යොහන් 18:1-40

  • යූදස් යේසුස්ව පාවලා දෙයි (1-9)

  • පේතෘස් කඩුවෙන් පහර දෙයි (10, 11)

  • යේසුස්ව අන්නස් ළඟට ගෙනියයි (12-14)

  • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියපු මුල් වතාව (15-18)

  • යේසුස් අන්නස් ඉස්සරහා (19-24)

  • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියපු දෙවෙනි සහ තුන්වෙනි වතාවන් (25-27)

  • යේසුස් පිලාත් ඉස්සරහා (28-40)

    • “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ” (36)

18  ඒ දේවල් කිව්වාට පස්සේ යේසුස් ගෝලයන් එක්ක උයනකට ගියා. ඒක තිබුණේ කිද්‍රොන් නිම්නයේ+ අනිත් පැත්තේ. ඔහු ඔහුගේ ගෝලයෝ එක්ක ඒ උයනට ඇතුල් වුණා.+  යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක කාලය ගත කරන්න නිතරම එතනට ගිහින් තිබුණා. ඒ නිසා ඔහුව පාවලා දීපු යූදසුත් ඒ තැන ගැන දැනගෙන හිටියා.  ඉතින් යූදස් සෙබළු කණ්ඩායමකුයි, නායක පූජකයන්ගේ සහ පරිසිවරුන්ගේ නිලධාරීනුයි එක්ක එතනට ආවා. එයාලා ආවේ පන්දම්, පහන් සහ ආයුධත් අරගෙනයි.+  තමන්ට වෙන්න යන හැම දෙයක් ගැනම දැනගෙන හිටපු යේසුස් ඉස්සරහට ඇවිල්ලා මෙහෙම ඇහුවා. “ඔයාලා හොයන්නේ කාවද?”  එතකොට එයාලා “අපි හොයන්නේ නාසරෙත්වලින් ආපු යේසුස්ව”+ කියලා උත්තර දුන්නා. “මං තමයි යේසුස්” කියලා ඔහු එයාලට කිව්වා. යේසුස්ව පාවලා දීපු යූදසුත් එයාලා එක්ක හිටියා.+  “මං තමයි යේසුස්” කියලා ඔහු කිව්වාම ඒ කට්ටිය පස්සෙන් පස්සට ගිහින් බිම ඇදගෙන වැටුණා.+  ඉතින් ඔහු එයාලාගෙන් ආයෙත් සැරයක් ඇහුවා “ඔයාලා හොයන්නේ කාවද” කියලා. “නාසරෙත්වලින් ආපු යේසුස්ව” කියලා එයාලා උත්තර දුන්නා.  එතකොට යේසුස් මෙහෙම කිව්වා. “මං තමයි යේසුස් කියලා මං ඔයාලට දැන් කිව්වා නේද? ඉතින් ඔයාලා හොයන්නේ මාව නම් මෙයාලට යන්න දෙන්න.”  ඒකෙන් ඔහු කියලා තිබුණ මේ දේ ඉටු වුණා. “ඔයා මට භාර දුන්න අයගෙන් එක් කෙනෙක්වත් මං නැති කරගත්තේ නැහැ.”+ 10  එතකොට සීමොන් පේතෘස් එයා ළඟ තිබුණ කඩුව එළියට ඇදලා අරන් උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නා. ඒ කඩු පහරට එයාගේ දකුණු කන කැපිලා ගියා.+ ඒ දාසයාගේ නම මැල්කස්. 11  ඒත් යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඔය කඩුව ආපහු කොපුවට දාගන්න.+ මගේ තාත්තා මට බොන්න දීපු කුසලානයෙන් බොන එක නේද මං කරන්න ඕනේ?”+ 12  එතකොට සෙබළුයි, අණ දෙන නිලධාරියායි, යුදෙව්වන්ගේ නිලධාරීනුයි යේසුස්ව අල්ලගෙන ඔහුගේ අත් බැන්දා. 13  ඔහුව මුලින්ම අරන් ගියේ අන්නස් ළඟට. මොකද අන්නස් තමයි ඒ අවුරුද්දේ උත්තම පූජකයා+ වුණ කායෆස්ගේ මාමණ්ඩි.+ 14  සෙනඟ වෙනුවෙන් එක මනුස්සයෙක් මැරෙන එකෙන් යුදෙව්වන්ට වාසියක් වෙනවා කියලා කායෆස් තමයි කියලා තිබුණේ.+ 15  ඔය අතරේ සීමොන් පේතෘස් සහ තවත් ගෝලයෙක් යේසුස්ගේ පස්සෙන් ගියා.+ ඒ ගෝලයා උත්තම පූජකයාව අඳුරන නිසා එයා යේසුස් එක්ක උත්තම පූජකයාගේ ගෙදර මැද මිදුලටම ගියා. 16  ඒත් පේතෘස් දොරකඩ ළඟට වෙලා හිටියා. ඉතින් උත්තම පූජකයාව අඳුරන අනිත් ගෝලයා එළියට ගිහින් දොරටු පාලිකාවට කතා කරලා පේතෘස්ව ඇතුළට එක්කගෙන ආවා. 17  දොරටු පාලිකාව විදිහට හිටපු සේවිකාව පේතෘස්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා අර මනුස්සයාගේ ගෝලයෙක් නෙමේ නේද?” එතකොට එයා “නැහැ” කියලා කිව්වා.+ 18  එදා සීතල රාත්‍රියක් නිසා දාසයෝයි, නිලධාරීනුයි ගිනිමැලයක් ගහලා උණුසුම් වෙන්න ඒක වටේට හිටියා. පේතෘසුත් එයාලා එක්ක ගිනි තපින්න පටන්ගත්තා. 19  නායක පූජකයා යේසුස්ගේ ගෝලයන් ගැනත් ඔහුගේ ඉගැන්වීම් ගැනත් යේසුස්ගෙන් ප්‍රශ්න කළා. 20  යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා. “මම ඉගැන්නුවේ ප්‍රසිද්ධියේ. මම නිතරම ඉගැන්නුවේ යුදෙව්වන් හැමෝම එකතු වෙන සිනගෝගයකදී නැත්නම් දේවමාලිගාවේදී.+ මම කිසිම දෙයක් රහසින් කිව්වේ නැහැ. 21  ඉතින් ඔබ මගෙන් ප්‍රශ්න අහන්නේ ඇයි? මං කියපු දේවල් අහගෙන හිටපු අයගෙන් අහලා බලන්න. මං කියපු දේවල් ගැන එයාලා දන්නවා.” 22  ඔහු එහෙම කිව්වාම එතන හිටපු එක නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පාරක් ගහලා+ “නායක පූජකයාට උත්තර දෙන්නේ ඔහොමද” කියලා ඇහුවා. 23  යේසුස් එයාට මෙහෙම කිව්වා. “මං වැරදි දෙයක් කිව්වා නම් ඒක මොකක්ද කියලා කියන්න. ඒත් මං කියපු දේ හරි නම් ඇයි මට ගහන්නේ?” 24  ඊටපස්සේ අන්නස් කිව්වා යේසුස්ව උත්තම පූජකයා වුණ කායෆස් ළඟට අරන් යන්න කියලා.+ එතකොටත් යේසුස්ගේ අත් දෙක බැඳලයි තිබුණේ. 25  සීමොන් පේතෘස් ඒ වෙද්දීත් හිටියේ ගිනිමැලය ළඟ හිටගෙන. එතන හිටපු කට්ටිය එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා එයාගේ ගෝලයෙක් නෙමේ නේද?” එතකොට එයා “නැහැ” කියලා උත්තර දුන්නා.+ තමන් යේසුස්ගේ ගෝලයෙක් කියන දේ පේතෘස් පිළිගත්තේ නැහැ. 26  පේතෘස් කන කපලා දාපු මනුස්සයාගේ+ නෑදෑයෙක් එතන හිටියා. එයාත් උත්තම පූජකයාගේ දාසයෙක්. එයා මෙහෙම කිව්වා. “මං ඔයාව දැක්කා. ඔයා එයාත් එක්ක උයනේ හිටියා නේද?” 27  ඒත් පේතෘස් ආපහු සැරයක් “නැහැ” කියලා කිව්වා. එතකොටම කුකුළෙක් හැඬලුවා.+ 28  ඊටපස්සේ එයාලා යේසුස්ව කායෆස් ළඟ ඉඳන් ආණ්ඩුකාරයාගේ නිවසට අරගෙන ගියා.+ උදේ පාන්දර තමයි ඒක වුණේ. හැබැයි එයාලා ආණ්ඩුකාරයාගේ නිවසට ඇතුල් වුණේ නැහැ. මොකද එතනට ගියොත් එයාලා අපවිත්‍ර වෙනවා.+ එහෙම වුණොත් එයාලට පාස්කුවට කන කෑම වේල කන්න බැරි වෙනවා. 29  ඉතින් පිලාත් එයාලව හම්බ වෙන්න එළියට ඇවිත් “මේ මනුස්සයාට විරුද්ධව තියෙන චෝදනාව මොකක්ද” කියලා ඇහුවා. 30  එයාලා මෙහෙම කිව්වා. “මේ මනුස්සයා වැරදිකාරයෙක්* නෙමෙයි නම් අපි එයාව ඔබට භාර දෙන්නේ නැහැනේ.” 31  ඉතින් පිලාත් “මෙයාව අරගෙන ගිහින් ඔයාලාගේ නීතියට අනුව විනිශ්චය කරන්න” කියලා කිව්වා.+ එතකොට යුදෙව්වන් “අපිට කාවවත් මරන්න අවසර නැහැ” කියලා උත්තර දුන්නා.+ 32  එහෙම වුණේ තමන් අද්දකින්නේ මොන වගේ මරණයක්ද කියන එක ගැන යේසුස් කියපු දේ ඉටු වෙන්නයි.+ 33  ඉතින් පිලාත් ආපහු සැරයක් නිවස ඇතුළට ගිහින් යේසුස්ව එතනට ගෙන්නගෙන මෙහෙම ඇහුවා. “ඔයා යුදෙව්වන්ගේ රජද?”+ 34  එතකොට යේසුස් මෙහෙම උත්තර දුන්නා. “ඔබ එහෙම අහන්නේ ඇත්තටම ඔබට ඒ ගැන දැනගන්න ඕනෙ නිසාද නැත්නම් අනිත් අය මං ගැන කියන දේවල් නිසාද?” 35  පිලාත් ඔහුට මෙහෙම කිව්වා. “මම යුදෙව්වෙක් නෙමේ කියලා ඔයා දන්නවා. ඔයාගෙම ජාතියේ මිනිස්සුයි, නායක පූජකයනුයි තමයි ඔයාව මට භාර දුන්නේ. ඔයා මොනවාද කළේ?” 36  යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා.+ “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ.+ මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වුණා නම් මගේ අනුගාමිකයන් මං වෙනුවෙන් සටන් කරයි. එයාලා මාව යුදෙව්වන්ගේ අතට අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+ ඒත් මගේ රාජ්‍යය මිනිස්සුන්ගෙන් බිහි වෙන එකක් නෙමෙයි.” 37  ඉතින් පිලාත් “එහෙමනං ඔයා රජ කෙනෙක්ද” කියලා ඔහුගෙන් ඇහුවා. යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා. “මම රජ කෙනෙක් කියලා ඔබ කියන එක හරි.*+ මං ඉපදුණෙත් මේ ලෝකයට ආවෙත් සත්‍යය ගැන සාක්ෂි දෙන්නයි.+ සත්‍යයට එකඟව ජීවත් වෙන හැමෝම මගේ හඬට ඇහුම්කන් දෙනවා.” 38  එතකොට පිලාත් “සත්‍යය? ඒ මොකක්ද” කියලා ඔහුගෙන් ඇහුවා. එහෙම ඇහුවාට පස්සේ පිලාත් ආපහු සැරයක් යුදෙව්වන්ව හම්බ වෙන්න එළියට ගිහින් මෙහෙම කිව්වා. “මට එයාගේ කිසිම වරදක් පේන්නේ නැහැ.+ 39  ඔයාලාගේ සිරිතක් තියෙනවානේ පාස්කු කාලේදී මම එක මනුස්සයෙක්ව නිදහස් කරන්න ඕනෙ කියලා.+ ඉතින් මම යුදෙව්වන්ගේ රජව නිදහස් කරනවාට ඔයාලා කැමතිද?” 40  එතකොට එයාලා “මේ මනුස්සයාව නෙමෙයි බරබ්බස්ව නිදහස් කරන්න” කියලා ආපහු සැරයක් කෑගහලා කිව්වා. බරබ්බස් කියන්නේ හොරෙක්.+

පාදසටහන්

හෝ, “අපරාධකාරයෙක්.”
මූ.අ., “ඔබම ඒකට උත්තරේ දුන්නා.” ඒක ප්‍රශ්නයකට “ඔව්” කියලා උත්තර දෙන විදිහක්.