යොහන් 11:1-57

  • ලාසරුස්ගේ මරණය (1-16)

  • යේසුස් මාර්තා සහ මරියාව සනසවයි (17-37)

  • යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටවයි (38-44)

  • යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි (45-57)

11  බෙතානිය කියන ගමේ කෙනෙක් වුණ ලාසරුස් අසනීප වෙලා හිටියා. මරියා සහ එයාගේ සහෝදරිය වුණ මාර්තා+ හිටියෙත් ඒ ගමේමයි.  මරියා තමයි දවසක් යේසුස්ට සුවඳ තෙල් ආලේප කරලා එයාගේ හිසකෙස්වලින් ඔහුගේ කකුල් පිහ දැම්මේ.+ අසනීප වෙලා හිටියේ එයාගේ සහෝදරයා වුණ ලාසරුස්.  ඉතින් ලාසරුස්ගේ සහෝදරියන් යේසුස්ට මේ පණිවිඩය යැව්වා. “ස්වාමීනි, ඔයා ගොඩක් ආදරේ කරන ඔයාගේ යාළුවා ඉන්නේ අසනීපෙන්.”  යේසුස්ට ඒ පණිවිඩය ලැබුණාම ඔහු මෙහෙම කිව්වා. “එයාගේ අසනීපේ අවසන් වෙන්නේ මරණයෙන් නෙමෙයි දෙවියන්ට ලොකු ගෞරවයක් ගෙනල්ලයි.+ වෙන්න යන දෙයින් දෙවියන්ගේ පුතාටත් ලොකු ගෞරවයක් ලැබෙනවා.”  යේසුස් මාර්තාටයි, එයාගේ සහෝදරියටයි, ලාසරුස්ටයි ගොඩක් ආදරේ කළා.  ලාසරුස් අසනීපෙන් ඉන්නවා කියලා යේසුස්ට ආරංචි වුණත් ඔහු තව දවස් දෙකක් හිටපු තැනම නැවතිලා හිටියා.  ඊටපස්සේ ඔහු ගෝලයන්ට මෙහෙම කිව්වා. “අපි දැන් ආයෙත් යුදයට යමු.”  එතකොට ගෝලයෝ මෙහෙම ඇහුවා. “රබ්බි,+ ඔයා ආයෙත් එහෙට යන්න හදන්නේ ඇයි? ළඟදී නේද යුදයේ මිනිස්සු ඔයාට ගල් ගහන්න හැදුවේ?”+  එතකොට යේසුස් මෙහෙම කිව්වා. “දවල් කාලෙට පැය 12ක් තියෙනවා.+ කවුරු හරි දවල් කාලේ ඇවිදිනවා නම් එයාගේ කකුල කිසිම දේක හැප්පෙන්නේ නැහැ. මොකද අවට ලෝකේ ආලෝකය දකින්න එයාට පුළුවන්. 10  ඒත් කවුරු හරි රෑට ඇවිද්දොත් එයාගේ කකුල් එක එක දේවල හැප්පෙයි. මොකද එයා තුළ කිසි ආලෝකයක් නැහැ.” 11  ඒ දේවල් කිව්වාට පස්සේ ඔහු මෙහෙමත් කිව්වා. “අපේ යාළුවා, ලාසරුස් නිදාගෙනයි ඉන්නේ.+ එයාව ඇහැරවන්න මං දැන් එහෙට යනවා.” 12  එතකොට ගෝලයෝ මෙහෙම කිව්වා. “ස්වාමීනි, එයාට නින්ද ගිහින් තියෙන එක හොඳයි. එතකොට එයා ඉක්මනින් සනීප වෙයි.” 13  යේසුස් අදහස් කළේ ලාසරුස් මැරිලා කියලයි. ඒත් එයාලා හිතුවේ යේසුස් මේ කියන්නේ ලාසරුස් නිදාගෙන විවේක ගන්න එක ගැන කියලයි. 14  ඉතින් යේසුස් එයාලට කෙළින්ම මෙහෙම කිව්වා. “ලාසරුස් මැරිලා.+ 15  ඒ වෙලාවේ මම එතන හිටපු නැති එක ගැන මං සතුටු වෙනවා. මොකද මං කරන්න යන දෙයින් ඔයාලාගේ විශ්වාසය ශක්තිමත් වෙනවා. අපි දැන් එයා ළඟට යමු.” 16  නිවුන් පුතා කියලා හඳුන්වපු තෝමස් අනිත් ගෝලයන්ට මෙහෙම කිව්වා. “මැරෙන්න වුණත් කමක් නෑ, අපිත් එයා එක්ක යමු.”+ 17  යේසුස් ආවාම ඔහුට දැනගන්න ලැබුණා ලාසරුස්ගේ මිනිය සොහොන් ගෙයි* තැන්පත් කරලා දවස් හතරක් ගිහින් තිබුණා කියලා. 18  බෙතානිය තිබුණේ යෙරුසලමට කිට්ටුවෙන්. ඒ කියන්නේ හැතැක්ම දෙකක් විතර* දුරින්. 19  සහෝදරයාගේ මරණය නිසා දුකෙන් හිටපු මාර්තාවයි, මරියාවයි සනසන්න යුදෙව්වන් හුඟදෙනෙක් ඇවිත් හිටියා. 20  යේසුස් එනවා කියලා මාර්තා දැනගත්තාම එයා ඔහුව හම්බ වෙන්න ගියා. ඒත් මරියා+ ගෙදරට වෙලා හිටියා. 21  මාර්තා යේසුස් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා මෙහේ හිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නෑ. 22  ඒත් මං දන්නවා දැන් වුණත් ඔයා දෙවියන්ගෙන් ඉල්ලන ඕනෙම දෙයක් දෙවියන් ඔයාට දෙනවා කියලා.” 23  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ සහෝදරයා නැඟිටිනවා.” 24  එතකොට මාර්තා ඔහුට මෙහෙම කිව්වා. “අන්තිම දවසේ නැවත නැඟිටීම සිද්ධ වෙද්දී+ එයා නැඟිටිනවා කියලා මං දන්නවා.” 25  යේසුස් එයාට මෙහෙම කිව්වා. “මැරුණ අයව නැවත නැඟිට්ටවන්නෙත් මිනිස්සුන්ට ජීවනය දෙන්නෙත් මමයි.+ මං ගැන විශ්වාසය තියන කෙනෙක් මැරුණත් එයාට ආපහු ජීවිතය ලැබෙනවා. 26  ජීවත් වෙන ඕනෙම කෙනෙක් මං ගැන විශ්වාසය තිබ්බොත් එයා කවදාවත් මැරෙන්නේ නැහැ.+ ඔයා ඒක විශ්වාස කරනවාද?” 27  එතකොට මාර්තා මෙහෙම උත්තර දුන්නා. “ඔව් ස්වාමීනි. මට විශ්වාසයි ඔයා ක්‍රිස්තුස් කියලා. ඔයා තමයි ලෝකෙට එනවා කියලා කියපු දෙවියන්ගේ පුතා.” 28  ඊටපස්සේ එයා එයාගේ සහෝදරිය වුණ මරියා ළඟට ගිහින් “ගුරුතුමා+ ආවා. එයා ඔයාට එන්න කියනවා” කියලා රහසින් කිව්වා. 29  ඒක අහපු ගමන්ම මරියා ඉක්මනින්ම නැඟිටලා ඔහුව හම්බ වෙන්න ගියා. 30  ඒ වෙද්දී යේසුස් ගමට ඇතුල් වෙලා තිබුණේ නැහැ. ඒ වෙලාවේ ඔහු හිටියේ මාර්තාට ඔහුව හම්බ වුණ තැන. 31  මරියාව සනසන්න ගෙදරට ඇවිත් හිටපු යුදෙව්වන් දැක්කා මරියා ඉක්මනින්ම නැඟිටලා ගෙදරින් එළියට යනවා. එයාලා හිතුවේ මරියා අඬා වැලපෙන්න සොහොන් ගේ*+ ළඟට යනවා කියලා. ඒ නිසා එයාලත් එයාගේ පස්සෙන් ගියා. 32  යේසුස් හිටපු තැනට ආපු මරියා, ඔහුගේ කකුල් දෙක ළඟ වැටිලා ඔහුට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා මෙහේ හිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නෑ.” 33  මරියායි, එයාත් එක්ක ඇවිත් හිටපු යුදෙව්වනුයි අඬා වැලපෙන විදිහ දැක්කාම යේසුස්ගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. ඔහුට ඒක දරාගන්න බැරි වුණා. 34  ඒ වෙලාවේ ඔහු ඇහුවා “එයාව තැන්පත් කළේ කොහෙද” කියලා. එයාලා ඔහුට “ස්වාමීනි, ඇවිත් බලන්න” කියලා කිව්වා. 35  එතකොට යේසුස් අඬන්න පටන්ගත්තා.+ 36  ඒක දැක්කාම යුදෙව්වන් මෙහෙම කිව්වා. “බලන්නකෝ, එයා ලාසරුස්ට කොච්චර ආදරෙයිද කියලා.” 37  ඒත් එයාලාගෙන් සමහරදෙනෙක් මෙහෙම කිව්වා. “මෙයාට අර අන්ධ මනුස්සයාට පෙනීම දෙන්න+ පුළුවන් වුණා නම් මේ මරණේ වළක්වන්න බැරි වුණේ ඇයි?” 38  ආපහු සැරයක් යේසුස්ට වාවගන්න බැරි දුකක් දැනුණා. ඔහු සොහොන් ගේ* ළඟට ගියා. ඒ සොහොන් ගේ ඇත්තටම ගුහාවක්. ඒකට ඇතුල් වෙන තැන ගලකින් වහලා තිබුණා. 39  යේසුස් කිව්වා “ගල අහකට පෙරළන්න” කියලා. එතකොට මැරුණ කෙනාගේ සහෝදරිය වුණ මාර්තා මෙහෙම කිව්වා. “ස්වාමීනි, එයා මැරිලා දැන් දවස් හතරක් වෙනවා. හොඳටම ගඳ ගහනවා ඇති.” 40  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයා විශ්වාස කළොත් දෙවියන්ගේ බලය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ඔයාට දකින්න පුළුවන් වෙයි+ කියලා මං ඔයාට කිව්වා නේද?” 41  ඉතින් එයාලා ගල අහකට පෙරළුවා. එතකොට යේසුස් අහස දිහා බලලා+ මෙහෙම කිව්වා. “පියාණෙනි, මගේ යාච්ඤාවට ඇහුම්කන් දුන්න එක ගැන මං ඔයාට ස්තුති කරනවා. 42  ඔයා හැම වෙලාවෙම මට ඇහුම්කන් දෙනවා කියලා මං දන්නවා. ඒත් මං මෙහෙම කියන්නේ මගේ වටේ ඉන්න මේ සෙනඟ ගැන හිතලයි. එතකොට මාව එව්වේ ඔයායි කියලා එයාලට විශ්වාසයක් ඇති වෙයි.”+ 43  ඔහු ඒ දේවල් කිව්වාට පස්සේ “ලාසරුස්, එළියට එන්න”+ කියලා හැමෝටම ඇහෙන්න කතා කළා. 44  එතකොට මැරිලා හිටපු කෙනා එළියට ආවා. එයාගේ අත් කකුල් රෙදි පටිවලින් ඔතලයි තිබුණේ. එයාගේ මූණත් රෙදි කෑල්ලකින් ඔතලා තිබුණා. යේසුස් එතන හිටපු අයට මෙහෙම කිව්වා. “එයාගේ රෙදි පටි ගලවලා එයාට යන්න දෙන්න.” 45  මරියාව බලන්න ඇවිත් හිටපු යුදෙව්වන් හුඟදෙනෙක් යේසුස් කරපු දේ දැකලා ඔහු ගැන විශ්වාසය තිබ්බා.+ 46  ඒත් එතන හිටපු සමහරදෙනෙක් පරිසිවරු ළඟට ගිහින් යේසුස් කරපු දේ ගැන එයාලට කිව්වා. 47  ඉතින් නායක පූජකයන් සහ පරිසිවරු මුළු මන්ත්‍රණ සභාවම රැස් කරලා මෙහෙම කිව්වා. “මේ මනුස්සයා ගොඩක් ආශ්චර්යයන් කරනවා.+ අපි මේකට මොකද කරන්නේ? 48  එයාට මේ දේවල් කරන්න අපි ඉඩ දුන්නොත් හැමෝම එයාව විශ්වාස කරයි. එතකොට රෝමවරු ඇවිත් අපේ ජාතියයි, අපේ දේවමාලිගාවයි* අපෙන් උදුරගනියි.” 49  ඒත් එයාලාගෙන් එක් කෙනෙක් ඒ කියන්නේ ඒ අවුරුද්දේ උත්තම පූජකයා විදිහට සේවය කරපු කායෆස්+ එයාලට මෙහෙම කිව්වා. “ඔයාලට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. 50  මුළු ජාතියම විනාශ වෙනවාට වඩා සෙනඟ වෙනුවෙන් එක මනුස්සයෙක් මැරෙන එක හොඳ නැද්ද? ඒකෙන් ඔයාලට වාසියක් වෙනවා කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද?” 51  හැබැයි ඒක එයාම හිතලා කියපු දෙයක් නෙමෙයි. එයා ඒ අවුරුද්දේ උත්තම පූජකයා විදිහට සේවය කරපු නිසා යේසුස් ජාතිය වෙනුවෙන් මැරෙනවා කියන අනාවැකිය කියන්න දෙවියන් එයාව පාවිච්චි කළා. 52  ඇත්තටම ඔහු මැරුණේ ඒ ජාතිය වෙනුවෙන් විතරක් නෙමෙයි හැම තැනකම විසිරිලා ඉන්න දෙවියන්ගේ දරුවන්ව එකට රැස් කරන්නයි. 53  ඉතින් එදා ඉඳන් එයාලා ඔහුව මරන්න කුමන්ත්‍රණය කළා. 54  ඒ නිසා යේසුස් යුදෙව්වන්ට පේන්න එහේ මෙහේ ගියේ නැහැ. ඔහු එහෙන් පිටත් වෙලා පාළුකරයට කිට්ටුවෙන් තියෙන ප්‍රදේශයට ගියා. ඔහු එහේ තියෙන එෆ්‍රායිම්+ කියන නගරයට ගිහින් ගෝලයන් එක්ක එහේ නැවතිලා හිටියා. 55  ඒ වෙද්දී යුදෙව්වන්ගේ පාස්කු උත්සවය+ ළං වෙලයි තිබුණේ. පිටිසර පැතිවල හිටපු හුඟදෙනෙක් පාස්කුවට කලින් යෙරුසලමට එන්න පටන් අරන් තිබුණා. එයාලා එහෙම ආවේ නීතියේ සඳහන් වෙලා තිබුණ විදිහට තමන්ව පවිත්‍ර කරගන්නයි. 56  යෙරුසලමට ආපු ඒ මිනිස්සු යේසුස්ව හොයන්න පටන්ගත්තා. දේවමාලිගාවේ හිටපු එයාලා මෙහෙම කතා වුණා. “මොකක්ද ඔයාලා හිතන්නේ? එයා මේ පාර උත්සවේට එන එකක් නැද්ද?” 57  යේසුස් ඉන්නේ කොහෙද කියලා කවුරු හරි දන්නවා නම් ඒ ගැන දැනුම් දෙන්න කියලා නායක පූජකයන් සහ පරිසිවරු අණ කරලා තිබුණා. මොකද එයාලට ඕනෙ වුණේ යේසුස්ව අල්ලගන්න.*

පාදසටහන්

හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙයක.”
කි.මී. තුනක් විතර. මූ.අ., “ස්ටේඩියා 15ක් විතර.” උප. B14 බලන්න.
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගේ.”
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගේ.”
මූ.අ., “අපේ තැනයි.”
හෝ, “අත්අඩංගුවට ගන්න.”