු ආයෙත් යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා යොහන් මුලින් මිනිස්සුන්ව බව්තීස්ම කරපු තැනට ගිහින්+ එහෙට වෙලා හිටියා. 41  ඔහු ළඟට ආපු හුඟදෙනෙක් මෙහෙම කියන්න පටන්ගත්තා. “යොහන් එක ආශ්චර්යයක්වත් කළේ නැහැ. ඒත් යොහන් මෙයා ගැන කියපු හැම දෙයක්ම ඇත්ත.”+ 42  එහෙදී හුඟදෙනෙක් යේසුස් ගැන විශ්වාසය තිබ්බා.

පාදසටහන්

හෝ, “දෙපැත්තේම කුලුනු තිබුණ විවෘත ප්‍රදේශයේ.”
හෝ, “එක්සත්ව ඉන්නවා.”
හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අය.”