යොහන් 16:1-33

  • යේසුස්ගේ ගෝලයන්ට ජීවිතේ පවා නැති වෙන්න ඉඩ තියෙනවා (1-4අ)

  • දෙවියන්ගේ බලය කරන දේවල් (4ආ-16)

  • ගෝලයන්ගේ දුක සතුටට පෙරළෙයි (17-24)

  • යේසුස් ලෝකයෙන් ජය ගත්තා (25-33)

16  “මං මේ දේවල් ඔයාලට කිව්වේ ඔයාලාගේ විශ්වාසය නැති කරගන්නේ නැතුව ඉන්න ඔයාලට උදව් කරන්නයි.*  මිනිස්සු ඔයාලව සිනගෝගවලින් පන්නලා දායි.+ ඔයාලව මරලා දාන එක+ දෙවියන්ට කරන සේවයක් කියලා සමහරු හිතන කාලයක් එනවා.  එයාලා ඒ වගේ දේවල් කරන්නේ එයාලා මගේ තාත්තාවත් මාවත් අඳුරන්නේ නැති නිසයි.+  ඒ වුණත් මම මේ දේවල් ගැන ඔයාලට කිව්වේ මේවා සිද්ධ වෙන කාලේ ආවාම මම ඒ ගැන කිව්වා කියලා ඔයාලට මතක් වෙන්නයි.+ “මම කලින් මේ දේවල් ගැන කිව්වේ නැත්තේ මං ඔයාලා එක්ක හිටපු නිසයි.  මං දැන් මාව එවපු කෙනා ළඟට යනවා.+ ඒත් ‘ඔයා යන්නේ කොහෙද’ කියලා ඔයාලාගෙන් එක් කෙනෙක්වත් මගෙන් අහන්නේ නැහැ.  මොකද මං මේ දේවල් ගැන ඔයාලට කියපු නිසා ඔයාලාගේ හිත් දුකෙන් පිරිලා.+  මම කියන මේ දේ විශ්වාස කරන්න. මම යන්නේ ඔයාලාගෙම ප්‍රයෝජනය වෙනුවෙන්. මම ගියේ නැත්නම් උදව් කරන්නා*+ ඔයාලා ළඟට එන්නේ නැහැ. ඒත් මම ගියොත් උදව් කරන්නාව ඔයාලා ළඟට එවන්න මට පුළුවන්.  ඒ උදව් කරන්නා ආවාම ලෝකය කරපු වරද ගැන පෙන්නලා දෙයි. හරි දේ කරන්නේ කවුද කියන එක ගැනත් දෙවියන්ගේ විනිශ්චය ගැනත් එයා පැහැදිලි සාක්ෂි ලෝකයට ලබා දෙයි.  මුලින්ම එයා ලෝකය කරපු වරද ගැන පෙන්නලා දෙයි.+ මොකද එයාලා මං ගැන විශ්වාසය තියන්නේ නැහැ.+ 10  ඊටපස්සේ හරි දේ කරන්නේ කවුද කියලා පෙන්නලා දෙයි. මොකද මම තාත්තා ළඟට යනවා. එතකොට ඔයාලට තවත් මාව දකින්න ලැබෙන්නේ නැහැ. 11  ඊළඟට එයා දෙවියන්ගේ විනිශ්චය ගැන පෙන්නලා දෙයි. මොකද මේ ලෝකයේ පාලකයාව විනිශ්චය කරලයි තියෙන්නේ.+ 12  “මට ඔයාලට කියන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒවා හිතට ගන්න දැන් ඔයාලට බැහැ. 13  හැබැයි ඒ උදව් කරන්නා* ආවාම ඒ කියන්නේ සත්‍යය හෙළි කරන දෙවියන්ගේ බලය+ ආවාම සත්‍යය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාගන්න එයා ඔයාලට මඟ පෙන්නයි. ඒ උදව් කරන්නා තමන් කැමති කැමති විදිහට වැඩ කරන්නේ නැහැ. දෙවියන්ගෙන් අහන්න ලැබෙන දේවල් විතරයි එයා කියන්නේ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැනත් එයා ඔයාලට පැහැදිලි කරලා දෙයි.+ 14  ඒ උදව් කරන්නා මාව ගෞරවයට පත් කරයි.+ මොකද උදව් කරන්නා ඔයාලට කියලා දෙන්නේ මගෙන් අහන්න ලැබුණ දේවල්.+ 15  තාත්තා දන්න හැම දෙයක්ම මට කියලා දුන්නා.+ ඒ නිසයි මම කිව්වේ උදව් කරන්නාට මගෙන් අහන්න ලැබුණ දේවල් එයා ඔයාලට කියලා දෙයි කියලා. 16  තව ටිකකින් ඔයාලා මාව තවත් දකින්නේ නැහැ.+ ඒත් තව ටිකකින් ඔයාලා මාව ආපහු දකියි.” 17  ඒක අහලා යේසුස්ගේ ගෝලයන් කීපදෙනෙක් මෙහෙම කතා වුණා. “‘තව ටිකකින් ඔයාලා මාව තවත් දකින්නේ නැහැ. ඒත් තව ටිකකින් ඔයාලා මාව ආපහු දකියි’ කියලා එයා කියන කතාවේ තේරුම මොකක්ද? ‘මම තාත්තා ළඟට යනවා’ කියලා එයා කියන්නේ ඇයි?” 18  එයාලා දිගටම මෙහෙම කතා වුණා. “‘තව ටිකකින්’ කියලා එයා කියන්නේ ඇයි? එයා මොනවා ගැන කතා කරනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ.” 19  ගෝලයන්ට යේසුස්ගෙන් අහන්න දේවල් තියෙනවා කියලා තේරුම්ගත්ත යේසුස් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලා දැන් මේ විදිහට කතා වෙන්නේ ‘තව ටිකකින් ඔයාලා මාව තවත් දකින්නේ නැහැ. ඒත් තව ටිකකින් ඔයාලා මාව ආපහු දකියි’ කියලා මං කියපු නිසාද? 20  ඇත්තටම මං ඔයාලට කියන්නේ ඔයාලා අඬා වැලපෙයි. ඒත් ලෝකය සතුටු වෙයි. ඔයාලා ගොඩක් දුක් වෙයි. ඒත් ඊටපස්සේ ඔයාලාගේ දුක සතුටට පෙරළෙයි.+ 21  සාමාන්‍යයෙන් දරුවෙක් බිහි කරන්න ළං වුණාම ස්ත්‍රියකට ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් දරුවා ලැබුණාට පස්සේ එයාට ඒ වේදනාව මතක් වෙන්නෙවත් නැහැ. දරුවාව දැක්කාම* දැනෙන සතුට නිසා එයාගේ වේදනාව එයාට අමතක වෙලා යනවා. 22  දැන් ඔයාලා ඉන්නෙත් දුකෙන්. ඒත් ඔයාලා ආපහු මාව දකිද්දී ඔයාලා ගොඩක් සතුටු වෙයි. ඔයාලාගේ හිත් සතුටින් පිරිලා යයි.+ ඔයාලට දැනෙන සතුට හොරාගන්න කාටවත් බැහැ. 23  ඒ දවසේදී ඔයාලා කිසිම දෙයක් ගැන කිසිම ප්‍රශ්නයක් මගෙන් අහන්නේ නැහැ. ඇත්තටම මං ඔයාලට කියන්නේ ඔයාලා තාත්තාගෙන් ඉල්ලන ඕනෙම දෙයක්+ ඔහු මගේ නමින් ඔයාලට ලබා දෙයි.+ 24  මේ වෙන කල් ඔයාලා මගේ නමින් කිසිම දෙයක් ඉල්ලලා නැහැ. මගේ නමින් ඉල්ලන්න. ඒක ඔයාලට ලැබෙයි. එතකොට ඔයාලා සතුටින් පිරිලා ඉතිරිලා යයි. 25  “මං මේ දේවල් ඔයාලට පැහැදිලි කළේ උදාහරණ පාවිච්චි කරලයි. ඒත් මම උදාහරණ පාවිච්චි කරන්නේ නැතුව ඔයාලට කතා කරන කාලයක් එනවා. එදාට තාත්තා ගැන හැම දෙයක්ම මම ඔයාලට කෙළින්ම කියලා දෙනවා. 26  එදාට ඔයාලා මගේ නමින් තාත්තාගෙන් දේවල් ඉල්ලයි. ඒ කියන්නේ මං ඔයාලා වෙනුවෙන් තාත්තාගෙන් ඉල්ලීම් කරනවා කියන එක නෙමෙයි, ඔයාලම ඉල්ලනවා කියන එකයි. 27  මොකද තාත්තා ඔයාලට ගොඩක් ආදරෙයි. ඔයාලට මං ගැන තියෙන සෙනෙහස නිසාත්+ මං ආවේ දෙවියන්ගේ නියෝජිතයා විදිහට කියලා ඔයාලා විශ්වාස කරන නිසාත්+ තාත්තා ඔයාලට ගොඩක් ආදරෙයි. 28  මං තාත්තාගේ නියෝජිතයා විදිහට ලෝකයට ආවා. දැන් මම මේ ලෝකයෙන් පිටත් වෙලා තාත්තා ළඟට යනවා.”+ 29  ඔහුගේ ගෝලයෝ මෙහෙම කිව්වා. “දැන් නම් ඔයා උදාහරණ පාවිච්චි කරන්නේ නැතුව පැහැදිලිව කතා කරනවා. 30  ඔයා හැම දෙයක්ම දන්නවා, ඇත්තටම ප්‍රශ්නයක් අහන්නත් කලින් ඒ ගැන ඔයා දන්නවා කියලා දැන් අපිට තේරෙනවා. ඒ හින්දා ඔයා දෙවියන් ළඟ ඉඳලා ආපු කෙනා කියලා අපිට විශ්වාසයි.” 31  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “දැන් ඔයාලට විශ්වාසද? 32  ඒත් ඔයාලා හැමෝම තම තමන්ගේ ගෙවල්වලට විසිරිලා යන වෙලාව එනවා. ඇත්තටම ඒ වෙලාව ළඟටම ඇවිල්ලා. ඔයාලා මාව තනි කරලා යනවා.+ ඒත් තාත්තා මාත් එක්ක ඉන්න නිසා මම තනි වෙන්නේ නැහැ.+ 33  මං මේ දේවල් ඔයාලට කිව්වේ මං මාර්ගයෙන් ඔයාලට සමාදානය අද්දකින්න පුළුවන් වෙන්නයි.+ මේ ලෝකයේ ඉන්න නිසා ඔයාලට ගොඩක් දුක් විඳින්න වෙයි. ඒත් හිතට ධෛර්යය ගන්න! මම ලෝකයෙන් ජය ගත්තා.”+

පාදසටහන්

මූ.අ., “ඔයාලාගේ පය පැටලිලා වැටෙන එක වළක්වන්නයි.”
පුද්ගලයෙක් විදිහට මෙතන කතා කරලා තියෙන්නේ දෙවියන්ගේ බලය ගැනයි.
දෙවියන්ගේ බලය වැඩ කරන විදිහ විස්තර කරන්නයි යේසුස් ඒක පුද්ගලයෙක්ට සමාන කරලා තියෙන්නේ. “උදව් කරන්නා,” “එයා” කියලා මේ පදවල කතා කරන්නේ පුද්ගලයෙක් ගැන නෙමෙයි දෙවියන්ගේ බලය ගැනයි.
මූ.අ., “මනුස්සයෙක් ලෝකයට බිහි වෙලා කියලා.”