යොහන් 19:1-42

  • යේසුස්ට හිරිහැර කරලා සමච්චල් කරයි (1-7)

  • පිලාත් යේසුස්ගෙන් ආයෙත් ප්‍රශ්න කරයි (8-16අ)

  • ගොල්ගොතාවලදී යේසුස්ව කණුවක ඇණ ගහයි (16ආ-24)

  • යේසුස් අම්මා වෙනුවෙන් සැලසුම් කරපු දේ (25-27)

  • යේසුස්ගේ මරණය (28-37)

  • යේසුස්ව තැන්පත් කරයි (38-42)

19  ඊටපස්සේ පිලාත් යේසුස්ට කසයෙන් පහර දෙන්න කියලා අණ කළා.+  සෙබළු කටු අතුවලින් ඔටුන්නක් හදලා ඒක යේසුස්ගේ ඔළුවට දාලා දම් පාට සළුවක් ඔහුට ඇන්දුවා.+  එයාලා ඔහු ළඟට ඇවිත් “යුදෙව්වන්ගේ රජ්ජුරුවෙනි, අපි ඔබට සුබ පතනවා”* කියලා කියකිය ඔහුගේ කම්මුලට දිගින් දිගටම පහර දුන්නා.+  පිලාත් ආපහු සැරයක් එළියට ගිහින් යුදෙව්වන්ට මෙහෙම කිව්වා. “එයාගේ කිසි වරදක් මට පේන්නේ නැහැ.+ ඒකයි මං එයාව ඔයාලා ඉස්සරහට ගෙනාවේ.”  ඉතින් යේසුස් එළියට ආවා. ඔහුට කටු ඔටුන්නක් ඔළුවේ දාලා දම් පාට සළුවක් අන්දවලා තිබුණා. පිලාත් එයාලට මෙහෙම කිව්වා. “මෙන්න, ඒ මනුස්සයා!”  ඒත් නායක පූජකයෝයි, නිලධාරීනුයි ඔහුව දැක්ක ගමන්ම “එයාව කණුවක ඇණ ගහලා මරන්න! එයාව කණුවක ඇණ ගහලා මරන්න”+ කියලා කෑගැහුවා. එතකොට පිලාත් එයාලට මෙහෙම කිව්වා. “මට නම් මෙයාගේ කිසි වරදක් පේන්නේ නැහැ.+ ඕනෙ නම් ඔයාලම එයාව අරන් ගිහින් මරන්න.”*  යුදෙව්වන් එයාට මෙහෙම උත්තර දුන්නා. “මෙයා කියනවා එයා දෙවියන්ගේ පුතා කියලා.+ අපේ නීතියේ කියන විදිහට ඒක මරණ දඬුවම ලැබෙන්න ඕන වරදක්.”+  එයාලා කියපු දේවල් ඇහුවාම පිලාත් තවත් බය වුණා.  එයා ආපහු සැරයක් නිවස* ඇතුළට ගිහින් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා ආවේ කොහෙන්ද?” ඒත් යේසුස් එයාට උත්තර දුන්නේ නැහැ.+ 10  එතකොට පිලාත් ඔහුට මෙහෙම කිව්වා. “ඔයා මට උත්තර දෙන්නේ නැද්ද? ඔයා දන්නේ නැද්ද ඔයාව නිදහස් කරන්නත් ඔයාව මරලා දාන්නත්* මට බලය තියෙනවා කියලා?” 11  යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා. “ඔබට ඉහළින් අවසර ලැබුණේ නැත්නම් මට විරුද්ධව කිසිම දෙයක් කරන්න ඔබට බලයක් නැහැ. ඒ නිසයි ඔබේ අතට මාව භාර දීපු මනුස්සයාගේ වරද ඊට වඩා බරපතළ වෙන්නේ.” 12  ඒ නිසා ඔහුව නිදහස් කරන්න පුළුවන් විදිහක් තියෙනවාද කියලා පිලාත් දිගටම හොයලා බැලුවා. ඒත් යුදෙව්වන් කෑගහලා මෙහෙම කිව්වා. “ඔබ මේ මනුස්සයාව නිදහස් කළොත් ඔබ සීසර්ගේ යාළුවෙක් නෙමෙයි. රජෙක් වෙන්න හදන ඕනෙම කෙනෙක් වැඩ කරන්නේ සීසර්ට විරුද්ධවයි.”+ 13  ඒක ඇහුණාම පිලාත් යේසුස්ව එළියට ගෙනාවා. එයා හෙබ්‍රෙව් භාෂාවෙන් ගබ්බතා කියලා හඳුන්වන ගල් අතුරපු තැන තිබුණ විනිශ්චයාසනයක ඉඳගත්තා. 14  ඒක වුණේ හයවෙනි පැයේදී විතර.* එදා පාස්කුවට සූදානම් වෙන දවස.+ පිලාත් යුදෙව්වන්ට මෙහෙම කිව්වා. “මේ ඉන්නේ ඔයාලාගේ රජ!” 15  ඒත් එයාලා “එයාව මරලා දාන්න! මරලා දාන්න! එයාව කණුවක ඇණ ගහලා මරලා දාන්න” කියලා කෑගැහුවා. එතකොට පිලාත් “මං ඔයාලාගේ රජව මරලා දාන්නද” කියලා එයාලාගෙන් ඇහුවා. නායක පූජකයෝ මෙහෙම උත්තර දුන්නා. “අපිට සීසර් ඇරෙන්න වෙන කිසි රජෙක් නැහැ.” 16  ඊටපස්සේ පිලාත් ඔහුව කණුවක ඇණ ගහලා මරන්න+ කියලා එයාලට* භාර දුන්නා. ඉතින් එයාලා යේසුස්ව අරන් ගියා. 17  යේසුස් තමන්ගේ වධකණුව* අරගෙන ගියා. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ගොල්ගොතා+ කියලා හඳුන්වන හිස්කබල කියන තැනට ආවා.+ 18  එතනදී එයාලා ඔහුව කණුවේ ඇණ ගහලා එල්ලුවා.+ ඔහුගේ දෙපැත්තෙන් තව දෙන්නෙක්ව එල්ලලා තිබුණා. මැදින් එල්ලලා තිබුණේ යේසුස්ව.+ 19  පිලාත් “යුදෙව්වන්ගේ රජ වන නාසරෙත්වල යේසුස්” කියලා සඳහන් වුණ පුවරුවකුත් ලෑස්ති කරලා ඒක යේසුස්ගේ වධකණුවේ* එල්ලුවා.+ 20  යේසුස්ව කණුවේ ඇණ ගහලා තිබුණේ නගරයට කිට්ටුවෙන් තිබුණ තැනක නිසා යුදෙව්වන්ගෙන් හුඟදෙනෙක් ඒ පුවරුවේ තිබුණ දේ කියෙව්වා. ඒක හෙබ්‍රෙව්, ලතින් සහ ග්‍රීක භාෂාවලින් ලියලා තිබුණා. 21  යුදෙව්වන්ගේ නායක පූජකයන් පිලාත්ට මෙහෙම කිව්වා. “‘යුදෙව්වන්ගේ රජ’ කියලා ලියලා තියෙන එක වෙනස් කරන්න. ‘මම යුදෙව්වන්ගේ රජ’ කියලා එයා කිව්වා කියලා ලියන්න.” 22  එතකොට පිලාත් “මම ලියපු දේ වෙනස් කරන්නේ නැහැ” කියලා කිව්වා. 23  සෙබළු යේසුස්ව කණුවේ ඇණ ගැහුවා. ඊටපස්සේ එයාලා ඔහුගේ පිට වස්ත්‍ර අරගෙන ඒක කොටස් හතරකට වෙන් කරලා එක් කෙනාට එක ගාණේ ඒවා බෙදාගත්තා. එයාලා යේසුස්ගේ ඇතුල් වස්ත්‍රයත් ගත්තා. ඒත් ඒ ඇඳුමේ මූට්ටුවක් තිබුණේ නැහැ. ඒක උඩ ඉඳන් යටට යන කල් එක රෙද්දක් විදිහට වියලා තිබුණා. 24  ඉතින් එයාලා මෙහෙම කතා වුණා. “අපි මේක ඉරන්නේ නැතුව ඒක අයිති වෙන්නේ කාටද කියලා බලන්න දාදු දාමු.”+ ඒකෙන් “මගේ ඇඳුම් ඔවුන් අතරේ බෙදාගත්තා. මගේ ඇඳුම් බෙදාගන්න දාදු දානවා” කියලා ශුද්ධ ලියවිල්ලේ තිබුණ දේ ඉටු වුණා.+ සෙබළු ඇත්තටම ඒ දේවල් කළා. 25  යේසුස්ගේ වධකණුව* ළඟ ඔහුගේ අම්මායි,+ අම්මාගේ සහෝදරියයි, ක්ලෝපස්ගේ බිරිඳ වුණ මරියායි, මරියා මග්දලේනායි+ හිටගෙන හිටියා. 26  තමන්ගේ අම්මායි, තමන් ආදරේ කරපු ගෝලයායි+ ඒ ළඟ හිටගෙන ඉන්නවා දැක්කාම යේසුස් අම්මාට මෙහෙම කිව්වා. “අම්මේ,* මේ ඉන්නේ ඔයාගේ පුතා.” 27  ඊටපස්සේ ඔහු ඒ ගෝලයාට මෙහෙම කිව්වා. “මේ ඉන්නේ ඔයාගේ අම්මා.” එදා ඉඳන් ඒ ගෝලයා යේසුස්ගේ අම්මාව එයාගේ ගෙදර නවත්තගත්තා. 28  තමන්ට කරන්න කියපු හැම දෙයක්ම මේ වෙද්දී තමන් කළා කියලා තේරුම්ගත්ත යේසුස්, ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන දෙයක් ඉටු කරන්න මෙහෙම කිව්වා. “මට තිබහයි.”+ 29  ඒ ළඟ ඇඹුල් වයින් පුරවපු බඳුනක් තිබුණා. ඉතින් එයාලා ස්පොන්ජියක් අරගෙන ඒක ඇඹුල් වයින්වල පොඟවලා හිසොප්* දණ්ඩක ගහලා ඒක ඔහුගේ කටට ළං කළා.+ 30  යේසුස් ඒ ඇඹුල් වයින් ටිකක් කටට ගත්තාට පස්සේ “හැම දෙයක්ම ඉටු වුණා” කියලා කිව්වා.+ ඊටපස්සේ ඔහු ඔළුව නමලා අවසන් හුස්ම හෙළුවා.+ 31  සබත් දවසේදී (ඒ සබත් දවස මහ සබත් දවසක්)+ වධකණුවල මළ සිරුරු එල්ලලා තියනවාට+ යුදෙව්වන් කැමති වුණේ නැහැ. එදා සූදානම් වෙන දවස+ නිසා එල්ලලා තියෙන අයගේ කකුල් කඩලා මළ සිරුරු එතනින් අයින් කරන්න යුදෙව්වන් පිලාත්ගෙන් අවසර ඉල්ලුවා. 32  ඉතින් සෙබළු ඇවිත් යේසුස්ගේ කණුව දෙපැත්තේ එල්ලලා හිටපු දෙන්නාගේ කකුල් කැඩුවා. 33  ඒත් යේසුස් ළඟට ආවාම එයාලා දැක්කා ඒ වෙද්දීත් යේසුස් මැරිලා කියලා. ඒ නිසා එයාලා ඔහුගේ කකුල් කැඩුවේ නැහැ. 34  එක සෙබළෙක් හෙල්ලයකින් ඔහුගේ ඉල ඇට තියෙන හරියට ඇන්නා.+ එතකොට එතනින් ලේත් වතුරත් එළියට ආවා. 35  මේ දේවල් වාර්තා කරන්නේ ඒවා තමන්ගෙම ඇස් දෙකෙන් දැක්ක කෙනෙක්. එයාගේ සාක්ෂිය සැබෑ එකක්. එයා කියන දේවල් ඇත්ත කියලා එයා දන්නවා. එයා මේ දේවල් කියන්නේ ඔයාලටත් ඒවා විශ්වාස කරන්න පුළුවන් වෙන්නයි.+ 36  ඇත්තටම ඒ දේවල් වුණේ “ඔහුගේ එක ඇටයක්වත් බිඳින්නේ නැහැ”+ කියලා ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ ඉටු වෙන්නයි. 37  ශුද්ධ ලියවිල්ලේ තවත් තැනක මෙහෙම සඳහන් වෙනවා. “ඔවුන් හෙල්ලයෙන් ඇනලා තුවාල කරපු කෙනා දිහා බලනවා.”+ 38  ඒ දේවල් වුණාට පස්සේ අරිමාතිය නගරයේ වැසියෙක් වුණ යෝසෙප්, යේසුස්ගේ දේහය අරගෙන යන්න පිලාත්ගෙන් අවසර ඉල්ලුවා. යුදෙව්වන්ට තිබුණ බය නිසා+ එයා කාටත් හොරෙන් යේසුස්ගේ ගෝලයෙක් වෙලා හිටපු කෙනෙක්. පිලාත් එයාට අවසර දුන්නාම එයා ඇවිත් යේසුස්ගේ දේහය අරගෙන ගියා.+ 39  කලින් වතාවක කළුවර වැටුණාට පස්සේ යේසුස්ව හම්බ වෙන්න ආපු නිකදේමස්+ කියන කෙනාත් සුවඳ ලාටු සහ අගිල්වලින් හදපු මිශ්‍රණයක් අරන් ආවා. ඒකේ බර රාත්තල්* 100ක් විතර වුණා.+ 40  එයාලා ලිනන් රෙදිවලට සුවඳ ද්‍රව්‍ය දාලා යේසුස්ගේ දේහය ඒවායින් එතුවා.+ එහෙම කළේ යුදෙව්වන්ගේ සිරිතට අනුව දේහය තැන්පත් කරන්න සූදානම් කරන්නයි. 41  යේසුස්ව මරලා දාපු තැනට* කිට්ටුවෙන් උයනක් තිබුණා. ඒ උයනේ අලුත් සොහොන් ගෙයක්* තිබුණා.+ ඒකේ මීට කලින් කිසිම කෙනෙක්ව තැන්පත් කරලා තිබුණේ නැහැ. 42  එදා යුදෙව්වන්ගේ සූදානම් වෙන දවස+ නිසාත් සොහොන් ගේ ඒ ළඟ තිබුණ නිසාත් එයාලා යේසුස්ව ඒකේ තැන්පත් කළා.

පාදසටහන්

හෝ, “ජය වේවා!”
හෝ, “එයාව අරන් ගිහින් කණුවක ඇණ ගහන්න.”
මූ.අ., “ආණ්ඩුකාරයාගේ නිවස.”
හෝ, “කණුවක ඇණ ගහන්නත්.”
ඒ කියන්නේ දවල් 12ට විතර.
සමහරවිට මේ කතා කරන්නේ පූජකයන් ගැන නැත්නම් සෙබළු ගැන වෙන්න පුළුවන්.
මූ.අ., “ස්ත්‍රිය.”
මෙතන කතා කරන්නේ රෝමයේ පාවිච්චි කරපු රාත්තලක් ගැනයි. උප. B14 බලන්න.
හෝ, “කණුවේ ඇණ ගහපු තැනට.”
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙයක්.”