රූත් 1:1-22

  • එලිමෙලෙක්ගේ පවුලේ අය මෝවබ් දේශයේ පදිංචියට යයි (1, 2)

  • නායොමි, ඕපා සහ රූත් වැන්දඹුවන් වෙයි (3-6)

  • රූත් නායොමිවත් නායොමිගේ දෙවියන්වත් අත්හරින්නේ නැහැ (7-17)

  • නායොමි රූත් එක්ක ආයෙත් බෙත්ලෙහෙමට එයි (18-22)

1  ඊශ්‍රායෙල් දේශය විනිශ්චයකරුවන් යටතේ තිබුණ* කාලයේ+ ඒ රටේ සාගතයක් ඇති වුණා. ඒ නිසා මිනිසෙක් යූදා දේශයේ බෙත්ලෙහෙමෙන්+ පිටත් වෙලා මෝවබ් දේශයට+ ගිහින් ජීවත් වුණා. එයා ගියේ එයාගේ බිරිඳයි, පුත්තු දෙන්නායි එක්ක.  ඒ මිනිසාගේ නම එලිමෙලෙක්.* එයාගේ බිරිඳ නායොමි.* පුත්තු දෙන්නා මාලන්* සහ කිලියොන්.* එයාලා යූදා දේශයේ එෆ්‍රාතාවල ඒ කියන්නේ බෙත්ලෙහෙම් නුවරේ ඉඳන් ඇවිත් මෝවබ් දේශයේ පදිංචි වුණා.  කාලෙකට පස්සේ නායොමිගේ සැමියා වුණ එලිමෙලෙක් මිය ගියා. නායොමි පුත්තු දෙන්නා එක්ක තනි වුණා.  එයාගේ පුත්තු මෝවබ් ජාතික කාන්තාවන් වුණ ඕපා සහ රූත්+ එක්ක විවාහ වුණා. එයාලා තවත් අවුරුදු දහයක් විතර එහේ හිටියා.  ඊටපස්සේ මාලන් සහ කිලියොනුත් මිය ගියා. නායොමිට සැමියා වගේම දරුවෝ දෙන්නාත් අහිමි වුණා.  මෝවබ් දේශයේ ඉද්දී නායොමිට ආරංචි වුණා යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ආශීර්වාද කරලා තිබුණ නිසා එයාලට කෑමෙන් අඩුවක් නැහැ කියලා. ඒ නිසා ලේළිලා දෙන්නාත් එක්ක එයා මෝවබ් දේශයෙන් පිට වෙලා එයාගේ මව්රටට යන්න සූදානම් වුණා.  නායොමි එයාගේ ලේළිලා දෙන්නා එක්ක පදිංචි වෙලා හිටපු තැන අත්හැරලා යූදා දේශයට යන්න පිටත් වුණා. එයාලා යන අතරතුරේදී  නායොමි ලේළිලට මෙහෙම කිව්වා. “ඔයාලා දැන් ආපහු ගෙදර යන්න. ගිහින් අම්මලා එක්ක ජීවත් වෙන්න. ඔයාලා දෙන්නාට යෙහෝවා හැමදාම ආදරෙන්* සලකන්න ඕනේ.+ මොකද ඔය දෙන්නා මටයි, මගේ පුතාලටයි හැමදාමත් හරිම ආදරෙන් සැලකුවා.  යෙහෝවාගේ ආශීර්වාදයෙන් ඔය දෙන්නාට ආයෙත් විවාහ වෙලා සතුටින් ජීවත් වෙන්න* ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.”+ ඊටපස්සේ නායොමි ලේළිලව සිපගත්තා. එයාලා ගොඩක් ඇඬුවා. 10  ලේළිලා නායොමිට මෙහෙම කිව්වා. “අනේ, අපිට ආපහු යන්න කියලා නම් කියන්න එපා. ඔයාත් එක්ක ගිහින් ඔයාගේ සෙනඟ එක්ක ජීවත් වෙන්නයි අපිට ඕනේ.” 11  ඒත් නායොමි මෙහෙම කිව්වා. “අනේ මගේ දරුවෙනි, ආපහු යන්න. මාත් එක්ක ආවා කියලා ඔයාලට මොනවාද ලැබෙන්නේ? ඔයාලට විවාහ කරලා දෙන්න දරුවෝ හදන්න මට ආයෙත් පුළුවන්ද?+ 12  ඉතින් ඔයාලා ආපහු යන්න. මං ගොඩක් වයසයි. මට ආපහු විවාහ වෙන්න බැහැ. මං අදම විවාහ වෙලා පුතාලා හැදුවත් 13  එයාලා උස් මහත් වෙන කල් ඔයාලා බලන් ඉන්නවාද? එච්චර කාලයක් විවාහ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ මගේ දරුවෙනි, මට මේ දුක දරාගන්න බැහැ.* මොකද ඔයාලට මෙහෙම වුණේ යෙහෝවාගේ ආශීර්වාදය මට නැති වුණ නිසයි.”+ 14  එයාලා ආයෙත් හොඳටම ඇඬුවා. ඊටපස්සේ ඕපා, නැන්දම්මාව ඉඹලා එයාගෙන් සමුගත්තා. ඒත් රූත් නායොමි එක්කම හිටියා. 15  නායොමි රූත්ට මෙහෙම කිව්වා. “දුවේ, ඔයාගේ නෑනා එයාගේ සෙනඟ ගාවටත් එයාගේ දෙවිවරුන් ගාවටත් ආපහු ගියා. ඉතින් ඔයාත් එයා එක්ක යන්න.” 16  ඒත් රූත් මෙහෙම කිව්වා. “ඔයාව දාලා යන්න කියලා නම් මට කියන්න එපා. ඔයා යන තැනකට මාත් එනවා. ඔයා නිදියන තැනම මාත් නිදියනවා. ඔයාගේ සෙනඟ තමයි මගෙත් සෙනඟ. ඔයාගේ දෙවියන් මගෙත් දෙවියන්.+ 17  ඔයා මැරෙන තැනම තමයි මාත් මැරෙන්නේ. මාව තැන්පත් කරන්න ඕනෙත් එතනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ!” 18  රූත් එයාගේ තීරණය කොහොමටවත් වෙනස් කරන්නේ නැහැ කියලා තේරුම්ගත්තාම නායොමි ඒ ගැන එයාට ආයෙත් කියන්න ගියේ නැහැ. 19  ඔය විදිහට එයාලා බෙත්ලෙහෙමටම ගියා.+ එයාලා බෙත්ලෙහෙමට ආවාම නුවරේ ඉන්න හැමෝම වගේ පුදුම වුණා. “මේ නායොමි නේද” කියලා කාන්තාවන් කතා වෙන්න පටන්ගත්තා. 20  ඒත් නායොමි එයාලට මෙහෙම කිව්වා. “මට දැන් නායොමි* කියලා කියන්න එපා. සියලු බලය තියෙන දෙවියන් මාව අත්හැරලා. මගේ ජීවිතෙත් දැන් මට තිත්ත වෙලා.+ ඒ හින්දා මට මාරා* කියලා කියන්න. 21  මෙහෙන් යද්දී මට හැම දේම තිබුණා. ඒත් යෙහෝවා අද මාව මෙහෙට ගෙනාවේ හිස් අතින්. යෙහෝවා දෙවියන් මට විරුද්ධව වැඩ කළා. සියලු බලය තියෙන දෙවියන් තමයි මට මේ හැම දේම කළේ. ඉතින් මට නායොමි කියලා කියන්න පුළුවන්ද?”+ 22  ඒ විදිහට නායොමි එයාගේ ලේළි වුණ මෝවබ් ජාතික රූත් එක්ක මෝවබ් දේශයේ+ ඉඳන් ආවා. එයාලා බෙත්ලෙහෙමට ආවේ බාර්ලි අස්වැන්න නෙළන්න පටන්ගත්ත කාලයෙදියි.+

පාදසටහන්

මූ.අ., “විනිශ්චයකරුවන් විනිශ්චය කරපු.”
තේරුම, “මගේ දෙවියන් රජයි.”
තේරුම, “ප්‍රියමනාපයි.”
සමහරවිට ඒ නම හැදිලා තියෙන්නේ “දුර්වල වෙනවා; අසනීප වෙනවා” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකින් වෙන්න ඇති.
තේරුම, “දුර්වල වීගෙන යන; ටිකෙන් ටික අවසානයට ළං වෙන.”
හෝ, “නොසැලෙන ආදරෙන්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “ආරක්ෂිතව ඉන්න පුළුවන් නිවහනක්.”
හෝ, “මගේ ජීවිතය තිත්ත වෙලා.”
තේරුම, “ප්‍රියමනාපයි.”
තේරුම, “තිත්ත.”