යෝබ් 42:1-17

42  ඊටපස්සේ යෝබ් යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා.   “ඔබට කරන්න බැරි දෙයක් නැහැ කියලා මට දැන් හොඳටම තේරෙනවා.ඔබ කරන්න තීරණය කරන ඕනම දෙයක් ඔබට කරන්න පුළුවන් කියලා මං දැන් දන්නවා.+   ඔබ මගෙන් ඇහුවා ‘මං ගත්ත තීරණ කිසිම අවබෝධයක් නැතුව විවේචනය කරන* මේ කෙනා කවුද’ කියලා.+ ඇත්ත, මං දන්නේ නැති, මට කවදාවත් තේරුම්ගන්න බැරි පුදුම දේවල් ගැන කිසිම අවබෝධයක් නැතුවයි මං කතා කළේ.+   ‘දැන් මං කියන දේට ඇහුම්කන් දෙන්න. මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න’+ කියලත් ඔබ මට කිව්වා.   මම කලින් ඔබ ගැන අහලා තිබුණා.ඒත් දැන් මං මගේ ඇස් දෙකෙන්ම ඔබව දකිනවා.   ඒ නිසා කලින් කියපු හැම දෙයක් ගැනම මං දැන් පසුතැවෙනවා.+මං දූවිලිවලයි, අළුවලයි ඉඳගෙන මං කියපු දේවල් ගැන දුක් වෙනවා.”+  යෙහෝවා යෝබ්ට කතා කළාට පස්සේ තේමාන්වල ඉඳන් ආපු එලිෆස්ට කතා කළා. යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “මං ඔයා එක්කත් ඔයාගේ යාළුවෝ දෙන්නා එක්කත් ඉන්නේ හුඟක් කේන්තියෙන්.+ මොකද මගේ සේවක යෝබ් මං ගැන ඇත්ත කතා කළත් ඔයාලා එහෙම කළේ නැහැ.+  ඒ නිසා ඔයාලා දැන් මගේ සේවක යෝබ් ළඟට ගොනුන් හත්දෙනෙක්වත් බැටළුවන් හත්දෙනෙක්වත් අරන් ගිහින් දවන පූජාවක් ඔප්පු කරන්න. එතකොට මගේ සේවක යෝබ් ඔයාලා වෙනුවෙන් යාච්ඤා කරලා+ ඔයාලට සමාව දෙන්න කියලා මගෙන් ඉල්ලයි. මොකද ඔයාලා මගේ සේවක යෝබ් වගේ මං ගැන ඇත්ත කතා කළේ නැහැ. මං එයාගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම ඇහුම්කන් දීලා ඔයාලට සමාව දෙනවා. ඔයාලා අඥාන විදිහට කතා කරපු එකට මං ඔයාලට දඬුවම් කරන්නේ නැහැ.”  තේමාන්වල ඉඳන් ආපු එලිෆස්, ෂුවාහ් ඉඳන් ආපු බිල්දද් සහ නයමා ඉඳන් ආපු ෂෝපර් යෙහෝවා දෙවියන් කියපු විදිහටම කළා. යෝබ් එයාලා වෙනුවෙන් කරපු යාච්ඤාවට යෙහෝවා ඇහුම්කන් දුන්නා. 10  යෝබ් එයාගේ යාළුවෝ තුන්දෙනා වෙනුවෙන් යාච්ඤා කළාට පස්සේ+ එයා අද්දැක්ක හැම පීඩාවකින්ම යෙහෝවා එයාව නිදහස් කළා.+ යෝබ්ට අහිමි වුණ ධන සම්පත් ඔහු එයාට ආයෙත් දුන්නා. එයාට තිබුණ දේවල් වගේ දෙගුණයක් දීලා යෙහෝවා එයාට ආශීර්වාද කළා.+ 11  එයාගේ සහෝදර සහෝදරියොත් එයාව දන්න අඳුරන හැමෝමත්+ එයාගේ ගෙදරට ඇවිත් එයාත් එක්ක එකට කෑම කෑවා. යෙහෝවා යෝබ්ට අද්දකින්න ඉඩහැරිය පීඩා ගැන අහලා ඒ හැමෝම එයාත් එක්ක දුක් වෙලා එයාව සැනසුවා. ඊටපස්සේ එයාලා හැමෝම රිදී කුට්ටියක් සහ රන් මුද්දක් ගාණේ යෝබ්ට තෑගි කළා. 12  යෙහෝවා දෙවියන් මුලින් ආශීර්වාද කළාටත් වඩා වැඩියෙන් යෝබ්ට ආශීර්වාද කළා.+ එයාට බැටළුවෝ 14,000ක් ඔටුවෝ 6,000ක් ගොන් බාන් 1,000ක් සහ බූරුදෙනුන් 1,000ක් හිටියා.+ 13  එයාට පුතාලා හත්දෙනෙකුත් දුවලා තුන්දෙනෙකුත් ලැබුණා.+ 14  යෝබ් එයාගේ පළවෙනි දුවට යෙමීමා කියලත් දෙවෙනි දුවට කෙෂීයා කියලත් තුන්වෙනි දුවට කෙරෙන්හප්පූක් කියලත් නම් තිබ්බා. 15  ඒ දේශයේ කොහෙවත් යෝබ්ගේ දුවලා තරම් රූමත් තරුණියෝ හිටියේ නැහැ. යෝබ් එයාගේ පුතාලට වගේම දුවලටත් උරුමයක් දුන්නා. 16  ඊටපස්සේ යෝබ් අවුරුදු 140ක් ජීවත් වුණා. එයාගෙන් පැවතුණ දරු මුනුපුරන්ව පරම්පරා හතරක් යන කල් දකින්න එයාට අවස්ථාව ලැබුණා. 17  යෝබ් අවුරුදු ගාණක් තෘප්තිමත් ජීවිතයක් ගත කරලා මිය ගියා.*

පාදසටහන්

හෝ, “මගේ අරමුණ වසං කරන.”
හෝ, “මහලු වියේදී මිය ගියා.”