යොහන් 5:1-47

  • බෙත්සාතාවලදී අසනීප කෙනෙක්ව සුව කරයි (1-18)

  • පියාණන්ගෙන් යේසුස්ට බලතල ලැබිලා තියෙනවා (19-24)

  • මැරුණ අයට යේසුස්ගේ හඬ ඇහෙයි (25-30)

  • යේසුස් ගැන දුන්න සාක්ෂි (31-47)

5  ඒ දේවලට පස්සේ යුදෙව්වන්ගේ උත්සවයක්+ ළං වෙලා තිබුණ නිසා යේසුස් යෙරුසලමට ගියා.  යෙරුසලමේ බැටළු දොරටුව+ ළඟ හෙබ්‍රෙව් භාෂාවෙන් බෙත්සාතා කියලා හඳුන්වපු පොකුණක් තිබුණා. ඒ පොකුණ වටේට කුලුනු තිබුණා.*  අන්ධ අය, කොර අය, අත පය පණ නැති අය වගේ එක එක අසනීප තිබුණ ගොඩක් අය එතනට වෙලා හිටියා.  *——  ඒ අය අතරේ අවුරුදු 38ක් පුරා අසනීපෙන් හිටපු කෙනෙක් හිටියා.  ඒ මනුස්සයා බිම වැතිරිලා ඉන්න විදිහ යේසුස් දැක්කා. එයා සෑහෙන කාලයක් තිස්සේ අසනීපෙන් ඉන්නවා කියලා දැනන් හිටපු යේසුස් “ඔයා කැමතිද සුව වෙන්න”+ කියලා එයාගෙන් ඇහුවා.  අසනීපෙන් හිටපු ඒ මනුස්සයා මෙහෙම උත්තර දුන්නා. “අනේ මහත්තයෝ, වතුර කැලතෙද්දී පොකුණට බහින්න මට උදව් කරන්න කවුරුත් නැහැනේ. මං යන්න හදද්දීම කවුරු හරි මට කලින් ගිහින් වතුරට බහිනවා.”  එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. “දැන් නැඟිටින්න. ඔයාගේ පැදුරත්* අරන් ඇවිදගෙන යන්න.”+  ඒ වෙලාවෙම ඒ මනුස්සයා සුව වුණා. එයා එයාගේ පැදුරත්* අරගෙන ඇවිදින්න පටන්ගත්තා. එදා සබත් දවසක්. 10  ඉතින් සුව වුණ ඒ මනුස්සයාට යුදෙව්වන් මෙහෙම කියන්න පටන්ගත්තා. “අද සබත් දවසක්. සබත් දවසේදී පැදුර* උස්සගෙන යන්න ඔයාට අවසර නැහැ.”+ 11  ඒත් එයා එයාලට මෙහෙම කිව්වා. “මාව සුව කරපු කෙනා තමයි මට කිව්වේ ‘ඔයාගේ පැදුරත්* අරගෙන ඇවිදගෙන යන්න’ කියලා.” 12  එතකොට එයාලා මෙහෙම ඇහුවා. “කවුද ඔයාට කිව්වේ එහෙම කරන්න කියලා?” 13  ඒත් ඒ මනුස්සයා තමන්ව සුව කළේ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. මොකද යේසුස් සෙනඟ අතරට ගිය නිසා ඔහුව හොයාගන්න බැරි වුණා. 14  ටික වෙලාවකට පස්සේ යේසුස්ට එයාව දේවමාලිගාවේදී හම්බ වුණා. යේසුස් එයාට කිව්වා “දැන් ඔයා සුව වෙලා. ආයෙත් වැරදි දේවල් කරන්න එපා. නැත්නම් ඔයාට ඊට වඩා දරුණු දෙයක් වෙයි” කියලා. 15  ඒ මනුස්සයා ගිහිල්ලා එයාව සුව කළේ යේසුස් කියලා යුදෙව්වන්ට කිව්වා. 16  යේසුස් ඒ වගේ දේවල් සබත් දවසේදී කරපු නිසා යුදෙව්වන් ඔහුට ප්‍රශ්න ඇති කරන්න පටන්ගත්තා. 17  ඒත් ඔහු එයාලට මෙහෙම උත්තර දුන්නා. “මගේ පියාණන් මේ වෙන කල් වැඩ කරන එක නතර කරලා නැහැ. ඉතින් මමත් දිගටම වැඩ කරනවා.”+ 18  ඒ නිසයි යුදෙව්වන් යේසුස්ව මරන්න තව තවත් උත්සාහ කළේ. මොකද එයාලා හිතුවේ ඔහු සබත් නීතිය කඩ කරනවා කියලයි. ඒ විතරක් නෙමෙයි දෙවියන් තමන්ගේ තාත්තා කියකිය+ ඔහු දෙවියන්ට සමාන වෙන්න හදනවා+ කියලයි. 19  ඉතින් යේසුස් එයාලට මෙහෙම උත්තර දුන්නා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ පුතා තනි කැමැත්තෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. පියාණන් කරනවා දකින දේවල් විතරයි එයා කරන්නේ.+ පියාණන් මොනවා හරි දෙයක් කළොත් ඒ දේම පුතාත් ඒ විදිහටම කරනවා. 20  පියාණන්ට පුතා ගැන තියෙන්නේ ලොකු සෙනෙහසක්.+ ඒ නිසා ඔහු කරන හැම දෙයක්ම පුතාට පෙන්නලා දෙනවා. ඔයාලව පුදුමයට පත් කරන්න මීටත් වඩා ශ්‍රේෂ්ඨ දේවල් පියාණන් පුතාට පෙන්නයි.+ 21  පියාණන් මැරුණ අයට ආපහු ජීවිතය දෙනවා+ වගේම පුතාත් තමන් කැමති අයව ආපහු ජීවත් කරවනවා.+ 22  මොකද පියාණන් කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්නේ නැහැ. ඔහු විනිශ්චය කරන වගකීම සම්පූර්ණයෙන් භාර දීලා තියෙන්නේ පුතාට.+ 23  පියාණන් එහෙම කළේ හැමෝම ඔහුට ගෞරව කරන විදිහටම ඔහුගේ පුතාටත් ගෞරව කරනවා දකින්නයි. ඉතින් කෙනෙක් පුතාට ගෞරව කරන්නේ නැත්නම් එයා පුතාව එවපු පියාණන්ට ගෞරව කරන්නෙත් නැහැ.+ 24  ඇත්තටම මං ඔයාලට කියන්නේ කෙනෙක් මං කියන දේවල් අහලා මාව එවපු තැනැත්තාව විශ්වාස කරනවා නම් ඒ කෙනාට සදාකාල ජීවිතය ලැබෙනවා.+ ඔහුව මරණයට නියම කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු මරණයෙන් මිදිලා ජීවත් වෙනවා.+ 25  “ඇත්තටම මං ඔයාලට කියන්නේ මැරුණ අයට දෙවියන්ගේ පුතාගේ හඬ ඇහෙන කාලය එනවා. ඒක දැනටමත් ඇවිල්ලයි තියෙන්නේ. ඒ හඬට ඇහුම්කන් දීලා කීකරු වෙන අය ජීවත් වෙනවා. 26  මොකද පියාණන් තුළ ජීවය තියෙනවා වගේම+ පුතා තුළත් ජීවය තියෙනවා. පියාණන් ඒ අවස්ථාව ඔහුට දීලා තියෙනවා.+ 27  ඔහු මනුෂ්‍ය පුත්‍රයා නිසා+ පියාණන් ඔහුට විනිශ්චය කරන්න බලය දීලා තියෙනවා.+ 28  මේ ගැන පුදුම වෙන්න එපා. සොහොන් ගෙවල්වල ඉන්න හැමෝටම* ඔහුගේ හඬ ඇහෙන කාලය එනවා.+ 29  ඒ හඬ ඇහුණාම ඒ හැමෝම එළියට එනවා. යහපත් දේවල් කරපු අය ජීවනය ලබාගන්න නැවත නැඟිටිනවා. පිළිකුල් දේවල් කරපු අය විනිශ්චයක් ලබන්න නැවත නැඟිටිනවා.+ 30  මම තනි කැමැත්තෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. මම විනිශ්චය කරන්නේ මගේ පියාණන් කියන විදිහටමයි. මගේ විනිශ්චය සාධාරණයි.+ මොකද මගේ එකම ආසාව මගේ කැමැත්ත කරන එක නෙමෙයි, මාව එවපු තැනැත්තාගේ කැමැත්ත කරන එකයි.+ 31  “මාව එව්වේ දෙවියන් කියලා සාක්ෂි දෙන්න ඉන්නේ මං විතරක් නම් මගේ සාක්ෂිය ඇත්ත එකක් වෙන්නේ නැහැ.+ 32  මං ගැන සාක්ෂි දරන්න තව කෙනෙක්* ඉන්නවා. ඔහු මං ගැන දෙන සාක්ෂිය ඇත්ත එකක් කියලා මං හොඳටම දන්නවා.+ 33  ඔයාලා මිනිස්සුන්ව යොහන් ළඟට යැව්වා නේද? එයා මං ගැන දරපු සාක්ෂියත් ඇත්ත එකක්.+ 34  ඇත්තටම මට වෙන කෙනෙක්ගේ සාක්ෂිය ඕනෙ වෙන්නේ නැහැ. ඒත් මං මේ දේවල් කියන්නේ ඔයාලට ජීවිතය ලබාගන්න උදව්වක් විදිහටයි. 35  ඒ කෙනා දැල්වෙන, බැබළෙන පහනක් වගෙයි. එයාගෙන් විහිදුණු ආලෝකයෙන් ලොකු සතුටක් ලබන්න ඔයාලටත් ආසාවක් තිබුණා.+ ඒත් ඒ ආසාව තිබුණේ ටික කාලෙකට විතරයි. 36  යොහන් මං ගැන දරපු සාක්ෂියට වඩා වැදගත් සාක්ෂියක් මං ළඟ තියෙනවා. පියාණන් මාව එව්වා කියන්න තියෙන ලොකුම සාක්ෂිය තමයි මගේ පියාණන් මට කරන්න භාර දුන්න වැඩ කොටස. ඒ දේවල් තමයි මං දැන් කරන්නේ.+ 37  ඒ වගේම පියාණන්ම කිව්වා ඔහු මාව එව්වා කියලා.+ ඔයාලට කවදාවත් ඔහුගේ හඬ ඇහුණේ නැහැ. ඔයාලා ඔහුව* දැකලත් නැහැ.+ 38  ඔහුගේ වචනය ඔයාලාගේ හිත්වලත් නැති නිසා ඔහු එවපු කෙනා ගැන ඔයාලට විශ්වාසයක් නැහැ. 39  “ඔයාලා ශුද්ධ ලියවිලි හොඳින් හොයලා බලනවා.+ එහෙම කරන්නේ සදාකාල ජීවනය ලබාගන්න හිතාගෙනයි. මං ගැන සාක්ෂි තියෙන්නෙත් ඒ ලියවිලිවලම තමයි.+ 40  ඒත් සදාකාල ජීවිතය ලබාගන්න ඔයාලා මං ළඟට එන්න කැමති නැහැ.+ 41  මට මිනිස්සුන්ගේ ගෞරවය අවශ්‍ය නැහැ. 42  ඒත් ඔයාලා එහෙම නෙමෙයි. ඔයාලට දෙවියන් ගැන කිසිම ආදරයක් නැහැ කියලා මං හොඳටම දන්නවා. 43  මං මගේ පියාණන්ගේ නම නියෝජනය කරන්න ඇවිත් හිටියත් ඔයාලා මාව පිළිගන්නේ නැහැ. ඒත් වෙන කෙනෙක් තමන්ගේ නම ඉස්සරහට දාගෙන දේවල් කළොත් ඔයාලා එයාව නම් පිළිගන්නවා. 44  ඔයාලට ඕනෙ එකම සැබෑ දෙවියන්ගේ හිත දිනාගන්න* නෙමෙයි,+ මිනිස්සුන්ගේ හිත් දිනාගෙන එයාලාගේ ප්‍රශංසා ලබාගන්නයි. ඉතින් ඔයාලට මං ගැන විශ්වාසයක් ඇති වෙන්නේ කොහොමද? 45  ඔයාලා වැරදියි කියලා පියාණන්ට කියන්නේ මම කියලා හිතන්න එපා. ඔයාලා වැරදිකරුවන් කියලා කියන්නේ ඔයාලා ගොඩක් විශ්වාස කරන මෝසෙස්.+ 46  ඇත්තටම ඔයාලා මෝසෙස්ව විශ්වාස කළා නම් ඔයාලා මාවත් විශ්වාස කරනවා. මොකද මෝසෙස් මං ගැන ලියලා තියෙනවා.+ 47  ඒත් ඔයාලා මෝසෙස් ලියපු දේවල් විශ්වාස කරන්නේ නැත්නම් මං කියන දේවල් විශ්වාස කරන්නේ කොහොමද?”

පාදසටහන්

පොකුණ වටේට ඇවිදින්න තිබුණ ප්‍රදේශයට සෙවණක් වුණ වහලේ රඳලා තිබුණේ මේ කුලුනු මතයි.
උප. A3 බලන්න.
හෝ, “ඇඳත්.”
හෝ, “ඇඳත්.”
හෝ, “ඇඳ.”
හෝ, “ඇඳත්.”
ඒ කියන්නේ දෙවියන්ගේ මතකයේ ඉන්න මැරුණ අය.
ඒ කියන්නේ දෙවියන්.
හෝ, “ඔහුගේ මූණ.”
මූ.අ., “ගෞරවය ලබාගන්න.”