යොහන් 9:1-41

  • යේසුස් උපතින්ම අන්ධ කෙනෙක්ව සුව කරයි (1-12)

  • සුව වුණ කෙනාගෙන් පරිසිවරු ප්‍රශ්න කරයි (13-34)

  • අන්ධ පරිසිවරු (35-41)

9  යේසුස් ඇවිදගෙන යද්දී උපතින්ම අන්ධ මනුස්සයෙක්ව දැක්කා.  ඔහුගේ ගෝලයන් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “රබ්බි,+ මෙයා අන්ධ වෙලා ඉපදුණේ එයා කරපු වරදක් නිසාද නැත්නම් එයාගේ දෙමාපියන් කරපු වරදක් නිසාද?”  යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මෙයා අන්ධ වෙලා ඉපදුණේ මෙයාගේ වරදක් නිසාවත් දෙමාපියන්ගේ වරදක් නිසාවත් නෙමෙයි. එහෙම වුණේ දෙවියන්ගේ බලය* මිනිස්සුන්ට දකින්න පුළුවන් වෙන්නයි.+  දවල් කාලේ තියෙද්දී මාව එවපු කෙනා භාර දුන්න වැඩ කොටස අපි කරන්න ඕනේ.+ මොකද රාත්‍රිය එනවා. එතකොට කාටවත් වැඩ කරන්න බැහැ.  මම ලෝකයේ ඉන්න කල් ලෝකයට ආලෝකය තියෙයි.”+  ඒ දේවල් කිව්වාට පස්සේ ඔහු බිමට කෙළ ගහලා ඒ කෙළවලින් මැටි ගුලියක් හදලා ඒක අන්ධ කෙනාගේ ඇස්වල ගෑවා.+  ඊටපස්සේ ඔහු එයාට කිව්වා “දැන් ගිහින් සිලෝම් පොකුණෙන් ඇස් දෙක හෝදගන්න” කියලා. (“සිලෝම්” කියන වචනේ තේරුම “ගලාගෙන එන” කියන එකයි.) ඉතින් එයා ගිහින් එයාගේ ඇස් හෝදගත්තා. එයා ආපහු එද්දී එයාට පෙනීම ලැබිලා තිබුණා.+  එතකොට එයාගේ අසල්වැසියෝයි, එයා හිඟා කනවා කලින් දැකලා තිබුණ අයයි මෙහෙම කියන්න පටන්ගත්තා. “මේ අර අතන ඉඳගෙන හිඟා කාපු මනුස්සයා නේද?”  සමහරු “මේ එයා තමයි” කියලත් තවත් අය “නැහැ, මේ එයා නෙමෙයි එයා වගේ වෙන කෙනෙක්” කියලත් කිව්වා. ඒත් ඒ කෙනා “මං තමයි ඒ මනුස්සයා” කියලා දිගින් දිගටම කිව්වා. 10  ඉතින් එයාලා එයාගෙන් මෙහෙම ඇහුවා. “කියන්න බලන්න ඔයාට පෙනීම ලැබුණේ කොහොමද කියලා.” 11  එයා මෙහෙම උත්තර දුන්නා. “යේසුස් කියන කෙනා මැටි ගුලියක් හදලා මගේ ඇස්වල ගාලා, මට කිව්වා ‘ගිහින් සිලෝම් පොකුණෙන් ඇස් දෙක හෝදගන්න’ කියලා.+ ඉතින් මං ගිහින් හෝදගත්තාම මට පෙනීම ලැබුණා.” 12  එතකොට එයාලා “කෝ දැන් එයා” කියලා එයාගෙන් ඇහුවා. එයා කිව්වා “මං දන්නේ නැහැ” කියලා. 13  එයාලා කලින් අන්ධ වෙලා හිටපු ඒ මනුස්සයාව පරිසිවරු ළඟට එක්කගෙන ගියා. 14  යේසුස් මැටි ගුලියක් හදලා ඒ මනුස්සයාට පෙනීම ලබා දීලා තිබුණේ+ සබත් දවසකයි.+ 15  පරිසිවරුත් එයාට පෙනීම ලැබුණේ කොහොමද කියලා ප්‍රශ්න කරන්න පටන්ගත්තා. ඒ මනුස්සයා මෙහෙම කිව්වා. “එයා මගේ ඇස් දෙකේ මැටි ටිකක් ගෑවා. මං ගිහින් හෝදගත්තාම මට පෙනීම ලැබුණා.” 16  එතකොට පරිසිවරුන්ගෙන් සමහරදෙනෙක් මෙහෙම කියන්න පටන්ගත්තා. “ඒ මනුස්සයා සබත පවත්වන්නෙත් නැහැ.+ ඉතින් කොහොමද එයා දෙවියන් එවපු කෙනෙක් වෙන්නේ?” ඒත් තවත් අය “පව්කාර මනුස්සයෙක් කොහොමද මේ වගේ ආශ්චර්යයන් කරන්නේ”+ කියලා කිව්වා. ඔය විදිහට එයාලා අතරේ බෙදීමක් ඇති වුණා.+ 17  එයාලා ආපහු සැරයක් අන්ධ වෙලා හිටපු මනුස්සයාගෙන් මෙහෙම ඇහුවා. “එයා පෙනීම ලබා දුන්නේ ඔයාටනේ. ඉතින් ඔයාට මොනවාද එයා ගැන කියන්න තියෙන්නේ?” එතකොට ඒ මනුස්සයා “එයා අනාගතවක්තෘවරයෙක්” කියලා කිව්වා. 18  ඒත් ඒ මනුස්සයා කලින් අන්ධයි කියලවත් එයාට පෙනීම ලැබුණා කියලවත් යුදෙව්වන් විශ්වාස කළේ නැහැ. ඉතින් එයාලා එයාගේ දෙමාපියන්ට එන්න කියලා 19  මෙහෙම ඇහුවා. “මෙයා ඔයාලාගේ පුතාද? එයා උපතින්ම අන්ධයිද? එහෙමනං දැන් කොහොමද එයාට පේන්නේ?” 20  එතකොට එයාගේ දෙමාපියෝ මෙහෙම උත්තර දුන්නා. “මේ අපේ පුතා තමයි. එයා ඉපදෙද්දී අන්ධයි. 21  ඒත් එයාට පෙනීම ලැබුණේ කොහොමද කියලවත් එයාට පෙනීම දුන්නේ කවුද කියලවත් අපි දන්නේ නැහැ. එයාගෙන්ම අහන්න. යමක්කමක් තේරෙන වයසකනේ එයා ඉන්නේ. එයාම උත්තර දෙයි.” 22  එයාගේ දෙමාපියන් එහෙම කිව්වේ එයාලා යුදෙව්වන්ට බයෙන් හිටපු නිසයි.+ මොකද යුදෙව්වන් ඒ වෙද්දීත් තීරණය කරලයි තිබුණේ යේසුස්ව ක්‍රිස්තුස් විදිහට පිළිගන්න ඕනෙම කෙනෙක්ව සිනගෝගයෙන් අයින් කරනවා කියලා.+ 23  ඒ නිසයි එයාගේ දෙමාපියන් කිව්වේ “යමක්කමක් තේරෙන වයසකනේ එයා ඉන්නේ. එයාගෙන්ම අහන්න” කියලා. 24  ඉතින් එයාලා ආයේ සැරයක් කලින් අන්ධ වෙලා හිටපු කෙනාට එන්න කියලා මෙහෙම කිව්වා. “දෙවියන් ඉස්සරහා දැන් ඇත්ත කියන්න. අපි දන්නවා ඒ මනුස්සයා පව්කාරයෙක් කියලා.” 25  ඒ කෙනා මෙහෙම උත්තර දුන්නා. “එයා පව්කාරයෙක්ද නැද්ද කියලා නං මං දන්නෑ. හැබැයි මං එක දෙයක් දන්නවා. මං කලින් අන්ධයි. ඒත් දැන් මට පේනවා.” 26  එතකොට එයාලා මෙහෙම ඇහුවා. “එයා මොකක්ද කළේ? එයා ඔයාට පෙනීම දුන්නේ කොහොමද?” 27  එයා මෙහෙම උත්තර දුන්නා. “මං කලිනුත් ඔයාලට කිව්වා. ඒත් ඔයාලා ඇහුවේ නැහැ. ඇයි ආයේ ඒ ගැන අහන්නේ? ඔයාලටත් ඕනෙ එයාගේ ගෝලයන් වෙන්නද?” 28  එතකොට එයාලා ඒ කෙනාව පහත් කරලා මෙහෙම කිව්වා. “ඔයා ඒ මනුස්සයාගේ ගෝලයෙක්. ඒත් අපි මෝසෙස්ගේ ගෝලයෝ. 29  දෙවියන් මෝසෙස්ට කතා කළා කියලා අපි දන්නවා. ඒත් ඒ මනුස්සයාව එව්වේ කවුද කියලා නං අපි දන්නේ නැහැ.” 30  ඒ කෙනා එයාලට මෙහෙම උත්තර දුන්නා. “මේක නං මට හිතාගන්න බැහැ. එයා මට පෙනීම ලබා දුන්නා. ඒත් ඔයාලා කියනවා ඒ මනුස්සයාව එව්වේ කවුද කියලා දන්නේ නැහැ කියලා. 31  දෙවියන් පව්කාරයන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා අපි දන්නවා.+ දෙවියන් ඇහුම්කන් දෙන්නේ ඔහු ගැන ලොකු ගෞරවයක්* තියෙන, ඔහු කැමති දේ කරන අයටයි.+ 32  උපතින්ම අන්ධ කෙනෙක්ට කවුරු හරි පෙනීම ලබා දුන්නා කියලා අපි කවදාවත් අහලා නැහැ. 33  ඉතින් ඒ මනුස්සයා දෙවියන් එවපු කෙනෙක් නෙමෙයි නං එයාට මේ වගේ කිසිම දෙයක් කරන්න බැහැ.”+ 34  එතකොට එයාලා “ඔයා ඉපදුණේම මහ පව්කාරයෙක් විදිහට. දැන් අපිටත් උගන්නන්න එනවාද” කියලා එයාව සිනගෝගයෙන් අයින් කරලා දැම්මා.+ 35  යුදෙව්වන් එයාව පන්නලා දැම්මා කියලා යේසුස්ට ආරංචි වුණා. යේසුස්ට එයාව හම්බ වුණාම ඔහු එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට මනුෂ්‍ය පුත්‍රයා ගැන විශ්වාසයිද?” 36  ඒ මනුස්සයා “මහත්මයා, එයා කවුද කියලා මට කියන්න. එතකොට ඔහු ගැන විශ්වාසය තියන්න මට පුළුවන්” කියලා උත්තර දුන්නා. 37  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයා එයාව දැකලා තියෙනවා. ඔයා දැන් කතා කරන්නේ එයාත් එක්කයි.” 38  එතකොට එයා “ස්වාමීනි, මට ඔබව විශ්වාසයි” කියලා යේසුස් ළඟ දණින් වැටුණා. 39  ඊටපස්සේ යේසුස් මෙහෙමත් කිව්වා. “අන්ධ අයට පෙනීම ලැබෙනවාද,+ පෙනීම තියෙන අය අන්ධ වෙනවාද කියන තීන්දුව දෙන්නයි+ මං මේ ලෝකයට ආවේ.” 40  ඔහු ළඟ හිටපු පරිසිවරුන්ට ඒ දේවල් ඇහිලා එයාලා ඔහුට මෙහෙම කිව්වා. “ඔයා හිතන්නේ අපිත් අන්ධයි කියලද?” 41  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා අන්ධ වෙලා හිටියා නම් ඔයාලාගේ වරදක් නැහැ. ඒත් ‘අපිට පේනවා’ කියලා ඔයාලා කියන නිසා ඔයාලාගේ වැරදිවලට සමාව ලැබෙන්නේ නැහැ.”+

පාදසටහන්

මූ.අ., “දෙවියන් කරන දේවල්.”
මූ.අ., “ගරුබියක්.”