යොහන් 8:12-59

  • පියාණන් යේසුස් ගැන සාක්ෂි දෙයි (12-30)

    • යේසුස් “ලෝකේ ආලෝකය” (12)

  • ආබ්‍රහම්ගේ දරුවන් (31-41)

    • “සත්‍යය ඔයාලව නිදහස් කරයි” (32)

  • යක්ෂයාගේ දරුවන් (42-47)

  • යේසුස් සහ ආබ්‍රහම් (48-59)

8  12  යේසුස් ආයෙත් සැරයක් සෙනඟට කතා කරලා මෙහෙම කිව්වා. “ලෝකේ ආලෝකය මමයි.+ මගේ පිටිපස්සෙන් එන කෙනාට කවදාවත් අඳුරේ ගමන් කරන්න වෙන්නේ නැහැ. ජීවනය ලබා දෙන ආලෝකය+ එයාට ලැබෙයි.” 13  එතකොට පරිසිවරු කිව්වා “ඔයා ගැන සාක්ෂි දෙන්නේ ඔයාමනේ. ඉතින් ඔයා කියන දේවල් පිළිගන්න බැහැ” කියලා. 14  යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මං ගැන සාක්ෂි දෙන්න ඉන්නේ මං විතරක් වුණත් ඒ සාක්ෂිය විශ්වාසවන්තයි. මොකද මම ආවේ කොහෙන්ද කියලත් මම යන්නේ කොහෙටද කියලත් මම හොඳටම දන්නවා.+ ඒත් මම ආවේ කොහෙන්ද කියලවත් යන්නේ කොහෙටද කියලවත් ඔයාලා දන්නේ නැහැ. 15  ඔයාලා විනිශ්චය කරන්නේ මිනිස්සුන්ගේ මිම්මෙන්.+ මං කිසිම කෙනෙක්ව වරදකරුවෙක් විදිහට තීන්දු කරන්නේ නැහැ. 16  මට විනිශ්චය කරන්න වුණොත් මං විනිශ්චය කරන්නේ සාධාරණවයි. මොකද මම විනිශ්චය කරන්නේ තනියම නෙමෙයි මාව එවපු පියාණන් එක්කයි.+ 17  ‘මිනිස්සු දෙන්නෙක්ගේ සාක්ෂිය පිළිගන්න පුළුවන්’+ කියලා ඔයාලාගේ නීතියෙත් ලියලා තියෙනවා. 18  මං ගැන මං සාක්ෂි දෙනවා වගේම මාව එවපු පියාණනුත් මං ගැන සාක්ෂි දෙනවා.”+ 19  එතකොට එයාලා “ඔයාගේ පියා ඉන්නේ කොහෙද” කියලා යේසුස්ගෙන් ඇහුවා. ඔහු මෙහෙම උත්තර දුන්නා. “ඔයාලා මාවවත් මගේ පියාණන්වවත් අඳුරන්නේ නැහැ.+ ඔයාලා මාව අඳුරගෙන හිටියා නම් මගේ පියාණන්වත් අඳුරගන්නවා.”+ 20  දේවමාලිගාවේ උගන්න උගන්න හිටපු ඔහු ඒ දේවල් කිව්වේ මුදල් බඳුන් තියලා තිබුණ හරියේ.+ ඔහුගේ වෙලාව ඇවිත් තිබුණේ නැති නිසා ඔහුව අල්ලගන්න කාටවත් බැරි වුණා.+ 21  ඉතින් ඔහු ආයෙත් එයාලට මෙහෙම කිව්වා. “මම පිටත් වෙලා යනවා. ඔයාලා මාව හොයයි. ඒත් ඔයාලට මැරෙන්න වෙන්නේ පව්කාරයන් විදිහටම තමයි.+ මම යන තැනට එන්න ඔයාලට බැහැ.”+ 22  එතකොට යුදෙව්වන් මෙහෙම කියන්න පටන්ගත්තා. “‘මම යන තැනට එන්න ඔයාලට බැහැ’ කියලා කියන්නේ ඇයි? මෙයා සිය දිවි හානි කරගන්නද හදන්නේ?” 23  ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “ඔයාලා ඇවිත් ඉන්නේ පොළොවෙන්. මම ඇවිත් ඉන්නේ ඉහළින්.+ ඔයාලා මේ ලෝකේ අය. මම මේ ලෝකේ කෙනෙක් නෙමෙයි. 24  පව්කාරයන් විදිහටම තමයි ඔයාලට මැරෙන්න වෙන්නේ කියලා මං කිව්වේ ඒ නිසයි. මමයි ඒ තැනැත්තා කියලා මම කියන දේවල් ඔයාලා විශ්වාස කරන්නේ නැත්නම් පව්කාරයන් විදිහටම තමයි ඔයාලට මැරෙන්න වෙන්නේ.” 25  එතකොට එයාලා ඔහුගෙන් මෙහෙම අහන්න පටන්ගත්තා. “ඉතින් ඔයා කවුද?” යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා එක්ක කතා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද? 26  ඔයාලා ගැන කියන්න මට ගොඩක් දේවල් තියෙනවා. තීන්දුවක් දෙන්න ඕනෙ ගොඩක් කාරණාත් තියෙනවා. ඇත්තටම මං මෙහෙට ඇවිල්ලා කතා කරන්නේ මාව එවපු තැනැත්තා මට කියපු දේවල්.+ ඔහු හැම වෙලාවෙම සත්‍යය කතා කරනවා.” 27  ඒත් යේසුස් කතා කරන්නේ පියාණන් ගැන කියලා එයාලට තේරුණේ නැහැ. 28  ඊටපස්සේ යේසුස් මෙහෙම කිව්වා. “ඔයාලා මනුෂ්‍ය පුත්‍රයාව එල්ලුවාට පස්සේ+ මං කවුද කියලා ඔයාලා දැනගනියි.+ ඒ වගේම මම මගේ තනි කැමැත්තෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ+ කියලත් පියාණන් මට උගන්නපු දේවල් තමයි මම කියලා දෙන්නේ කියලත් ඔයාලා දැනගනියි. 29  මාව එවපු කෙනා මාත් එක්කම ඉන්නවා. මං හැම වෙලේම ඔහු සතුටු වෙන දේවල් කරන නිසා+ ඔහු මාව තනි කරන්නේ නැහැ.” 30  ඔහු ඒ දේවල් කියද්දී හුඟදෙනෙක් ඔහු ගැන විශ්වාසය තිබ්බා. 31  යේසුස්ව විශ්වාස කරපු යුදෙව්වන්ට ඔහු මෙහෙමත් කිව්වා. “ඔයාලා මගේ ඉගැන්වීම්වලට කීකරු වෙනවා නම් ඔයාලා ඇත්තටම මගේ ගෝලයන්. 32  ඒ වගේම ඔයාලා සත්‍යය අවබෝධ කරගනියි.+ ඒ සත්‍යය ඔයාලව නිදහස් කරයි.”+ 33  එතකොට අනිත් අය මෙහෙම කිව්වා. “අපි ආබ්‍රහම්ගේ දරුවෝ. අපි කවදාවත් කාගෙවත් දාසයන් වුණේ නැහැ. ඉතින් ඔයා කොහොමද කියන්නේ ‘ඔයාලා නිදහස් වෙනවා’ කියලා?” 34  යේසුස් එයාලට මෙහෙම උත්තර දුන්නා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ දිගටම වැරදි ක්‍රියාවල යෙදෙන හැම කෙනෙක්ම පාපයට දාසයෙක් වෙනවා.+ 35  දාසයෙක් හැමදාම ස්වාමියාගේ ගෙදර ඉන්නේ නැහැ. ඒත් පුතෙක් එහෙම නෙමෙයි. එයා හැමදාම ගෙදර අයත් එක්ක ඉන්නවා. 36  ඉතින් පුතා ඔයාලව නිදහස් කළොත් ඔයාලට සැබෑ නිදහස ලැබෙයි. 37  ඔයාලා ආබ්‍රහම්ගේ දරුවෝ කියලා මම දන්නවා. ඒත් මගේ ඉගැන්වීම්වලට ඔයාලාගේ හිත්වල කිසිම ඉඩක් නැහැ. ඒකයි ඔයාලා මාව මරලා දාන්න හදන්නේ. 38  මම ඔයාලට කියලා දෙන්නේ මගේ පියාණන් එක්ක මං හිටපු කාලේදී මං දැකපු දේවල් ගැනයි.+ ඒත් ඔයාලා කරන්නේ ඔයාලාගේ පියාගෙන් ඉගෙනගත්ත දේවල්.” 39  එයාලා “අපේ පියා ආබ්‍රහම්” කියලා උත්තර දුන්නා. එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ඔයාලා ආබ්‍රහම්ගේ දරුවෝ නම්+ ආබ්‍රහම් වැඩ කරපු විදිහටම ඔයාලත් වැඩ කරයි. 40  දෙවියන්ගෙන් මං අහපු සත්‍යය ගැන මං ඔයාලට කියලා දුන්නා.+ ඒත් ඔයාලා හදන්නේ මාව මරලා දාන්න. ඒ වගේ දෙයක් ආබ්‍රහම් කවදාවත් කරන්නේ නැහැ. 41  ඔයාලා කරන්නේ ඔයාලාගේ පියා කරන දේවල්මයි.” එතකොට එයාලා ඔහුට මෙහෙම කිව්වා. “දුරාචාරයේ* යෙදිලා ඉපදුණ දරුවෝ නෙමෙයි අපි. අපිට ඉන්නේ එක පියෙක්. ඒ අපේ දෙවි පියාණන්.” 42  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලාගේ පියා දෙවියන් නම් ඔයාලා මට ආදරේ කරයි.+ දෙවියන් තමයි මාව එව්වේ. මං මෙහේ ඉන්නේ ඒ නිසයි. මං ආවේ මගේ තනි කැමැත්තෙන් නෙමෙයි. ඒ තැනැත්තා තමයි මාව එව්වේ.+ 43  මං උගන්නන දේවල් පිළිගන්න ඔයාලා කැමති නැහැ. ඒ නිසයි ඔයාලට මං කියන දේවල් තේරෙන්නේ නැත්තේ. 44  ඔයාලාගේ පියා යක්ෂයා. ඔයාලට ඕනෙ ඔයාලාගේ පියා කැමති දේ කරන්නයි.+ දෙවියන් ගැන බොරු කියන්න පටන්ගත්ත දවසේ ඉඳලා* එයා මිනීමරුවෙක්.+ එයා සත්‍යයෙන් අයින් වෙලා ගියා. මොකද සත්‍යය එයාගේ හදවතේ නැහැ. එයා බොරු කියන්නේ ඒක එයාගේ ඇඟේම තියෙන දෙයක් නිසයි. එයා බොරුකාරයෙක්. එයා තමයි බොරුවේ පියා.+ 45  මම ඔයාලට සත්‍යය කියනවා. ඒ වුණත් ඔයාලා මාව විශ්වාස කරන්නේ නැහැ. 46  මං වරදක් කළා කියන්න සාක්ෂි ඔයාලාගෙන් කිසිම කෙනෙක් ළඟ තියෙනවාද? මම සත්‍යය කතා කරනවා නම් ඇයි ඔයාලා මාව විශ්වාස කරන්නේ නැත්තේ? 47  දෙවියන්ගේ දරුවෝ දෙවියන්ට ඇහුම්කන් දෙනවා.+ ඔයාලා දෙවියන්ගේ දරුවෝ නෙමෙයි. ඒකයි ඔයාලා දෙවියන් කියන දේවල් අහන්නේ නැත්තේ.”+ 48  එතකොට යුදෙව්වන් මෙහෙම කිව්වා. “ඔයා සමරිතානුවෙක්,+ ඔයාට භූතයෙක් වැහිලා+ කියලා අපි කියන්නේ නිකංද?” 49  යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මට භූතයෙක් වැහිලා නැහැ. මං මගේ පියාණන්ට ගෞරව කරනවා. ඒත් ඔයාලා මට අගෞරව කරනවා. 50  මං මටම ගෞරවය ලබාගන්න හදන්නේ නැහැ.+ මට ගෞරවය ලබා දෙන්න කෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ගෞරවය ලැබෙන්න ඕනෙ කාටද කියලා තීරණය කරන්නේ ඔහුයි. 51  ඇත්තටම මං ඔයාලට කියන්නේ කෙනෙක් මං කියන දේවල් පිළිපදිනවා නම් එයා කවදාවත් මරණය අද්දකින්නේ නැහැ.”+ 52  එතකොට යුදෙව්වන් ඔහුට මෙහෙම කිව්වා. “ඔයාට භූතයෙක් වැහිලා කියලා දැන් නම් අපිට හොඳටම පැහැදිලියි. ආබ්‍රහම් මැරුණා. අනාගතවක්තෘවරුනුත් මැරුණා. හැබැයි ඔයා කියනවා ‘කෙනෙක් මං කියන දේවල් පිළිපදිනවා නම් එයා කවදාවත් මැරෙන්නේ නැහැ’ කියලා. 53  ආබ්‍රහම් වගේම අනාගතවක්තෘවරුනුත් මැරුණා. එතකොට ඔයා අපේ පියා වුණ ආබ්‍රහම්ට වඩා උතුම්ද? ඔයා කවුරු කියලද හිතාගෙන ඉන්නේ?” 54  යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මං මාවම උසස් කරගන්නවා නම් ඒකෙන් ඇති වැඩක් නැහැ. මාව උසස් කරන්නේ මගේ පියාණන්.+ ඒ ඔයාලා ඔයාලාගේ දෙවියන් කියලා කියන කෙනායි. 55  එහෙම කිව්වාට ඔයාලා ඔහුව අඳුරන්නේ නැහැ.+ ඒත් මම ඔහුව හොඳින් අඳුරනවා.+ මං ඔහුව අඳුරන්නේ නැහැ කියලා කිව්වොත් මමත් ඔයාලා වගේ බොරුකාරයෙක්. ඒත් මම ඔහුව අඳුරනවා. ඒ විතරක් නෙමෙයි ඔහු කියන දේවලට මං කීකරු වෙනවා. 56  ඔයාලාගේ පියා වුණ ආබ්‍රහම් මං එන දවස දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඒ දවස එයා හිතින් මවාගෙන ගොඩක් සතුටු වුණා.”+ 57  එතකොට යුදෙව්වන් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “තාම ඔයාට අවුරුදු 50ක්වත් නැහැ. ඉතින් ඔයා කොහොමද කියන්නේ ආබ්‍රහම්ව දැක්කා කියලා?” 58  යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ ආබ්‍රහම් ජීවත් වෙන්නත් කලින් මම ඉඳලා තියෙනවා.”+ 59  එතකොට එයාලා ඔහුට ගහන්න ගල් අතට ගත්තා. ඒත් යේසුස් එයාලාගෙන් හැංගිලා දේවමාලිගාවෙන් එළියට ගියා.

පාදසටහන්

හෝ, “ලිංගික දුරාචාරයේ.” ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “මුල ඉඳන්ම.”