රෝමවරුන්ට 10:1-21

  • දෙවියන් ඉස්සරහා ධර්මිෂ්ඨ කෙනෙක් වෙන විදිහ (1-15)

    • ප්‍රසිද්ධියේ කියයි (10)

    • යෙහෝවාට යාච්ඤා කරන අයව ගලවගනියි (13)

    • ශුභාරංචියක් ප්‍රකාශ කරන අයගේ පාද අලංකාරයි (15)

  • ශුභාරංචියට කීකරු නැහැ (16-21)

10  සහෝදරයෙනි, මගේ සෙනඟ ගැලවීම ලබනවා දකින එකයි මගේ හිතේ ආසාව.+ මං ඒ ගැන දෙවියන්ටත් කන්නලව් කරනවා.  මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් දෙවියන්ට සේවය කරන්න එයාලට ලොකු උද්‍යෝගයක් තියෙනවා කියලා.+ ඒත් එයාලා ඒ දේ කරන්නේ දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා හරියට තේරුම් අරන් නෙමෙයි.  දෙවියන් හරියි කියලා සලකන්නේ මොනවාද කියලා එයාලා දන්නේ නැති නිසා+ එයාලම හදාගත්ත ප්‍රමිතියකට අනුව වැඩ කළා.+ ඒකෙන් වුණේ දෙවියන් හරියි කියලා සලකන ප්‍රමිතිවලට එයාලා අකීකරු වුණ එක.+  ක්‍රිස්තුස් නීතිය අවසානයකට ගෙනාවා.+ ඒ නිසා ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්වම දැන් ධර්මිෂ්ඨ අය විදිහට සලකනවා.+  මෝසෙස් නීතිය ගැන කතා කරද්දී කිව්වා “කෙනෙක් ඒ දේවල් පිළිපදිනවා නම් ඒකෙන් ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනවා”+ කියලා. ඒකෙන් එයා පෙන්නුවා නීතියට අනුව ධර්මිෂ්ඨ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.  ඒත් ශුද්ධ ලියවිලිවල පෙන්නලා තියෙනවා කෙනෙක්ව ධර්මිෂ්ඨයි කියලා සලකන්න නම් එයාට විශ්වාසය තියෙන එක හරිම වැදගත් කියලා. ඒකේ කියනවා “‘ස්වර්ගෙට යන්නේ කවුද’+ කියලා හිතින්වත් අහන්න එපා+ කියලා. ඒකෙන් අදහස් කළේ ක්‍රිස්තුස්ව පොළොවට ගේන්න ස්වර්ගෙට යන්නේ කවුද කියලා ප්‍රශ්න කරන එකයි.  ‘අගාධයට බහින්නේ කවුද’+ කියලවත් අහන්න එපා. ඒකෙන් අදහස් කළේ අගාධයට බැහැලා ගිහින් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටවන්නේ කවුද කියලා ප්‍රශ්න කරන එකයි.”  ඒත් ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මොකක්ද? “දෙවියන්ගේ වදන් ඔයාලා ළඟම තියෙනවා. ඒවා ඔයාලාගේ හිතෙත් දිව අගත් තියෙනවා”+ කියලා. එතන “වදන්” කියද්දී අදහස් කරන්නේ අපි දේශනා කරන පණිවිඩය. ඒක පිළිගන්න විශ්වාසය තියෙන්න ඕනේ.  ඉතින් ඔයාලා යේසුස් තමයි ස්වාමීන් කියලා ප්‍රසිද්ධියේ කියනවා නම්,+ දෙවියන් ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා කියලා හදවතින් විශ්වාස කරනවා නම් ඔයාලට ගැලවීම ලැබෙයි. 10  මොකද හදවතේ විශ්වාසයක් ඇති වෙද්දී කෙනෙක්ව ධර්මිෂ්ඨයි කියලා සලකනවා. ඒත් ඒ විශ්වාසය ගැන අනිත් අයට ප්‍රසිද්ධියේ කියද්දී+ ඒක එයාගේ ගැලවීමට මඟ පාදනවා. 11  ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියනවා. “ඔහු ගැන විශ්වාසය තියන කිසිම කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ වෙන්නේ නැහැ.”+ 12  යුදෙව්වෙක් සහ ග්‍රීකයෙක් අතරේ කිසිම වෙනසක් නැහැ.+ අපි හැමෝගෙම ස්වාමීන්* එකම තැනැත්තායි. ඔහුගෙන් උදව් ඉල්ලන හැමෝටම ඔහු අදිමදි කරන්නේ නැතුව* උදව් කරනවා. 13  මොකද “යෙහෝවාගේ* නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.”+ 14  ඒත් එයාලට ඔහු ගැන විශ්වාසයක් නැත්නම් ඔහුට යාච්ඤා කරන්නේ කොහොමද? එයාලා ඔහු ගැන අහලා නැත්නම් ඔහු ගැන විශ්වාසය තියන්නේ කොහොමද? ඔහු ගැන දේශනා කරන්න කෙනෙක් නැත්නම් එයාලා ඔහු ගැන දැනගන්නේ කොහොමද? 15  කවුරුත් එයාලව යවලා නැත්නම් එයාලා දේශනා කරන්නේ කොහොමද?+ ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන්නේ මෙහෙමයි. “ශුභාරංචියක් ප්‍රකාශ කරන අයගේ පාද කොච්චර අලංකාරද!”+ 16  ඒත් හැමෝම ඒ ශුභාරංචියට කීකරු වුණේ නැහැ. මොකද යෙසායා කිව්වේ “යෙහෝවා* දෙවියනි, අපෙන් අහන්න ලැබුණ දේ ගැන විශ්වාසය තිබ්බේ කවුද” කියලයි.+ 17  දෙයක් අහන්න ලැබුණාට පස්සේ තමයි විශ්වාසයක් ඇති වෙන්නේ.+ ඒ දේ අහන්න ලැබුණේ ක්‍රිස්තුස් ගැන කියපු පණිවිඩය මාර්ගයෙන්. 18  ඒත් ඊශ්‍රායෙල්වරු ගැන මං අහන ප්‍රශ්නේ මේකයි. එයාලට පණිවිඩේ ගැන අහන්න අවස්ථාවක් හම්බ වුණේ නැද්ද? ඇයි නැත්තේ. ශුද්ධ ලියවිලිවල කියන්නේ “ඒ සාක්ෂිය පොළොව පුරාම පැතිරිලා යනවා. ඒ පණිවිඩය පොළොවේ කෙළවර දක්වාම දිව යනවා” කියලයි.+ 19  මං ආයෙත් අහන්නේ ඊශ්‍රායෙල්වරුන්ට මේ ගැන තේරුම්ගන්න බැරි වුණාද කියලයි.+ මෝසෙස් මුලින්ම මෙහෙම කිව්වා. “ජාතියක් විදිහට සලකන්නේ නැති සෙනඟක්ව පාවිච්චි කරලා මං ඔයාලාගේ හිත්වල ඊර්ෂ්‍යාවක් ඇති කරනවා. මෝඩයි කියලා සලකන ජාතියක්ව පාවිච්චි කරලා මං ඔයාලව හොඳටම කේන්ති ගස්සනවා.”+ 20  ඊටපස්සේ යෙසායා කිසිම බයක් නැතුව මෙහෙම කිව්වා. “මාව හඳුනගන්න උත්සාහයක් නොදරපු අයට මම කවුද කියලා හෙළි කළා.+ මගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවේ නැති අයට මම උත්තර දුන්නා.”+ 21  ඒත් එයා ඊශ්‍රායෙල්වරු ගැන මෙහෙම කිව්වා. “අකීකරු, මුරණ්ඩු සෙනඟක් දිහාවට මම දෑත් දිගු කරගෙන දවස පුරා බලාගෙන හිටියා.”+

පාදසටහන්

හෝ, “හරිම ත්‍යාගශීලීව.”
මෙතන “ස්වාමීන්” කියද්දී යෙහෝවාව නැත්නම් යේසුස්ව අදහස් වෙන්න පුළුවන්.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.