යෝබ් 2:1-13

  • සාතන් ආයෙත් යෝබ්ගේ චේතනා ගැන ප්‍රශ්න කරයි (1-5)

  • යෝබ්ගේ ශරීරයට පහර දෙන්න සාතන්ට අවසර ලැබෙයි (6-8)

  • ‘දෙවියන්ට ශාප කරලා මැරෙන්න’ කියලා යෝබ්ගේ බිරිඳ කියයි (9, 10)

  • යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා එයි (11-13)

2  සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්+ යෙහෝවා ඉස්සරහා පෙනී ඉන්න දවස ආවා. එයාලා එයාලට නියමිත ස්ථානවලට ගිහින් දෙවියන් ඉස්සරහා පෙනී හිටියා.+ සාතනුත් ඇවිත් යෙහෝවා දෙවියන් ඉස්සරහා එයාට නියමිත ස්ථානයේ පෙනී හිටියා.+  එතකොට යෙහෝවා සාතන්ගෙන් ඇහුවා “ඔයා කොහේ ඉඳන්ද ආවේ” කියලා. සාතන් යෙහෝවාට මෙහෙම කිව්වා. “මං පොළොවේ හැම තැනකටම ගිහිල්ලයි මෙහෙට ආවේ.”+  එතකොට යෙහෝවා සාතන්ට මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මගේ සේවක යෝබ් ගැන හිතන්නේ? එයා අවංක, නිර්දෝෂ,*+ මට ලොකු ගෞරවයක්* දක්වන කෙනෙක්. එයා වැරදි දේවලින් ඈත් වෙලයි ඉන්නේ. එයා වගේ කෙනෙක් පොළොවේ කොහෙවත් නැහැ. කිසිම හේතුවක් නැතුව එයාව විනාශ කරලා දාන්න කියලා ඔයා මට කිව්වත්+ එයා තාමත් මට විශ්වාසවන්තව ඉන්නවා.”+  එතකොට සාතන් යෙහෝවාට මෙහෙම කිව්වා. “මිනිසෙක් එයාගේ ජීවිතේ බේරගන්න මොනවාද නොකරන්නේ? එයා ළඟ තියෙන හැම දේම වුණත් ඒ වෙනුවෙන් දෙයි. එයාගේ ජීවිතේ බේරගන්න වෙන කෙනෙක්ගේ ජීවිතේ* වුණත් දෙයි.  දැන් ඔයාගේ බලය පාවිච්චි කරලා එයාගේ ශරීරයට පහර දෙන්න. බලන්නකෝ එතකොට එයා ඔයාගේ මූණටම ශාප කරන්නේ නැද්ද කියලා.”+  එතකොට යෙහෝවා සාතන්ට මෙහෙම කිව්වා. “හරි, මං එයාව ඔයාට භාර දෙන්නම්. ඔයා කැමති දෙයක් කරන්න. ඒත් එයාගේ ජීවිතේට අනතුරක් කරන්න එපා.”  ඊටපස්සේ සාතන් යෙහෝවා දෙවියන් ඉස්සරහින් පිටත් වෙලා ගියා. එයා යෝබ්ගේ ඇඟේ දරුණු කුෂ්ඨයක්+ ඇති කළා. ඒ කුෂ්ඨය යෝබ්ගේ ඔළුවේ ඉඳන් යටිපතුල වෙන කල්ම පැතිරුණා.  යෝබ් ඇඟ කසාගන්න වළං කෑල්ලක් අරන් අළු ගොඩේ ඉඳගත්තා.+  දවසක් යෝබ්ගේ බිරිඳ එයාට මෙහෙම කිව්වා. “ඔයා තාමත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවාද? ඊට වඩා හොඳයි ඔයා දෙවියන්ට ශාප කරලා මැරුණා නම්!” 10  ඒත් යෝබ් එයාට මෙහෙම කිව්වා. “ඔයා හිතන්නේ බලන්නේ නැතුව කතා කරන්නේ ඇයි? සැබෑ දෙවියන් අපිට දෙන හොඳ දේවල් වගේම නරක දේවලුත් අපි භාරගන්න ඕනෙ නේද?”+ කොච්චර පීඩා වින්දත් යෝබ් දෙවියන්ට විරුද්ධව වචනයක්වත් කිව්වේ නැහැ.*+ 11  යෝබ්ට වෙච්ච දේ ගැන එයාගේ යාළුවෝ* තුන්දෙනෙක්ට ආරංචි වුණා. තේමාන්වල හිටිය එලිෆස්,+ ෂුවාහ්වල+ හිටිය* බිල්දද්+ සහ නයමාවල හිටිය ෂෝපර්+ කියන ඒ තුන්දෙනා එක තැනක හම්බ වෙලා යෝබ්ව සනසන්න යන්න තීරණය කළා. 12  එයාලා ඈත තියා යෝබ්ව දැක්කත් එයාව අඳුරගන්න එයාලට බැරි වුණා. එයාලා යෝබ්ව අඳුරගත්තාම හයියෙන් අඬන්න පටන්ගත්තා. එයාලා තමන්ගේ ඇඳුම් ඉරාගෙන, ඔළුවට දූවිලි දාගෙන අහසටත් දූවිලි වීසි කළා.+ 13  ඒ තුන්දෙනා දවස් හතක් යන කල් දිවා රෑ දෙකේම යෝබ් එක්ක ඉඳගෙන හිටියා. ඒත් එයාලාගෙන් එක් කෙනෙක්වත් යෝබ්ට වචනයක්වත් කිව්වේ නැහැ. මොකද එයා ඉන්නේ ලොකු වේදනාවකින් කියලා එයාලා දැක්කා.+

පාදසටහන්

හෝ, “දෙවියන්ට විශ්වාසවන්ත.”
හෝ, “ගරුබියක්.”
මූ.අ., “හම වෙනුවට හම.”
මූ.අ., “වචනයකින්වත් පව් කළේ නැහැ.”
හෝ, “එයා දන්න අඳුරන.”
හෝ, “ෂුවාහ්ගෙන් පැවතෙන.”