යොහන් 4:1-54

  • යේසුස් සහ සමරිතානු ස්ත්‍රිය (1-38)

    • ‘දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම පිළි අරන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව නමස්කාර කරන්න’ (23, 24)

  • සමාරියේ හුඟදෙනෙක් යේසුස් ගැන විශ්වාසය තියයි (39-42)

  • යේසුස් නිලධාරියෙක්ගේ පුතාව සුව කරයි (43-54)

4  යොහන් බව්තීස්ම කරපු අයගේ ගාණට වඩා වැඩි ගාණක් යේසුස් තමන්ගේ ගෝලයන් විදිහට බව්තීස්ම කරනවා+ කියලා පරිසිවරුන්ට ආරංචි වුණා. එයාලට ඒක ආරංචි වුණා කියලා ස්වාමීන් දැනගත්තා.  (ඇත්තටම බව්තීස්ම කළේ යේසුස් නෙමෙයි, ඔහුගේ ගෝලයනුයි.)  ඒ ආරංචිය ලැබුණාම ඔහු යුදයේ ඉඳන් ආපහු ගලීලයට යන්න පිටත් වුණා.  ඒත් ඒ ගමන ඔහුට යන්න වුණේ සමාරිය මැදින්.  ඔහු සමාරියේ තියෙන සිකාර් කියන නගරයට ආවා. ඒක තිබුණේ යාකොබ් තමන්ගේ පුතා වුණ යෝසෙප්ට දුන්න ඉඩම ළඟ.+  යාකොබ්ගේ ළිඳත් එතන තිබුණා.+ ගමන නිසා හොඳටම මහන්සියෙන් හිටපු යේසුස් ළිඳ ළඟ ඉඳගත්තා. එතකොට වෙලාව හයවෙනි පැයට විතර* ඇති.  ඒ වෙලාවේ සමාරියේ ස්ත්‍රියක් වතුර ගන්න එතනට ආවා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද?”  (ඒ වෙලාවේ ඔහුගේ ගෝලයන් කෑම ගේන්න නගරයට ගිහින් හිටියා.)  එතකොට සමරිතානු ස්ත්‍රිය ඔහුට මෙහෙම කිව්වා. “මං සමරිතානුවෙක්. ඒත් ඔයා යුදෙව්වෙක්. ඉතින් ඇයි ඔයා මගෙන් බොන්න වතුර ඉල්ලන්නේ?” (එයා එහෙම කිව්වේ සමරිතානුවන් සහ යුදෙව්වන් අතර කිසිම ගනු දෙනුවක් තිබුණේ නැති නිසයි.)+ 10  යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා. “දෙවියන් දෙන තෑග්ග*+ ගැනවත් ‘මට බොන්න වතුර ටිකක් දෙන්න’ කියලා ඔයාගෙන් ඉල්ලන්නේ කවුද කියලවත් ඔයා දන්නේ නැහැ. ඒ ගැන දැනන් හිටියා නම් ඔයා එයාගෙන් වතුර ඉල්ලයි. එයා ඔයාට ජීවනය ලබා දෙන වතුර දෙයි.”+ 11  ඒ ස්ත්‍රිය ඔහුට මෙහෙම කිව්වා. “මහත්මයා, වතුර අදින්න ඔයාට බාල්දියක්වත් නැහැ. ළිඳත් ගැඹුරුයි. ඉතින් ජීවනය ලබා දෙන වතුර ඔයා මට දෙන්නේ කොහෙන්ද? 12  මේ ළිඳ අපිට ලැබුණේ අපේ මුතුන්මිත්තෙක් වුණ යාකොබ්ගෙන්. මේ ළිඳෙන් තමයි එයාටයි, එයාගේ පුතාලටයි, එයාට අයිති සත්තුන්ටයි ඕනෙ කරන වතුර ගත්තේ. ඔයා එයාටත් වඩා උතුම් කෙනෙක්ද?” 13  එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. “මේ වතුර බොන හැමෝටම ආපහු තිබහා දැනෙනවා. 14  ඒත් මං දෙන වතුර බොන කාටවත් ආයේ කවදාවත් තිබහක් දැනෙන්නේ නැහැ.+ මං ඒ කෙනාට දෙන වතුර එයා තුළ දිය උල්පතක් වගේ වෙනවා. ඒකෙන් උනන වතුරෙන් සදාකාල ජීවිතය ලැබෙනවා.”+ 15  ඒ ස්ත්‍රිය ඔහුට මෙහෙම කිව්වා. “මහත්මයා, ඔයාට පුළුවන්ද මට ඒ වතුර දෙන්න? එතකොට මට ආයේ තිබහක් දැනෙන එකක් නැහැ. වතුර අදින්න ආයෙත් මෙතනට එන්න ඕනෙත් නැහැ.” 16  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ගිහින් ඔයාගේ මහත්තයාව එක්කගෙන එන්න.” 17  එතකොට ඒ ස්ත්‍රිය “මට මහත්තයෙක් නෑ” කියලා කිව්වා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “‘මට මහත්තයෙක් නෑ’ කියලා ඔයා කියන දේ හරි. 18  කලින් ඔයාට පුරුෂයන් පස්දෙනෙක් හිටියා. ඒත් දැන් ඔයාත් එක්ක ඉන්න කෙනා ඔයාගේ මහත්තයා නෙමෙයි. ඉතින් ඔයා කියපු දේ හරි.” 19  ඒ ස්ත්‍රිය ඔහුට මෙහෙම කිව්වා. “මහත්මයා, මට පේන්නේ ඔයා අනාගතවක්තෘවරයෙක් වගේ.+ 20  අපේ මුතුන්මිත්තන් දෙවියන්ට නමස්කාර කළේ මේ කන්ද උඩ. ඒත් ඔයාලා කියන්නේ මිනිස්සු දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ යෙරුසලමේදී විතරයි කියලා.”+ 21  යේසුස් එයාට මෙහෙම කිව්වා. “මං කියන මේ දේ විශ්වාස කරන්න. ඔයාලා මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් පියාණන්ට නමස්කාර කරන්නේ නැති දවසක් එනවා. 22  ඔයාලා නමස්කාර කරන්නේ හරි දැනුමක් නැතුවයි.+ ඒත් අපි නමස්කාර කරන්නේ හරි දැනුමක් ලබාගෙනයි. මොකද ගැලවීම ලබාගන්න මොනවාද කරන්න ඕනෙ කියලා මුලින්ම දැනගත්තේ යුදෙව්වනුයි.+ 23  ඒත් පියාණන්ගේ සැබෑ සේවකයන් ඔහුගේ බලයේ මඟ පෙන්වීම් පිළි අරන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ඔහුට නමස්කාර කරන කාලයක් එනවා. ඒ කාලය දැනටමත් පටන් අරන්. ඇත්තටම ඒ විදිහට පියාණන්ට නමස්කාර කරන්න ආසාවෙන් ඉන්න අයව ඔහු හොයනවා.+ 24  දෙවියන්ව පේන්නේ නැහැ. ඔහු ඉන්නේ ස්වර්ගයේ.*+ ඔහුට නමස්කාර කරන අය ඔහුගේ බලයේ මඟ පෙන්වීම පිළි අරන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ඔහුට නමස්කාර කරන්න ඕනේ.”+ 25  එතකොට ඒ ස්ත්‍රිය ඔහුට මෙහෙම කිව්වා. “ක්‍රිස්තුස් කියලා හඳුන්වන මෙසියස් එනවා කියලා මං දන්නවා. එයා ආවාම එයා අපිට හැම දෙයක්ම පැහැදිලි කරයි.” 26  එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයාත් එක්ක දැන් කතා කරකර ඉන්න මම තමයි ඒ කෙනා.”+ 27  එතකොටම ඔහුගේ ගෝලයෝ එතනට ආවා. යේසුස් ස්ත්‍රියක් එක්ක කතා කරකර ඉන්නවා දැක්කාම එයාලා පුදුම වුණා. ඒත් “ඔයා ඇයි එයා එක්ක කතා කරන්නේ? ඔයාට මොනවා හරි ඕනෙද” කියලා කවුරුත් යේසුස්ගෙන් ඇහුවේ නැහැ. 28  ඒ ස්ත්‍රිය වතුර භාජනය එතන තියලා නගරයට ගිහින් එහේ හිටපු අයට මෙහෙම කිව්වා. 29  “මට කෙනෙක්ව හම්බ වුණා. එන්න, ඇවිත් බලන්න. එයා මං කරපු හැම දෙයක්ම ඒ විදිහටම කිව්වා. සමහරවිට එයා ක්‍රිස්තුස් වෙන්න පුළුවන්.” 30  ඉතින් එයාලා නගරයෙන් පිටත් වෙලා යේසුස්ව හම්බ වෙන්න ආවා. 31  ඔය අතරේ ඔහුගේ ගෝලයෝ “රබ්බි,+ කෑම ටිකක් කන්න” කියලා ඔහුට ආයේ ආයේ කිව්වා. 32  ඒත් ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා දන්නේ නැති කෑම ජාතියක් මං ළඟ තියෙනවා.” 33  ඉතින් ගෝලයෝ මෙහෙම කතා වුණා. “කවුරුත් එයාට කන්න මුකුත් ගෙනත් දුන්නේ නැහැ නේද?” 34  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මං කෑම විදිහට සලකන්නේ මාව එවපු කෙනාගේ කැමැත්ත කරන එකයි.+ ඔහු මට භාර දීපු වැඩේ සම්පූර්ණයෙන්ම කරන එකයි.+ 35  මේ කාලේදී සාමාන්‍යයෙන් ඔයාලා කියනවා අස්වැන්න නෙළන්න තව මාස හතරක් තියෙනවා කියලා. ඒත් කෙත් දිහා බලන්න! මං ඔයාලට කියන්නේ කරල් පැහිලා, අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිල්ලා කියලයි.+ 36  අස්වැන්න නෙළන කෙනාට මේ වෙද්දීත් කුලිය ලැබෙනවා. සදාකාල ජීවිතය ලබන අය තමයි එයා නෙළන පලදාව. ඒ නිසා වපුරන කෙනාටයි, අස්වැන්න නෙළන කෙනාටයි එකට සතුටු වෙන්න පුළුවන්.+ 37  එහෙම බලද්දී වපුරන්නේ එක් කෙනෙක්, අස්වැන්න නෙළන්නේ තවත් කෙනෙක් කියන කියමන ඇත්තක් වෙලා තියෙනවා. 38  ඔයාලා වැපුරුවේ නැති අස්වැන්නක් නෙළාගන්න මම ඔයාලව යවනවා. වෙනත් අය මහන්සි වෙලා කරපු වැඩේ හොඳ ප්‍රතිඵල ලබාගන්නේ ඔයාලයි.” 39  ඒ නගරයේ හිටපු සමරිතානුවන් හුඟදෙනෙක් යේසුස් ගැන විශ්වාසය තිබ්බා. ඒකට හේතු වුණේ “මං කරපු හැම දෙයක්ම එයා ඒ විදිහටම කිව්වා”+ කියලා ඒ ස්ත්‍රිය ඔහු ගැන දුන්න සාක්ෂිය නිසයි. 40  ඔහුව හම්බ වෙන්න ආව සමරිතානුවන් එයාලත් එක්ක නැවතිලා ඉන්න කියලා ඔහුගෙන් ඉල්ලුවා. ඉතින් ඔහු දවස් දෙකක් එහේ නැවතිලා හිටියා. 41  ඒ නිසා තවත් හුඟදෙනෙක් ඔහු උගන්නපු දේවල් අහලා ඔහු ගැන විශ්වාසය තිබ්බා. 42  එයාලා ඒ ස්ත්‍රියට මෙහෙම කිව්වා. “දැන් අපි ඔහුව විශ්වාස කරන්නේ ඔයා කියපු දේවල් නිසාම නෙමෙයි. ඔහු කියපු දේවල් අපිම අහපු නිසා, ලෝකයේ ගැලවුම්කරු මෙයා තමයි කියලා දැන් අපි හොඳටම දන්නවා.”+ 43  දවස් දෙකක් එහේ හිටියාට පස්සේ ඔහු ගලීලයට යන්න පිටත් වුණා. 44  (අනාගතවක්තෘවරයෙක්ට එයාගේ ගම් පළාතේදී කිසිම ගෞරවයක් ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කලින් කියලා තිබුණා.)+ 45  ඔහු ගලීලයට ආවාම ගලීලයේ මිනිස්සු ඔහුව සාදරයෙන් පිළිගත්තා. මොකද එයාලා උත්සවය සමරන්න යෙරුසලමට ගිය වෙලාවේ+ යේසුස් එහෙදී කරපු හැම දෙයක්ම දැකලා තිබුණා.+ 46  ඊටපස්සේ යේසුස් ආයෙත් ගලීලයේ කානා නගරයට ආවා. ඔහු වතුර වයින්වලට හැරෙව්වේ එහෙදියි.+ රජගේ නිලධාරියෙක් කපර්ණවුමේ හිටියා. එයාගේ පුතා හිටියේ අසනීපෙන්. 47  යේසුස් යුදයේ ඉඳන් ගලීලයට ඇවිත් ඉන්නවා කියලා ඒ නිලධාරියාට ආරංචි වුණාම එයා යේසුස්ව හම්බ වෙන්න ආවා. කපර්ණවුමට ඇවිල්ලා මරණාසන්නව හිටපු එයාගේ පුතාව සුව කරන්න කියලා එයා යේසුස්ගෙන් ඉල්ලුවා. 48  ඒත් යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයාලා විශ්වාසයක් ඇති කරගන්නේ ලකුණුයි, පුදුම දේවලුයි දැක්කොත් විතරයි.”+ 49  රජගේ නිලධාරියා මෙහෙම කිව්වා. “ස්වාමීනි, මගේ චූටි පුතා මැරෙන්න කලින් ඉක්මන් කරලා එන්න.” 50  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයා දැන් ගෙදර යන්න. පුතාට දැන් හොඳයි.”+ ඒ නිලධාරියා යේසුස් කියපු දේ විශ්වාස කළා. ඉතින් එයා එතනින් පිටත් වෙලා ගියා. 51  එයා ගෙදර යන අතරමඟදී එයාගේ දාසයෝ එයාව හම්බ වෙන්න ඇවිත් දරුවාට දැන් හොඳයි කියලා කිව්වා. 52  ඉතින් එයා දරුවා සනීප වුණේ කොයි වෙලාවෙද කියලා දාසයන්ගෙන් ඇහුවාම එයාලා මෙහෙම කිව්වා. “ඊයේ හත්වෙනි පැයේදී විතර* තමයි එයාගේ උණ බැස්සේ.” 53  “ඔයාගේ පුතාට දැන් හොඳයි”+ කියලා යේසුස් කිව්වේ ඒ පැයේදී කියලා දරුවාගේ තාත්තාට තේරුණා. ඉතින් ඒ නිලධාරියායි, එයාගේ පවුලේ හැමෝමයි යේසුස් ගැන විශ්වාසය තිබ්බා. 54  ඒක තමයි යේසුස් යුදයේ ඉඳන් ගලීලයට ඇවිත් කරපු දෙවෙනි ලකුණ.+

පාදසටහන්

ඒ කියන්නේ දවල් 12ට විතර.
හෝ, “නොමිලේ දෙන දීමනාව.”
ග්‍රීක භාෂාවේ මෙතන දෙවියන්ව විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන්නේ නියුමා කියන වචනය. “පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ දවල් 1ට විතර.