රූත් 2:1-23

  • රූත් බෝවස්ගේ කෙතේ කරල් එකතු කරයි (1-3)

  • රූත් සහ බෝවස් මුණගැහෙයි (4-16)

  • බෝවස් කාරුණිකව සලකපු විදිහ ගැන රූත් නායොමිට කියයි (17-23)

2  නායොමිට බෝවස්+ කියලා නෑදෑයෙක් හිටියා. එයා ගොඩක් පොහොසත්. එයා නායොමිගේ සැමියා වුණ එලිමෙලෙක්ගේ පවුලේ කෙනෙක්.  දවසක් මෝවබ් ජාතික රූත්, නායොමිගෙන් මෙහෙම ඇහුවා. “කෙත්වල අත්හැරුණු කරල් එකතු කරන්න මං යන්නද?+ මට අනුකම්පා කරන අය ඉන්න කෙතකට ගිහින් මං කරල් අහුලන්නම්.” නායොමි “යන්න දුවේ” කියලා එයාට කිව්වා.  රූත් අස්වැන්න කපන අය පිටිපස්සේ ගිහින් අත්හැරුණු කරල් ඇහින්දා. එහෙම යද්දී එයා අහම්බෙන් වගේ එලිමෙලෙක්ගේ පවුලට අයිති+ බෝවස්ගේ+ කෙතට ආවා.  ඔය අතරේ බෝවසුත් බෙත්ලෙහෙමේ ඉඳලා එතනට ආවා. “ඔයාලට යෙහෝවා දෙවියන්ගේ උදව් ලැබේවා” කියලා එයා අස්වැන්න නෙළන අයට ආචාර කළා. එයාලත් “ඔබට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා” කියලා බෝවස්ට කිව්වා.  බෝවස් අස්වැන්න නෙළන අයගේ වැඩ බලන තරුණයාගෙන් ඇහුවා “මේ තරුණිය කාගේ කවුද” කියලා.  ඒ තරුණයා මෙහෙම කිව්වා. “එයා මෝවබ් ජාතික තරුණියක්.+ එයා නායොමි එක්ක මෝවබ් දේශයේ ඉඳලයි මෙහෙට ඇවිත් තියෙන්නේ.+  එයා මගෙන් ඇහුවා ‘මං අස්වැන්න කපන අය දාලා ගිය කරල්* අහුලගත්තාට කමක් නැද්ද’+ කියලා. එයා උදේ ඉඳන් මේ වෙන කල්ම කෙතේ කරල් ඇහින්දා. දැන් ටිකකට ඉස්සෙල්ලා තමයි එයා පැලට ඇවිත් ඉඳගත්තේ.”  බෝවස් රූත්ට මෙහෙම කිව්වා. “මේ අහන්න දුවේ. මේ කෙත අත්හැරලා යන්න එපා. මගේ සේවිකාවන් එක්කම ඉඳලා කරල් අහුලන්න.+  එයාලා අස්වැන්න එකතු කරන්නේ කොහෙද කියලා බලලා එයාලා එක්ක එතනට යන්න. ඔයාට කිසිම කරදරයක් කරන්න එපා කියලා මම තරුණයන්ට කියලයි තියෙන්නේ. ඔයාට තිබහක් දැනුණාම වතුර ඇදලා දෙන තරුණයන් පුරවලා තියෙන භාජනවලින් අරන් බොන්න.” 10  එතකොට රූත් දණින් වැටිලා ඔළුව පහත් කරලා බෝවස්ගෙන් මෙහෙම ඇහුවා. “මං වෙනත් දේශයක කෙනෙක් වෙලත් ඔබ මං ගැන මෙච්චර හොයලා බලන්නේ ඇයි? මට උදව් කරන්නේ ඇයි?”+ 11  බෝවස් මෙහෙම උත්තර දුන්නා. “ඔයාගේ මහත්තයා මැරුණාට පස්සේ නැන්දම්මා වෙනුවෙන් ඔයා කරපු හැම දේම මට ආරංචි වුණා. ඔයා ඔයාගේ අම්මාවයි, තාත්තාවයි, ඉපදුණ දේශයයි අත්හැරලා දන්න අඳුරන කවුරුත් නැති මේ දේශයට ආවා කියලා මං දන්නවා.+ 12  ඔයා කරපු හැම දේකටම යෙහෝවාගෙන් ඔයාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය+ හොයන ඔයාට දෙවියන්ගෙන් හොඳම තෑග්ග ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!” 13  එතකොට රූත් මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මං ඔබේ සේවිකාවක්වත් නෙමෙයි. ඒත් ඔබ මාව සනසලා මගේ හිතේ බය නැති කළා.* හැමදාටම මේ විදිහට ඔබේ සේවිකාව වන මට කරුණාවෙන් සලකන්න කියලා මං ඔබෙන් ඉල්ලනවා.” 14  කෑම කන වෙලාවේ බෝවස් රූත්ට මෙහෙම කිව්වා. “එන්න, මෙතන තියෙන රොටි අරන් කන්න. ඒවා මේ ඇඹුල් වයින්වල පොඟවලා කන්න.” ඉතින් රූත් ගිහින් අස්වැන්න කපන අය ළඟ ඉඳගත්තා. බෝවස් බැදපු ධාන්‍ය ටිකකුත් එයාට දුන්නා. ඒකෙන් එයා ඇති තරම් කෑවාට පස්සෙත් තව ඉතුරු වුණා. 15  රූත් එතනින් නැඟිටලා කරල් අහුලන්න ආපහු ගියාම+ බෝවස් සේවකයන්ට මෙහෙම අණ කළා. “එයාට මුකුත් කියන්න යන්න එපා.+ ඕන තරම් කරල්* අහුලගන්න එයාට ඉඩ දෙන්න. 16  එයාට අහුලගන්න මිටිවලින් කරල් කීපයකුත් අරන් බිමට දාන්න. කරල් අහුලන්න එපා කියලා එයාට කියන්න එපා.” 17  රූත් හවස් වෙන කල්ම කෙතේ කරල් ඇහින්දා.+ එයා අහුලගත්ත කරල් තළලා සුද්ද කරගත්තාම එතන බාර්ලි ඒපාවක්* විතර තිබුණා. 18  එයා ඒකත් අරගෙන නුවරට ගිහින් ඒක එයාගේ නැන්දම්මාට පෙන්නුවා. දවල්ට ඇති වෙන්න කෑවාට පස්සේ ඉතුරු වුණ ධාන්‍ය ටිකත් එයා නායොමිට දුන්නා.+ 19  නායොමි රූත්ගෙන් මෙහෙම ඇහුවා. “දුව අද කරල් ඇහින්දේ කොහෙද? අද ඔයා වැඩ කළේ කාගේ කෙතේද? ඔයාට හොඳින් සලකපු කෙනාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!”+ එතකොට රූත් “මං අද වැඩ කළේ බෝවස් කියන කෙනාගේ කෙතේ” කියලා නැන්දම්මාට කිව්වා. 20  එතකොට නායොමි එයාගේ ලේළිට මෙහෙම කිව්වා. “ජීවත් වෙලා ඉන්න අයව වගේම මිය ගිය අයවත් අමතක කරන්නේ නැතුව එයාලට නොසැලෙන ආදරයක් පෙන්නන යෙහෝවාගෙන් එයාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!”+ නායොමි මෙහෙමත් කිව්වා. “බෝවස් අපේ නෑදෑයෙක්.+ එයාට පුළුවන් නෑදෑයෙක්ගේ වගකීම් ඉටු කරලා අපිව මේ කරදරවලින් බේරගන්න.”*+ 21  එතකොට රූත් මෙහෙම කිව්වා. “‘අස්වැන්න කපලා ඉවර වෙන කල්ම මගේ සේවකයන් එක්ක ඉන්න’+ කියලත් එයා මට කිව්වා.” 22  ඒ වෙලාවේ නායොමි “ඒක නම් හොඳයි දුවේ. වෙන කෙතකට ගියොත් ඔයාට කරදරයක් වෙයි. ඒ හින්දා බෝවස්ගේ සේවිකාවන් එක්කම ඉන්න” කියලා රූත්ට කිව්වා. 23  බාර්ලි සහ තිරිඟු අස්වැන්න කපලා ඉවර වෙන කල්ම රූත් බෝවස්ගේ සේවිකාවන් එක්කම ඉඳලා කරල් ඇහින්දා.+ එයා දිගටම එයාගේ නැන්දම්මා එක්ක ජීවත් වුණා.+

පාදසටහන්

හෝ සමහරවිට, “මිටි ළඟ තියෙන කරල්.”
මූ.අ., “හිතට කතා කළා.”
හෝ සමහරවිට, “මිටි ළඟ තියෙන කරල්.”
ඒපාවක් කියන්නේ ලීටර් 22ක් (කි.ග්‍රෑ. 13ක්) විතර. උප. B14 බලන්න.
හෝ, “එයා අපිව මුදවගන්න අයිතිය තියෙන නෑදෑයෙක්.”