යෝනා 4:1-11

  • යෝනා කේන්ති අරන් මැරෙන්න ඕනෙ කියලා කියයි (1-3)

  • යෙහෝවා දයාව ගැන පාඩමක් යෝනාට උගන්නයි (4-11)

    • “ඔයා මෙච්චර කේන්ති ගන්න එක හරිද?” (4)

    • ලබු වැල පාවිච්චි කරලා උගන්නපු පාඩම (6-10)

4  ඒත් දෙවියන් ගත්ත තීරණය ගැන යෝනා පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. ඒ ගැන එයාට ගොඩක් කේන්ති ගියා.  යෝනා යෙහෝවා දෙවියන්ට මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා, ඔයා මේ විදිහට කරයි කියලා මගේ රටේ ඉද්දීම මං දැනන් හිටියා. ඔයා අනුකම්පාව පෙන්නන, දයාවන්ත දෙවි කෙනෙක් කියලා මං දන්නවා. ඔයා ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරයෙන් පිරුණු දෙවි කෙනෙක්.+ මං දන්නවා දුෂ්ටයන්ව වුණත් විනාශ කරන එක ඔයාට දුකක් කියලා. මම තර්ෂිෂ්වලට යන්න හැදුවේ ඒ නිසයි.+  යෙහෝවා, දැන් මං ජීවත් වෙලා වැඩක් තියෙනවාද? ජීවත් වෙනවාට වඩා මට මැරෙන එක හොඳයි.”+  එතකොට යෙහෝවා යෝනාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මෙච්චර කේන්ති ගන්න එක හරිද?”  ඊටපස්සේ යෝනා නුවරින් පිට වෙලා නැඟෙනහිර පැත්තට ගිහින් ඉඳගත්තා. එයා තද අව්වෙන් බේරෙන්න පැලක් හදාගෙන නගරයට මොනවා වෙයිද කියලා පැලට වෙලා බලන් හිටියා.+  තද අව්වේ වේළිවේළී හිටපු යෝනාට හෙවණක් ලබා දෙන්න යෙහෝවා දෙවියන් ලබු වැලක්* හැදෙන්න සැලැස්සුවා. ඒ ගැන යෝනා ගොඩක් සතුටු වුණා.  ඒත් ඊළඟ දවසේ පාන්දර වෙද්දී සැබෑ දෙවියන් ඒ ලබු වැල කාලා දාන්න පණුවෙක් එව්වා. ලබු වැල වේළිලා ගියා.  ඉර මුදුන් වුණාම දෙවියන් නැඟෙනහිර පැත්තෙන් වියළි හුළඟක් හමන්න සැලැස්සුවා. යෝනාට කලන්තේ දාන තරමටම අව්ව සැර වැඩි වුණා. “අනේ, මං ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳයි”+ කියකිය යෝනා එයාගේ ජීවිතය නැති කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා.  එතකොට දෙවියන් යෝනාගෙන් ඇහුවා “ලබු වැලක් නිසා ඔයා මෙච්චර කේන්ති ගන්න එක හරිද”+ කියලා. යෝනා මෙහෙම උත්තර දුන්නා. “ඔව්, මට කේන්ති යන එක සාධාරණයි. මට දැන් ජීවිතෙත් එපා වෙලයි තියෙන්නේ.” 10  යෙහෝවා දෙවියන් එයාට මෙහෙම කිව්වා. “ඒ ලබු වැල පැළ කරන්නවත් බලාගන්නවත් ඔයා මහන්සි වුණේ නැහැ. ඒත් එක රැයකින් පැළ වෙලා, එක රැයකින් වේළිලා ගිය ඒ ලබු වැල ගැන ඔයා දුක් වෙනවා. 11  එහෙමනම් හරි වැරැද්ද අතර තියෙන වෙනසවත් නොදන්න* මිනිස්සු එක්ලක්ෂ විසිදාහකට වඩා වැඩි ගාණක් සහ සතුන් විශාල ප්‍රමාණයක් ඉන්න+ මේ විශාල නගරේ විනාශ කරන එක ගැන මට දුකක් දැනෙන එක සාධාරණ නැද්ද?”+

පාදසටහන්

හෝ සමහරවිට, “එඬරු ගහක්.”
හෝ, “වමත සහ දකුණත අතර වෙනස නොදන්න.”