යොහන් 21:1-25

  • යේසුස් ගෝලයන් ඉස්සරහා පෙනී ඉඳියි (1-14)

  • පේතෘස් යේසුස්ට ආදරෙයි කියලා ස්ථිරව කියයි (15-19)

    • “මගේ බැටළු පැටව් ටික පෝෂණය කරන්න” (17)

  • යේසුස් ගොඩක් ආදරේ කරපු ගෝලයාගේ අනාගතය (20-23)

  • අවසානය (24, 25)

21  ඒකෙන් පස්සේ යේසුස් ටයිබීරියස් මුහුද ළඟදී ආපහු සැරයක් ගෝලයන් ඉස්සරහා පෙනී හිටියා. ඔහු එයාලා ඉස්සරහා පෙනී හිටිය සිද්ධිය තමයි මේ.  සීමොන් පේතෘස්, තෝමස් (නිවුන් පුතා කියලා හඳුන්වපු කෙනා),+ ගලීලයේ කානාවල කෙනෙක් වුණ නතානියෙල්,+ සෙබදීගේ පුතාලා+ සහ යේසුස්ගේ තව ගෝලයන් දෙන්නෙක් එක තැනක හිටියා.  සීමොන් පේතෘස් “මං යනවා මාළු අල්ලන්න” කියලා එයාලට කිව්වා. එතකොට එයාලා “අපිත් ඔයා එක්ක එනවා” කියලා කිව්වා. එයාලා බෝට්ටුවක නැඟලා මාළු අල්ලන්න යන්න පිටත් වුණා. ඒත් එදා රෑ එයාලට එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි වුණා.+  එළිය වැටීගෙන එද්දී යේසුස් වෙරළේ හිටගෙන හිටියා. ඒත් ඒ යේසුස් කියලා ගෝලයෝ තේරුම්ගත්තේ නැහැ.+  යේසුස් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “දරුවෙනි, ඔයාලා ළඟ කන්න මුකුත්* නැහැ නේද?” එතකොට එයාලා “නැහැ” කියලා උත්තර දුන්නා.  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “බෝට්ටුවේ දකුණු පැත්තෙන් දැල දාන්න. එතකොට මාළු ටිකක් අල්ලගන්න පුළුවන් වෙයි.” ඉතින් එයාලා එහෙම කළා. දැලට කොච්චර මාළු අහු වුණාද කියනවා නම් එයාලට දැල ඇදලා ගන්න බැරි වුණා.+  එතකොට යේසුස් ආදරේ කරපු ගෝලයා+ “ඒ අපේ ස්වාමීන්” කියලා පේතෘස්ට කිව්වා. ඒක අහපු ගමන්ම සීමොන් පේතෘස් ඔහුගේ පිට වස්ත්‍රය දාගෙන වතුරට පැන්නා. ඒ වෙලාවේ එයා ඇඟ වැහෙන්න ඇඳුමක් දාගෙන නෙමෙයි හිටියේ.  ඒත් අනිත් ගෝලයෝ මාළුවලින් පිරිලා තිබුණ දැලත් ඇදගෙන බෝට්ටුවෙන්ම ආවා. එයාලා හිටියේ වෙරළේ ඉඳන් ලොකු දුරකින් නෙමෙයි, අඩි 300ක විතර* දුරකිනුයි.  වෙරළට ආවාම ගිනි අඟුරු උඩ මාළු තියෙනවා එයාලා දැක්කා. එතන රොටිත් තිබුණා. 10  “ඔයාලා ඇල්ලුව මාළු ටිකකුත් අරගෙන එන්න” කියලා යේසුස් එයාලට කිව්වා. 11  ඉතින් සීමොන් පේතෘස් බෝට්ටුවට නැඟලා ලොකු මාළු 153දෙනෙක් හිටිය දැල ගොඩට ඇද්දා. එච්චර මාළු ප්‍රමාණයක් දැලට අහු වෙලා තිබුණත් දැල ඉරුණේ නැහැ. 12  යේසුස් එයාලට “එන්න, ඇවිත් උදේ කෑම කන්න” කියලා කිව්වා. මේ ඉන්නේ එයාලාගේ ස්වාමීන් කියලා දැනගෙන හිටපු නිසා “ඔයා කවුද” කියලා අහන්න තරම් හයියක් එයාලා කාටවත් තිබුණේ නැහැ. 13  යේසුස් ගිහිල්ලා රොටි සහ මාළු අරගෙන ඒවා එයාලට දුන්නා. 14  යේසුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වාට පස්සේ ඔහු ගෝලයන් ඉස්සරහා පෙනී හිටපු තුන්වෙනි අවස්ථාව තමයි ඒ.+ 15  එයාලා උදේ කෑම ගත්තාට පස්සේ යේසුස් සීමොන් පේතෘස්ගෙන් මෙහෙම ඇහුවා. “යොහන්ගේ පුතා සීමොන්, මේ දේවලට වඩා ඔයා මට ආදරේ කරනවාද?” එයා මෙහෙම උත්තර දුන්නා. “ඔව් ස්වාමීනි, මං ඔයාට ආදරෙයි කියලා* ඔයා දන්නවා.” එතකොට යේසුස් “මගේ බැටළු පැටව් ටික පෝෂණය කරන්න”+ කියලා එයාට කිව්වා. 16  යේසුස් දෙවෙනි පාරටත් “යොහන්ගේ පුතා සීමොන්, ඔයා මට ආදරේ කරනවාද” කියලා ඇහුවා. එතකොට පේතෘස් “ඔව් ස්වාමීනි, මං ඔයාට ආදරෙයි කියලා* ඔයා දන්නවා” කියලා ඔහුට කිව්වා. යේසුස් “මගේ බැටළු පැටව් ටික බලාගන්න”+ කියලා එයාට කිව්වා. 17  ඔහු තුන්වෙනි පාරටත් “යොහන්ගේ පුතා සීමොන්, ඔයා මට ආදරෙයිද”* කියලා එයාගෙන් ඇහුවා. යේසුස් තුන්වෙනි පාරටත් “ඔයා මට ආදරෙයිද” කියලා අහපු නිසා පේතෘස්ට ගොඩක් දුක හිතුණා. ඉතින් එයා මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා හැම දෙයක්ම දන්නවා. මගේ හිතේ ඔයා ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා* ඔයා දන්නවා.” යේසුස් එයාට මෙහෙම කිව්වා. “මගේ බැටළු පැටව් ටික පෝෂණය කරන්න.+ 18  ඇත්තටම මං ඔයාට කියන්නේ තරුණ කාලේදී ඔයා තනියම ඇඳුම් ඇඳගෙන ඔයාට ඕනෙ තැන්වලට ගියා. ඒත් වයසට යනකොට ඔයා අත් දෙක දිගඇරගෙන ඉද්දී වෙන කෙනෙක් තමයි ඔයාට ඇඳුම් අන්දවන්නේ. ඔයා යන්න අකමැති තැන්වලට එයා ඔයාව අරන් යයි.” 19  යේසුස් එහෙම කිව්වේ පේතෘස් අද්දකින්න යන මරණය මොන වගේ එකක්ද කියලා පැහැදිලි කරන්නයි. එයාගේ මරණයෙන් එයා දෙවියන්ව ගෞරවයට පත් කරනවා. ඊටපස්සේ යේසුස් එයාට මෙහෙම කිව්වා. “දිගටම මාව අනුගමනය කරන්න.”+ 20  පේතෘස් හැරිලා බැලුවාම එයා දැක්කා යේසුස් ආදරේ කරපු ගෝලයා+ එයාලාගේ පිටිපස්සෙන් එනවා. ඒ ගෝලයා තමයි හැන්දෑවේ කෑම ගත්ත වෙලාවේ යේසුස්ගේ පපුවට හේත්තු වෙලා “ස්වාමීනි, ඔයාව පාවලා දෙන්නේ කවුද” කියලා ඇහුවේ. 21  පේතෘස් එයාව දැක්කාම “එතකොට ස්වාමීනි, මෙයාට මොනවා වෙයිද” කියලා යේසුස්ගෙන් ඇහුවා. 22  යේසුස් එයාට මෙහෙම කිව්වා. “මං කැමති එයා මං එන කල් පොළොවේ ඉන්නවාට නම් ඇයි ඔයා ඒ ගැන කරදර වෙන්නේ? ඔයා දිගටම මාව අනුගමනය කරන්න.” 23  ඉතින් ඒ ගෝලයා මැරෙන්නේ නැහැ කියලා කතාවක් සහෝදරයන් අතරේ පැතිරුණා. ඒත් යේසුස්, පේතෘස්ට කිව්වේ ඒ ගෝලයා මැරෙන්නේ නැහැ කියලා නෙමෙයි. ඒ වෙනුවට ඔහු කිව්වේ “මං කැමති එයා මං එන කල් පොළොවේ ඉන්නවාට නම් ඇයි ඔයා ඒ ගැන කරදර වෙන්නේ” කියලයි. 24  මේ දේවල් ගැන සාක්ෂි දරන්නෙත් මේ දේවල් ලිව්වෙත් ඒ ගෝලයා.+ එයාගේ සාක්ෂිය සැබෑ එකක් කියලා අනිත් අයත් දන්නවා. 25  ඇත්තටම යේසුස් කරපු තවත් ගොඩක් දේවල් තියෙනවා. ඒ හැම එකක් ගැනම විස්තර ඇතුව ලියන්න ගියොත් ඒ ලියවිලි තියන්න මුළු ලෝකයම මදි වෙයි කියලා මට හිතෙනවා.+

පාදසටහන්

හෝ, “මාළු.”
මීටර් 90ක් විතර. මූ.අ., “රියන් 200ක් විතර.” උප. B14 බලන්න.
මූ.අ., “මගේ හිතේ ඔයා ගැන සෙනෙහසක් තියෙනවා කියලා.”
මූ.අ., “මගේ හිතේ ඔයා ගැන සෙනෙහසක් තියෙනවා කියලා.”
මූ.අ., “ඔයාගේ හිතේ මං ගැන සෙනෙහසක් තියෙනවාද?”
මූ.අ., “මගේ හිතේ ඔයා ගැන සෙනෙහසක් තියෙනවා කියලා.”