යොහන් 12:1-50

  • මරියා යේසුස්ගේ කකුල්වල තෙල් ආලේප කරයි (1-11)

  • යේසුස් ප්‍රීති ඝෝෂා මැද යෙරුසලමට ඇතුල් වෙයි (12-19)

  • යේසුස් තමන්ගේ මරණය ගැන කියයි (20-37)

  • යුදෙව්වන්ට විශ්වාසයක් නැතිකම අනාවැකියක ඉටු වීමක් (38-43)

  • යේසුස් ආවේ ලෝකය ගලවගන්න (44-50)

12  පාස්කු උත්සවයට දවස් හයකට කලින් යේසුස් බෙතානියට ආවා. එහේ තමයි යේසුස් මරණයෙන් නැඟිට්ටවපු ලාසරුස්+ හිටියේ.  එහෙදී යේසුස් වෙනුවෙන් කෑමක් ලෑස්ති කරලා තිබුණා. ඒක තිබුණේ හවස. කෑමට ඇවිත් හිටපු අයට සංග්‍රහ කළේ මාර්තා.+ යේසුස් එක්ක කෑමට ඉඳගෙන හිටිය අය අතරේ ලාසරුස් හිටියා.  ඒ වෙලාවේ මරියා ඉස්තරම්ම ජටාමාංස තෙල් බඳුනක්* අරගෙන ඇවිත් ඒක යේසුස්ගේ කකුල්වල ආලේප කරලා එයාගේ කොණ්ඩෙන් ඔහුගේ කකුල් පිහ දැම්මා. ඒක ගොඩක් ගණන්, හරිම සුවඳ තෙල් වර්ගයක්. ඒ තෙල්වල සුවඳ ගේ පුරාම විහිදිලා ගියා.+  ඒත් ඔහුගේ ගෝලයන්ගෙන් එක් කෙනෙක් වුණ යූදස් ඉස්කාරියොත්+ ඒ කියන්නේ යේසුස්ව පාවලා දෙන්න ලෑස්ති වෙලා හිටපු කෙනා මෙහෙම කිව්වා.  “මේ සුවඳ තෙල් ටික ඩිනාරි* 300කට විකුණලා දුප්පත් අයට දෙන්න තිබුණා. ඇයි එහෙම කළේ නැත්තේ?”  එයා එහෙම කිව්වේ දුප්පත් අය ගැන තිබුණ කැක්කුම නිසා නෙමෙයි එයා හොරෙක් නිසයි. එයා ළඟ තමයි සල්ලි පෙට්ටිය තිබුණේ. ඒකට දාපු සල්ලි හොරකම් කරන්න එයා පුරුදු වෙලා හිටියා.  යේසුස් ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “එයාට ඉන්න දෙන්න. එයා මේ දේ කරන්නේ මාව තැන්පත් කරන දවසට සූදානම් කරන්නයි.+ ඉතින් එයාට ඒක කරන්න ඉඩ දෙන්න.  දුප්පත් අය ඔයාලා එක්ක හැමදාම ඉන්නවා.+ ඒත් මං ඔයාලා එක්ක හැමදාම ඉන්නේ නැහැ.”+  ඔය අතරේ යේසුස් එහේ ඉන්නවා කියලා ආරංචි වුණ යුදෙව්වන් හුඟදෙනෙක් එතනට ආවා. එයාලා ආවේ යේසුස්ව බලන්න විතරක් නෙමෙයි ඔහු මරණයෙන් නැඟිට්ටවපු ලාසරුස්වත් බලන්නයි.+ 10  නායක පූජකයන් ලාසරුස්වත් මරලා දාන්න කුමන්ත්‍රණය කළා. 11  එයාලා එහෙම කළේ එහෙට ගිය යුදෙව්වන් හුඟදෙනෙක් ලාසරුස්ව දැක්කාට පස්සේ යේසුස් ගැන විශ්වාසය තිබ්බ නිසයි.+ 12  ඊළඟ දවසේදී උත්සවයට ඇවිත් හිටපු විශාල සෙනඟට ආරංචි වුණා යේසුස් යෙරුසලමට එනවා කියලා. 13  ඉතින් එයාලා තාල වර්ගයේ ගස්වල අතු කපාගෙන ඔහුව හම්බ වෙන්න ගියා. එයාලා මෙහෙම කෑගහන්න පටන්ගත්තා. “අනේ, ඔහුව ආරක්ෂා කරන්න! යෙහෝවාගේ* නමින් එන තැනැත්තාට,+ ඊශ්‍රායෙල්වරුන්ගේ රජට+ ආශීර්වාද ලැබේවා!” 14  බූරු නාම්බෙක්ව හම්බ වුණාම යේසුස් උගේ පිට උඩ ඉඳගත්තා.+ ඒකෙන් ලියලා තිබුණ මේ දේ ඉටු වුණා. 15  “සියොන් දියණිය, බය වෙන්න එපා. බලන්න! ඔයාලාගේ රජ බූරු නාම්බෙක් පිටේ නැඟලා එයි.”+ 16  ඔහුගේ ගෝලයන් ඒ දේවල් මුලින් තේරුම්ගත්තේ නැහැ. ඒත් යේසුස් තේජසට පත් වුණාට පස්සේ+ තමයි එයාලට මතක් වුණේ ඒ හැම දෙයක්ම වුණේ ඔහු ගැන ලියලා තිබුණ විදිහටමයි කියලා.+ 17  ඔය අතරේ යේසුස් ලාසරුස්ව මරණයෙන් නැඟිට්ටවලා සොහොන් ගෙයින්* එළියට එන්න කියපු වෙලාවේ+ එතන හිටපු සෙනඟ ඒ සිද්ධිය ගැන හම්බ වෙන හැමෝටම කිව්වා.+ 18  යේසුස් ඒ ආශ්චර්යය කළා කියලා ආරංචි වුණ නිසා සෙනඟ ඔහුව හම්බ වෙන්න ආවා. 19  ඒක දැනගත්ත පරිසිවරු මෙහෙම කතා වුණා. “පේනවාද අපේ හැම වැඩක්ම අසාර්ථකයි! බලන්න, මුළු ලෝකයම එයාගේ පස්සෙන් යනවා.”+ 20  පාස්කු උත්සව කාලේදී නමස්කාර කරන්න ඇවිත් හිටපු අය අතරේ ග්‍රීකවරු පිරිසකුත් හිටියා 21  එයාලා ගලීලයේ බෙත්සයිදා නගරයේ කෙනෙක් වුණ ෆිලිප්+ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “මහත්මයා, අපි කැමතියි යේසුස්ව හම්බ වෙන්න.” 22  ෆිලිප් ඇවිත් ඒ ගැන අන්දෘට කිව්වා. අන්දෘ සහ ෆිලිප් ඇවිත් යේසුස්ට ඒ ගැන කිව්වා. 23  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයාව තේජසට පත් කරන්න+ වෙලාව ඇවිල්ලයි තියෙන්නේ. 24  ඇත්තටම මං ඔයාලට කියන්නේ තිරිඟු බීජයක් පොළොවට වැටිලා ඒක මැරුණේ නැත්නම් ඒක බීජයක් විදිහටම තියෙනවා. ඒ බීජය මැරුණොත් විතරයි+ ඒකෙන් ලොකු පලදාවක් ලැබෙන්නේ. 25  තමන්ගේ ජීවිතේ රැකගන්න ආසාවෙන් ඉන්න කෙනාට ඒක නැති වෙනවා. ඒත් මේ ලෝකේ තමන් ගත කරන ජීවිතේ කැප කරන්න+ කැමති කෙනාට* ඒක රැකගෙන සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන් වෙනවා.+ 26  කෙනෙක් මට සේවය කරන්න කැමති නම් එයාට පුළුවන් මගේ පස්සෙන් එන්න. මං ඉන්න තැන මට සේවය කරන කෙනාත් ඉඳියි.+ මට සේවය කරන්න කැමති කෙනාට පියාණන්ගෙන් ගෞරවය ලැබෙනවා. 27  දැන් මගේ හිතට ලොකු පීඩනයක් දැනෙනවා.+ ඉතින් මං මොනවාද කියන්නේ? පියාණෙනි, වෙන්න යන දෙයින්* මාව ගලවන්න.+ ඒත් මං ආවේ මේ දේට මුහුණ දෙන්නයි. 28  පියාණෙනි, ඔයාගේ නම ගෞරවයට පත් කරන්න!” එතකොට ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මම ඒක ගෞරවයට පත් කළා. මම ආයෙත් ඒක ගෞරවයට පත් කරනවා.”+ 29  එතන හිටගෙන හිටපු සෙනඟට ඒ හඬ ඇහුණාම ඒක ගොරවන ශබ්දයක් කියලා කියන්න පටන්ගත්තා. තවත් අය “එයාට දේවදූතයෙක් කතා කළා” කියලා කිව්වා. 30  යේසුස් මෙහෙම කිව්වා. “ඒ හඬ ආවේ මං වෙනුවෙන් නෙමෙයි ඔයාලාගේ ප්‍රයෝජනයටයි. 31  මේ ලෝකය දැන් විනිශ්චය කරනවා. මේ ලෝකයේ පාලකයාව+ එළවලා දානවා.+ 32  ඒත් මාව එල්ලලා තියද්දී+ හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ව මං ළඟට ඇදගන්න මට පුළුවන් වෙනවා.” 33  යේසුස් ඇත්තටම ඒක කිව්වේ වැඩි කාලයක් යන්න කලින් ඔහු කොයි වගේ මරණයක් අද්දකිනවාද කියලා පැහැදිලි කරන්නයි.+ 34  එතකොට සෙනඟ ඔහුගෙන් මෙහෙම ඇහුවා. “අපි අහලා තියෙන විදිහට නීතියේ තියෙන්නේ ක්‍රිස්තුස් හැමදාටම ඉන්නවා කියලා.+ එහෙමනං මනුෂ්‍ය පුත්‍රයාව එල්ලලා තියන්න ඕනෙ කියලා ඔයා කියන්නේ ඇයි?+ කවුද මේ මනුෂ්‍ය පුත්‍රයා?” 35  ඉතින් යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ආලෝකය තව ටික කාලයක් ඔයාලා අතරේ තියෙයි. ඔයාලට ආලෝකය තියෙන මේ කාලේදී ඒ ආලෝකයේ ඇවිදින්න. නැත්නම් අන්ධකාරය ඇවිල්ලා ඔයාලව වහගනියි. අන්ධකාරයේ ඇවිදින කෙනා තමන් කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ.+ 36  ඔයාලට ආලෝකය තියෙන කාලේදී ඒ ආලෝකය ගැන විශ්වාසය තියන්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.”+ යේසුස් ඒ දේවල් කිව්වාට පස්සේ එතනින් ගිහින් එයාලාගෙන් හැංගුණා. 37  ඔහු එයාලා ඉස්සරහා කොච්චර ආශ්චර්යයන් කරලා තිබුණත් එයාලා ඔහු ගැන විශ්වාසය තිබ්බේ නැහැ. 38  එහෙම වුණේ අනාගතවක්තෘ යෙසායා කියපු මේ දේ ඉටු වෙන්නයි. “යෙහෝවා* දෙවියනි, අපෙන් අහන්න ලැබුණ දේ ගැන විශ්වාසය තිබ්බේ කවුද?+ යෙහෝවා* ඔහුගේ හස්තය දකින්න සැලැස්සුවේ කාටද?”+ 39  එයාලට විශ්වාසයක් ඇති කරගන්න බැරි වුණ හේතුව යෙසායා ආයෙත් මෙහෙම පැහැදිලි කළා. 40  “ඔහු ඔවුන්ගේ ඇස් අන්ධ කළා. ඔවුන්ගේ හිත් දැඩි කළා. ඒ නිසා ඔවුන් අහන දකින දේවල් තේරුම්ගන්නෙවත් හැරිලා ඇවිත් මගෙන් සුවය ලබන්නෙවත් නැහැ.”+ 41  යෙසායා ක්‍රිස්තුස් ගැන ඒ දේවල් කිව්වේ එයා ඔහුගේ තේජස දැක්ක නිසයි.+ 42  කොහොමවුණත් යුදෙව්වන්ගේ නායකයන් හුඟදෙනෙක් යේසුස් ගැන විශ්වාසය තිබ්බා.+ ඒත් පරිසිවරුන්ට තිබුණ බය නිසා එයාලා ඒක ප්‍රසිද්ධියේ පිළිගන්න කැමති වුණේ නැහැ. මොකද එහෙම කළොත් එයාලව සිනගෝගයෙන් අයින් කරනවා කියලා එයාලා දැනගෙන හිටියා.+ 43  එයාලා ආසාවෙන් හිටියේ දෙවියන්ගේ පිළිගැනීම ලබනවාට වඩා මිනිස්සුන්ගේ පිළිගැනීම ලබන්නයි.+ 44  යේසුස් හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වා. “මං ගැන විශ්වාසය තියන කෙනා මං ගැන විතරක් නෙමෙයි මාව එවපු තැනැත්තා ගැනත් විශ්වාසය තියනවා.+ 45  මාව දකින කෙනා මාව එවපු තැනැත්තාවත් දකිනවා.+ 46  මං ආලෝකයක් විදිහට ලෝකයට ආවේ+ මං ගැන විශ්වාසය තියන හැමෝම අන්ධකාරයෙන් නිදහස් කරන්නයි.+ 47  කෙනෙක් මං කියන දේවල් ඇහුවත් එයා ඒවා පිළිපදින්නේ නැත්නම් මං එයාව විනිශ්චය කරන්නේ නැහැ. මොකද මං ආවේ ලෝකයේ ඉන්න අයව විනිශ්චය කරන්න නෙමෙයි එයාලව ගලවගන්නයි.+ 48  ඒත් මාව ගණන් ගන්නේ නැතුව, මං කියන දේවල් පිළිගන්නේ නැති කෙනාව විනිශ්චය කරන්න කෙනෙක් ඉන්නවා. මං කියපු දේවල් තමයි අන්තිම දවසේදී එයාට විනිශ්චයක් දෙන්න පාවිච්චි කරන්නේ. 49  මොකද මං කියපු කිසිම දෙයක් මමම හිතලා කියපු දේවල් නෙමෙයි. මාව එවපු පියාණන්ම තමයි මං කියන්න ඕනෙ මොනවාද කියලත් මං උගන්නන්න ඕනෙ මොනවාද කියලත් මට අණ කළේ.+ 50  ඔහු අණ කරපු දේ පිළිපදිනවා නම් සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන්.+ ඒක මං හොඳින්ම දන්නවා. ඒ නිසයි මං කියන හැම දෙයක්ම මගේ පියාණන් මට කියලා දුන්න විදිහටම කියන්නේ.”+

පාදසටහන්

මූ.අ., “රාත්තලක්.” මෙතන කතා කරන්නේ රෝමයේ පාවිච්චි කරපු රාත්තලක් ගැනයි. ග්‍රෑම් 327ක් විතර. උප. B14 බලන්න.
උප. B14 බලන්න.
උප. A5 බලන්න.
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙයින්.”
මූ.අ., “ජීවිතේ පිළිකුල් කරන කෙනාට.”
මූ.අ., “මේ පැයෙන්.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.