යොහන් 15:1-27

  • සැබෑ මිදිවැල ගැන උදාහරණය (1-10)

  • යේසුස් වගේම ආදරේ පෙන්නන්න අණ කරයි (11-17)

    • “ඊට වඩා උතුම් ආදරයක් තවත් නැහැ” (13)

  • ලෝකය යේසුස්ගේ ගෝලයන්ට වෛර කරයි (18-27)

15  “සැබෑ මිදිවැල මමයි. මගේ තාත්තා තමයි වගාකරු.  මට සම්බන්ධ වෙලා තියෙන පල දරන්නේ නැති හැම අත්තක්ම ඔහු කපලා අයින් කරනවා. පල දරන හැම අත්තක්ම ඔහු පවිත්‍ර කරනවා.* එහෙම කරන්නේ වැඩි පලදාවක් ගන්නයි.+  මං ඔයාලට කියලා දීපු දේවල් නිසා ඔයාලා දැනටමත් පවිත්‍ර වෙලයි ඉන්නේ.+  මාත් එක්ක එකට බැඳිලා ඉන්න. එතකොට මමත් ඔයාලා එක්ක එකට බැඳිලා ඉන්නවා. අත්තක් මිදිවැලට සම්බන්ධ වෙලා තිබුණේ නැත්නම් ඒකට පල දරන්න බැහැ. ඒ වගේ ඔයාලා මාත් එක්ක එකට බැඳිලා හිටියේ නැත්නම් ඔයාලටත් පල දරන්න බැහැ.+  මමයි මිදිවැල. ඔයාලා තමයි ඒකේ අතු. කෙනෙක් මං එක්කත් මම එයා එක්කත් එකට බැඳිලා හිටියොත් එයාට පුළුවන් ගොඩක් පල දරන්න.+ මොකද මං නැතුව ඔයාලට කිසිම දෙයක් කරන්න බැහැ.  මාත් එක්ක එකට බැඳිලා ඉන්නේ නැති කෙනෙක් හරියට කපලා අයින් කරන අත්තක් වගේ. ඒක වේළිලා යනවා. කපලා අයින් කරන ඒ අතු මිනිස්සු එකතු කරලා ගින්නට වීසි කරලා පුච්චලා දානවා.  ඔයාලා මාත් එක්ක එකට බැඳිලා ඉන්නවා නම්, මං කියන දේවල්වලට කීකරු වෙනවා නම් ඔයාලා කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න ඔයාලට පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ඔයාලට ලැබෙයි.+  ඔයාලා දිගටම ගොඩක් පල දරනවා නම් මගේ ගෝලයන් කියලා ඔප්පු කරනවා නම් ඒකෙන් මගේ තාත්තාට ලොකු ගෞරවයක් ලැබෙයි.+  මගේ තාත්තා මට ආදරේ කරන විදිහටම+ මමත් ඔයාලට ආදරේ කරනවා. දිගටම මගේ ආදරේ ලබන අය විදිහට ජීවත් වෙන්න. 10  මම මගේ තාත්තා අණ කරලා තියෙන දේවල් පිළිපදින නිසා මට ඔහුගේ ආදරේ ලැබෙනවා. ඒ වගේම ඔයාලත් මං අණ කරපු දේවල් පිළිපදිනවා නම් ඔයාලට මගේ ආදරේ දිගටම ලැබෙනවා. 11  “මං මේ දේවල් ඔයාලත් එක්ක කතා කළේ මං අද්දකිනවා වගේ සතුටක් ඔයාලටත් අද්දකින්න පුළුවන් වෙන්නයි. ඒ සතුට කිසිම අඩුවක් නැතුව ඔයාලට අද්දකින්න පුළුවන් වෙන්නයි.+ 12  මම දෙන ආඥාව මේකයි. මං ඔයාලට ආදරේ කරපු විදිහටම ඔයාලත් එකිනෙකාට ආදරේ කරන්න.+ 13  කෙනෙක් තමන්ගේ යාළුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ආදරයක් තවත් නැහැ.+ 14  මං අණ කරන දේ ඔයාලා කරනවා නම් මම ඔයාලව සලකන්නේ මගේ යාළුවන් විදිහටයි.+ 15  දැන් ඉඳන් මම ඔයාලට දාසයන් කියලා කියන්නේ නැහැ. මොකද දාසයෙක් එයාගේ ස්වාමියා කරන දේවල් ගැන දන්නේ නැහැ. ඒත් මම ඔයාලව සලකන්නේ මගේ යාළුවන් විදිහටයි. මගේ තාත්තා මට කියපු හැම දෙයක්ම මම ඔයාලට කියලා දුන්නේ ඒ නිසයි. 16  ඔයාලා මාව තෝරගත්තා නෙමෙයි මමයි ඔයාලව තෝරගත්තේ. ගිහින් දිගටම පල දරන්න ඔයාලව පත් කළේ මමයි. ඔයාලා දරන පල හැමදාටම තියෙන්න ඕනේ. එතකොට ඔයාලා මගේ නමින් තාත්තාගෙන් ඉල්ලන ඕනෙම දෙයක් ඔහු ඔයාලට දෙයි.+ 17  “මං ඒ දේවල් ගැන ඔයාලට අණ කරන්නේ එකිනෙකාට ආදරේ කරන්න ඔයාලට පුළුවන් වෙන්නයි.+ 18  ලෝකය ඔයාලට වෛර කරනවා නම් ඔයාලට වෛර කරන්න කලින් ඒක මට වෛර කළා කියලා ඔයාලා දන්නවා.+ 19  ඔයාලා මේ ලෝකයට අයිති අය විදිහට හිටියා නම් ලෝකයේ අය ඔයාලට කැමති වෙයි. ඒත් ඔයාලා මේ ලෝකයට අයිති නැති නිසාත්+ මේ ලෝකයේ මිනිස්සු අතරින් මං ඔයාලව තෝරගත්ත නිසාත් ලෝකය ඔයාලට වෛර කරනවා.+ 20  මං ඔයාලට කිව්ව මේ දේ මතක තියාගන්න. දාසයෙක් එයාගේ ස්වාමියාට වඩා උසස් වෙන්නේ නැහැ. එයාලා මට පීඩා කළා නම් ඔයාලටත් පීඩා කරයි.+ එයාලා මං කියන දේ පිළිපැද්දා නම් ඔයාලා කියන දේත් පිළිපදියි. 21  ඒත් මාව එවපු කෙනාව එයාලා අඳුරන්නේ නැහැ. ඉතින් ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* ඔයාලට විරුද්ධව කරන්න පුළුවන් හැම දෙයක්ම එයාලා කරයි.+ 22  මං ඇවිත් එයාලට කතා කළේ නැත්නම් එයාලා වැරදිකාරයන් වෙන්නේ නැහැ.+ ඒත් දැන් එයාලාගේ වරදින් නිදහස් වෙන්න එයාලට කියන්න කිසිම දෙයක් නැහැ.+ 23  මට වෛර කරන කෙනා මගේ තාත්තාටත් වෛර කරනවා.+ 24  වෙන කවුරුත් කරපු නැති දේවල් මං එයාලා ඉස්සරහා කළේ නැත්නම් එයාලා වැරදිකාරයන් වෙන්නේ නැහැ.+ ඒත් දැන් එයාලා මාව* දැක්කා විතරක් නෙමෙයි මට වෛර කරනවා. මගේ තාත්තාටත් වෛර කරනවා. 25  ඒ දේ වුණේ ‘එයාලා කිසිම හේතුවක් නැතුව මට වෛර කළා’+ කියලා එයාලාගේ නීතියේ ලියලා තියෙන වචන ඉටු වෙන්නයි. 26  මගේ තාත්තා ලබා දෙන උදව් කරන්නාව මං ඔයාලා ළඟට එවනවා. තාත්තා ලබා දෙන සත්‍යය+ හෙළි කරන ඒ බලය මං ගැන සාක්ෂි දරයි.+ 27  ඒ වගේම ඔයාලත් මං ගැන සාක්ෂි දරන්න ඕනේ.+ මොකද මුල ඉඳන්ම ඔයාලා මාත් එක්ක හිටියා.

පාදසටහන්

හෝ, “කප්පාදු කරනවා.”
හෝ, “මගේ නම දරන නිසා.”
හෝ, “මං කරපු දේවල්.”