රෝමවරුන්ට 1:1-32

  • සුබ පැතුම් (1-7)

  • රෝමයට යන්න පාවුල් ඉන්නේ ආසාවෙන් (8-15)

  • ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ විශ්වාසය නිසයි (16, 17)

  • දෙවියන්ව පිළිගන්නේ නැති අයට නිදහසට කියන්න හේතු නැහැ (18-32)

    • දෙවියන්ගේ ගුණාංග නිර්මාණවලින් දකින්න පුළුවන් (20)

1  මේ ලිපිය ඔයාලට ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක් වන පාවුල්. මාව කැඳෙව්වේ නියෝජිතයෙක්* විදිහට සේවය කරන්න. දෙවියන්ගේ ශුභාරංචිය අනිත් අයට කියන්න මාව පත් කළා.*+  දෙවියන් කාලෙකට කලින් තමන්ගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඒ ශුභාරංචිය ගැන ශුද්ධ ලියවිලිවල පොරොන්දු වෙලා තිබුණා.  ඒ ශුභාරංචිය ඔහුගේ පුතා ගැනයි. ඔහු ආවේ දාවිත්ගේ පෙළපතින්.+  ඔහු දෙවියන්ගේ පුතා+ කියලා කිසිම සැකයක් නැහැ. මොකද දෙවියන් තමන්ගේ ශුද්ධ බලය පාවිච්චි කරලා ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා.+ ඔහු තමයි අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්.  දෙවියන් ඔහු මාර්ගයෙන් අපිට මහත් කරුණාවක්* පෙන්නුවා. යේසුස් නියෝජිතයෙක් විදිහට මාව තෝරගත්තා.+ එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන්නත් ඔහුට කීකරු වෙන්නත් ඔහුගේ නමට ගෞරව කරන්නත් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට උදව් කරන්නයි.+  යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වෙන්න ආරාධනාවක් ලැබුණ ජාතීන් අතරේ ඔයාලත් ඉන්නවා.  මේ ලියුම ලියන්නේ දෙවියන්ගේ ආදරේ දිනාගත්ත, ශුද්ධ අය විදිහට ඔහු කැඳවපු රෝමයේ ඉන්න හැමෝටමයි. ඔයාලා හැමෝටම අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!  මුලින්ම ඔයාලා හැමෝම ගැන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මම මගේ දෙවියන්ට ස්තුති කරනවා. මොකද ඔයාලාගේ විශ්වාසය ගැන ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් කතා වෙනවා.  දෙවියන්ගේ පුතා ගැන ශුභාරංචිය හැම තැනම පතුරුවලා මම මුළු හදවතින්ම දෙවියන්ට සේවය කරනවා. මම යාච්ඤා කරද්දී ඔයාලා ගැන කොච්චර කන්නලව් කරනවාද+ කියලා දෙවියන් හොඳින්ම දන්නවා. 10  මම කන්නලව් කරන්නේ මේ වතාවේදීවත් මට ඔයාලව හම්බ වෙන්න අවස්ථාවක් දෙන්න කියලයි. ඒක දෙවියන්ගේ කැමැත්ත නම් මට ඔයාලව හම්බ වෙන්න පුළුවන් වෙයි. 11  ඇත්තටම ඔයාලව දැකගන්න මං ඉන්නේ හරිම ආසාවෙන්. මොකද දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් ඔයාලත් එක්ක බෙදාගෙන ඔයාලාගේ විශ්වාසය ශක්තිමත් කරන්න එතකොට මට පුළුවන් වෙයි. 12  ඇත්තටම මට විතරක් නෙමෙයි ඔයාලටත් පුළුවන් මාව දිරිගන්වන්න. අපි හැමෝටම පුළුවන් එක් එක් කෙනාගේ විශ්වාසයෙන් දිරිගැන්වීමක් ලබන්න.+ 13  සහෝදරයෙනි, මං ඔයාලව බලන්න එන්න ගොඩක් සැරයක් උත්සාහ කළා කියලා ඔයාලට කියන්න කැමතියි. ඒත් මේ වෙන කල් ඒක කරන්න මට පුළුවන් වුණේ නැහැ. මං කැමැත්තෙන් ඉන්නේ අනිත් ජාතීන් අතරේ දේශනා කරද්දී ලබපු හොඳ ප්‍රතිඵල ඔයාලාගේ පැත්තේ දේශනා කරද්දීත් ලබන්නයි. 14  ග්‍රීකයන්ට වගේම විදේශිකයන්ටත්* උගත් අයට වගේම නූගත් අයටත් මම ණයගැතියි. 15  රෝමයේ ඉන්න ඔයාලටත් ශුභාරංචිය ගැන කියන්න මම ලොකු ආසාවකින් ඉන්නේ ඒ නිසයි.+ 16  ශුභාරංචිය අනිත් අයට කියන එක ගැන මට කිසිම ලැජ්ජාවක් නැහැ.+ ඇත්තටම ශුභාරංචිය මාර්ගයෙන් දෙවියන් කොච්චර බලවත්ද කියලා පැහැදිලි වෙනවා. විශ්වාසයක් තියෙන හැම කෙනෙක්ටම+ ඒ කියන්නේ මුලින්ම යුදෙව්වන්ට+ ඊටපස්සේ ග්‍රීකයන්ට*+ ශුභාරංචිය නිසා ගැලවීම ලැබෙනවා. 17  ශුභාරංචිය මාර්ගයෙන් දෙවියන් කොයි තරම් ධර්මිෂ්ඨද කියලා විශ්වාසයක් තියෙන අයට දැකගන්න පුළුවන්. ඒක එයාලාගේ විශ්වාසය තවත් ශක්තිමත් කරනවා.+ ශුද්ධ ලියවිලිවලත් ලියලා තියෙන්නේ “ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ ඔහුගේ විශ්වාසය නිසයි”+ කියලා. 18  අනිත් අයට සත්‍යය ගැන දැනගන්න බැරි වෙන තරමටම+ නපුරු, දුෂ්ට දේවල් කරන මිනිස්සුන්ට විරුද්ධව දෙවියන් තමන්ගේ කේන්තිය+ ස්වර්ගයේ ඉඳන් පෙන්නනවා. 19  මොකද දෙවියන් තමන් ගැන දැනගන්න ඕනෙ හැම දෙයක්ම එයාලට පැහැදිලි කරලා දීලයි තියෙන්නේ.+ 20  දෙවියන්ව පේන්නේ නැති වුණත් ඔහු හදපු දේවල් දිහා හොඳට බලලා+ ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. ලෝකය හදපු දවසේ ඉඳලා ඔහුගේ ගුණාංග පැහැදිලිව දකින්න තියෙනවා. ඔහු හදලා තියෙන දේවල්වලින් සදහටම තියෙන ඔහුගේ බලය ගැනත්+ ඔහු දෙවියන් කියන දේත්+ පැහැදිලි වෙනවා. ඒ සාක්ෂි පිළිගන්නේ නැතුව ඉන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. 21  ඒ මිනිස්සු දෙවියන් ගැන දැනගෙන හිටියත් ඔහුව එයාලාගේ දෙවියන් විදිහට පිළි අරන් ඔහුට ගෞරව කළේවත් ඔහුට ස්තුති කළේවත් නැහැ. ඒ වෙනුවට එයාලා හරි මෝඩ විදිහට හිතන්න පටන්ගත්තා. හැඟීම් දැනීම් නැති එයාලාගේ හිත් අඳුරෙන් වැහිලා ගියා.*+ 22  ඒ වගේ අය තමන් හරිම බුද්ධිමත් කියලා කිව්වාට ඇත්තටම එයාලා හරිම මෝඩයි. 23  කවදාවත් විනාශ වෙන්නේ නැති* දෙවියන්ට ගෞරව කරනවා වෙනුවට එයාලා මැරිලා යන මිනිස්සුන්ගේ රූපවලටයි, කුරුල්ලන්ගේ, සිව්පාවුන්ගේ සහ බඩ ගාගෙන යන සතුන්ගේ රූපවලටයි ගෞරව කරනවා.+ 24  ඒ නිසා එයාලාගේ හිත්වල තියෙන අපවිත්‍ර ආශාවන්වලට අනුව වැඩ කරන්න දෙවියන් එයාලට ඉඩහැරියා. ඉතින් එයාලා නින්දිත දේවල් කරන්න තමන්ගේ ශරීර පාවිච්චි කරනවා. 25  එයාලා දෙවියන් ගැන සත්‍යය ප්‍රතික්ෂේප කරලා බොරුව පස්සේ යන්න තීරණය කළා. හැම දෙයක්ම නිර්මාණය කරපු කෙනාට නෙමෙයි ඔහු නිර්මාණය කරපු දේවල්වලට එයාලා නමස්කාර කළා. ඒවාට සේවය කළා. ඒත් හැමදාටම ප්‍රශංසාව ලබන්න වටින තැනැත්තා ඔහුයි. ආමෙන්.* 26  ඒ නිසයි පිළිකුල්සහගත ලිංගික ආශාවන්වලට වහල් වෙලා ඉන්න+ දෙවියන් එයාලට ඉඩ දුන්නේ. එයාලා අතරේ ඉන්න කාන්තාවන් පිරිමි එක්ක සම්බන්ධකම් පවත්වනවා වෙනුවට අස්වාභාවික සම්බන්ධකම් පවත්වන්න පටන්ගත්තා.+ 27  ඒ වගේම පුරුෂයන් කාන්තාවන් එක්ක සාමාන්‍ය විදිහට ලිංගික සම්බන්ධකම් පවත්වනවා වෙනුවට වෙනත් පුරුෂයන් ගැන කාමාශාවෙන් දැවෙන්න පටන්ගත්තා. පිරිමි පිරිමින් එක්ක+ හරිම ජරා විදිහට හැසිරුණා. එයාලා කරන වැරදිවලට ලැබෙන්න ඕනෙ සම්පූර්ණ දඬුවම එයාලට අනිවාර්යයෙන්ම ලැබෙනවා.+ 28  දෙවියන්ව පිළිගන්න එකෙන් කිසිම වැඩක් නැහැ කියලා එයාලා හිතපු නිසා* තේරුමක් නැති දේවල් ගැන දිගටම හිතහිත ඉන්න ඔහු එයාලට ඉඩහැරියා. ඉතින් එයාලා කරන්නේ සුදුසු නැති දේවල්මයි.+ 29  ඒ වගේ මිනිස්සුන්ගේ හිත් අධර්මිෂ්ඨ,+ දුෂ්ට, කෑදර+ සිතුවිලිවලින් පිරිලා. එයාලා කරන්නෙම වැරදි දේවල්. එයාලා ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා,+ මිනී මරනවා,+ හැම තිස්සේම රණ්ඩු කරනවා, බොරු කියනවා,+ අනිත් අයගේ හිත් පාරනවා,+ ඕපාදූප කියනවා,* 30  අනිත් අයට අපහාස කරනවා,+ දෙවියන්ට වෛර කරනවා. එයාලා හරිම උද්ධච්ච, උඩඟු, මහ ඉහළින් කතා කරන, නපුරු දේවල් සැලසුම් කරන අය. එයාලා දෙමාපියන්ට අකීකරුයි,+ 31  මුරණ්ඩුයි, හරිම දරදඬුයි.+ දෙන පොරොන්දු එයාලා කඩ කරනවා. අනිත් අය ගැන සැබෑ ආදරයක් එයාලාගේ හිත්වල නැහැ. එයාලා කාටවත් කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. 32  ඒ වගේ දේවල් කරන අයට දෙවියන් දීලා තියෙන තීන්දුව මරණය කියලා එයාලා හොඳටම දන්නවා. ඒ තීන්දුව සාධාරණයි.+ ඒත් එයාලා ඒ දේවල් දිගටම කරනවා විතරක් නෙමෙයි ඒවා කරන අනිත් අයව මහ ඉහළින් පිළිගන්නවා.

පාදසටහන්

හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
මූ.අ., “ශුභාරංචිය වෙනුවෙන් මාව වෙන් කළා.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවක්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “ග්‍රීක නොවන අයටත්.” මූ.අ., “කිසිම චාරයක් නැති අයටත්.”
පේන විදිහට මෙතන කතා කරන්නේ ග්‍රීක භාෂාව කතා කරපු, යුදෙව් නොවන අය ගැනයි.
හෝ, “හිත්වලට කිසිම දෙයක් අවබෝධ කරගන්න බැරුව ගියා.”
මූ.අ., “කවදාවත් කුණු වෙන්නේ නැති.”
හෝ, “එසේම වේවා!”
හෝ, “දෙවියන්ව නිවැරදි විදිහට දැන හඳුන ගන්න අකමැති වුණ නිසා.”
හෝ, “රහස් කියනවා.”