රෝමවරුන්ට 11:1-36

  • ඊශ්‍රායෙල් සෙනඟව ප්‍රතික්ෂේප කළත් හැමෝවම නෙමෙයි (1-16)

  • ඔලීව ගහේ උදාහරණේ (17-32)

  • දෙවියන්ගේ ප්‍රඥාව මැනලා ඉවර කරන්න බැහැ (33-36)

11  ඒ කියන්නේ දෙවියන් ඔහුගේ සෙනඟව ප්‍රතික්ෂේප කළා කියලද?+ නැහැ. මොකද මමත් ඊශ්‍රායෙල් ජාතිකයෙක්, ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනෙක්. මම අයිති බෙන්ජමින් ගෝත්‍රයට.  දෙවියන් මුලින්ම තෝරගත්ත තමන්ගේ සෙනඟව ප්‍රතික්ෂේප කළේ නැහැ.+ ශුද්ධ ලියවිල්ලේ එලියා ගැන තියෙන දේ ඔයාලා දන්නේ නැද්ද? එයා ඊශ්‍රායෙල්වරු ගැන චෝදනා කරලා දෙවියන්ට මෙහෙම යාච්ඤා කළා.  “යෙහෝවා* දෙවියනි, එයාලා ඔයාගේ අනාගතවක්තෘවරුන්ව මරලා දැම්මා. ඔයාගේ පූජාසන කඩලා දැම්මා. ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි. දැන් එයාලා මාවත් මරන්න හොයනවා.”+  ඒත් දෙවියන් එයාට දුන්න උත්තරේ මොකක්ද? “බාල් ඉස්සරහා වැඳ වැටුණේ නැති මගේ සෙනඟගෙන් 7,000දෙනෙක් තාමත් ඉන්නවා.”+  අදත් ඒ වගේමයි. තෝරගත්ත පොඩි පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා.+ ඒ දෙවියන්ගේ මහත් කරුණාව නිසයි.  දෙවියන් එයාලව තෝරගත්තේ ඔහුගේ මහත් කරුණාව නිසා නම්+ ඒ අවස්ථාව එයාලට ලැබුණේ එයාලා කරපු දෙයක් නිසා කියලා කියන්න බැහැ.+ එයාලව තෝරගත්තේ එයාලා කරපු දෙයක් නිසා නම් දෙවියන් මහත් කරුණාවක් පෙන්නුවා කියලා කියන්නත් බැහැ.  එහෙමනම් මොනවාද අපිට කියන්න පුළුවන්? ඊශ්‍රායෙල් සෙනඟ හරිම ආසාවෙන් ලබාගන්න හදපු දේ එයාලට ලැබුණේ නැහැ. තෝරගත්ත කට්ටියකට තමයි ඒක ලැබුණේ.+ ඉතුරු කට්ටිය අහන්න කැමති වුණේ නැහැ.+  ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන මේ දේ ඇත්තක්. “දෙවියන් එයාලව තද නින්දකට දාලා.+ ඒ නිසා අද වෙන කල්ම එයාලට පේන්නෙවත් ඇහෙන්නෙවත් නැහැ.”+  දාවිත් පවා මෙහෙම කිව්වා. “එයාලා පිළියෙල කරගත්ත මේසය එයාලටම උගුලක් වේවා! ඒක එයාලව අහු කරගන්න දැලක් වගේ වේවා! එතකොට එයාලා පැටලිලා වැටිලා දඬුවම් ලබයි. 10  කිසි දෙයක් දැකගන්න බැරි වෙන්න එයාලාගේ ඇස් අඳුරු කරන්න. එයාලා පිට බර පටවලා නැමෙන්න සලස්වන්න.”+ 11  ඉතින් ඊශ්‍රායෙල්වරුන්ගේ කකුල පැටලිලා වැටුණාම නැඟිටගන්න බැරි වෙන්නම එයාලා වැටිලා ගියාද? නැහැ. ඒත් එයාලා වැරදි පියවරක් ගත්ත නිසා වෙනත් ජාතීන්ට අයිති අයට ගැලවෙන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන ඊශ්‍රායෙල්වරුන්ට ඊර්ෂ්‍යාවක් ඇති වුණා.+ 12  එයාලා ගත්ත වැරදි පියවර නිසා ලෝකයට ගොඩක් ආශීර්වාද ලැබුණා. එයාලාගේ ගාණ අඩු වුණ නිසා වෙනත් ජාතීන්ට අයිති අයට තවත් වැඩියෙන් ආශීර්වාද ලැබුණා.+ එහෙමනම් එයාලාගේ* ගාණ සම්පූර්ණ වෙද්දී ඊට වඩා කොච්චර වැඩියෙන් ආශීර්වාද ලැබෙයිද! 13  දැන් මං කතා කරන්නේ වෙනත් ජාතීන්ට අයිති ඔයාලටයි. මම වෙනත් ජාතීන්ට අයිති අය ළඟට යවපු නියෝජිතයෙක්.+ මට කරන්න ලැබිලා තියෙන ඒ සේවය මම ගොඩක් වටින දෙයක් විදිහට සලකනවා.+ 14  මං කැමතියි ඔයාලට ලැබිලා තියෙන දේ ගැන මගේ සෙනඟගේ හිත්වල පොඩි ඊර්ෂ්‍යාවක් ඇති කරලා එයාලාගෙන් සමහරදෙනෙක්ව හරි ගලවගන්න. 15  එයාලව අත්හැරලා දාපු නිසා+ ලෝකයේ ඉන්න සමහරදෙනෙක්ට දෙවියන් එක්ක යාළුකමක් ඇති කරගන්න අවස්ථාව ලැබුණා. ඒත් දෙවියන් එයාලව* ආයෙත් පිළිගන්නවා නම් ඒක හරියට මැරිලා ඉන්න එයාලට ආපහු ජීවිතේ දෙනවා වගේ දෙයක්. 16  පිටි පිඩෙන් මුල් පල විදිහට ඔප්පු කරන කොටස ශුද්ධයි නම් මුළු පිටි පිඩම ශුද්ධ වෙන්න ඕනේ. ගහක මුල ශුද්ධයි නම් ඒ ගහේ අතුත් ශුද්ධ වෙන්න ඕනේ. 17  ඒත් ඒ ගහේ සමහර අතු කපලා අයින් කරලා දැම්මා. ඊටපස්සේ ඒ ගහේ අනිත් අතු අතරේ ඔයාලව බද්ධ කළා. ඔයාලව ගත්තේ වල් ඔලීව ගහකින් වුණත් එහෙම කළා. දැන් ඔයාලත් අනිත් අතු එක්ක ඔලීව ගහේ මුලෙන් හොඳට පෝෂණය වෙනවා. 18  ඒත් හිතන්න එපා* අනිත් අතුවලට වඩා ඔයාලා හොඳයි කියලා. ඔයාලා එහෙම හිතනවා නම්+ මතක තියාගන්න මුල රැඳිලා තියෙන්නේ ඔයාලා නිසා නෙමෙයි ඔයාලා රැඳිලා ඉන්නේ මුල නිසයි කියලා. 19  ඔයාලාගෙන් සමහරදෙනෙක් කියයි “මාව බද්ධ කරන්නයි අතු කපලා දැම්මේ” කියලා.+ 20  ඒකේ ඇත්තක් තියෙනවා. එයාලට විශ්වාසයක් තිබුණේ නැති නිසා එයාලව කපලා දැම්මා.+ ඒත් ඔයාලා දැන් ඉන්න තැන ඉන්නේ ඔයාලාගේ විශ්වාසය නිසයි.+ ඉතින් ආඩම්බර වෙන්න එපා. පරෙස්සම් වෙන්න. 21  ගහෙන්ම ආපු අතු දෙවියන් කපලා දැම්මා නම් ඔයාලවත් කපලා දාන්න ඔහුට පුළුවන් කියලා මතක තියාගන්න. 22  දෙවියන් කරුණාව+ පෙන්නනවා වගේම දඬුවම් කරනවා කියලත් ඔයාලට තේරෙනවා ඇති. විශ්වාසයක් තිබුණේ නැති නිසා පැටලිලා වැටුණ අයට ඔහු දඬුවම් කළා.+ ඒත් දෙවියන්ගේ කරුණාව ලබන්න සුදුසු අය විදිහට ඔයාලා දිගටම හිටියොත් ඔහු ඔයාලට කරුණාව පෙන්නයි. නැත්නම් ඔයාලවත් ගහෙන් කපලා අයින් කරයි. 23  ඒත් ඊශ්‍රායෙල්වරු විශ්වාසයක් පෙන්නන්න පටන්ගත්තොත් එයාලව ආයෙත් ගහට බද්ධ කරයි.+ මොකද දෙවියන්ට පුළුවන් එයාලව ආපහු බද්ධ කරන්න. 24  සාමාන්‍යයෙන් වල් ඔලීව ගහකින් අත්තක් කපලා වත්තක වවපු ඔලීව ගහකට බද්ධ කරන්නේ නැහැ. ඒත් ඔයාලව වල් ඔලීව ගහකින් කපලා වත්තක වවපු ඔලීව ගහකට බද්ධ කළා. එහෙමනම් ගහේම අතු, ආපහු ඒ ගහටම බද්ධ කරන එක ඊට වඩා කොච්චර ලේසිද! 25  සහෝදරයෙනි, මේ පරිශුද්ධ රහස+ ගැන ඔයාලා දැනගන්නවාට මම කැමතියි. එතකොට ඔයාලා හරිම ප්‍රඥාවන්තයි කියලා හිතන එකක් නැහැ. ඒ රහස තමයි මේ. ඊශ්‍රායෙල්වරුන්ගෙන් සමහරදෙනෙක් මුරණ්ඩු වුණා. එහෙම වෙන්නේ වෙනත් ජාතීන්ට අයිති, තෝරගත්ත අයගේ ගාණ සම්පූර්ණ වෙන කල්. 26  ඒ විදිහට ඊශ්‍රායෙලයේ සම්පූර්ණ ගාණ+ ගැලවෙනවා. ශුද්ධ ලියවිලිවල මෙහෙම කියලා තියෙනවා. “මිදුම්කරු* සියොන්වලින් එනවා.+ දුෂ්ට දේවල් කරන එක නතර කරන්න යාකොබ්ගෙන් පැවතෙන අයට ඔහු උදව් කරයි. 27  මම එයාලාගේ වැරදිවලට සමාව දුන්නාම+ එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා.”+ 28  ඇත්ත, එයාලා* ශුභාරංචියේ හතුරෝ. ඒකෙන් ඔයාලට තමයි ප්‍රයෝජන ලැබුණේ. ඒත් දෙවියන් එයාලව තෝරගත්තා. දෙවියන් එයාලට ආදරේ කරන්නේ එයාලාගේ මුතුන්මිත්තන්ට දුන්න පොරොන්දුව නිසයි.+ 29  දෙවියන් ලබා දෙන දේවල් ගැන ඔහු දුක් වෙන්නේ නැහැ. ඔහු කැඳවපු අය ගැන කනගාටු වෙන්නේ නැහැ. 30  ඔයාලත් කාලයක් දෙවියන්ට කීකරු වුණේ නැහැ.+ ඒත් ඊශ්‍රායෙල්වරු අකීකරු වුණ නිසා+ දැන් ඔයාලට දයාව පෙන්නලා තියෙනවා.+ 31  එයාලා අකීකරු වුණාම දෙවියන් ඔයාලට දයාව පෙන්නුවා. ඔයාලට දයාව පෙන්නපු විදිහටම දෙවියන් එයාලටත් දයාව පෙන්නයි. 32  අකීකරුකමට වහලුන් වෙන්න දෙවියන් මිනිස්සු හැමෝටම ඉඩහැරියා.+ ඔහු එහෙම කළේ එයාලා හැමෝටම දයාව පෙන්නන්න.+ 33  දෙවියන් දෙන ආශීර්වාද* මොන තරම් පුදුමාකාරද! ඔහුට තියෙන ප්‍රඥාවත් දැනුමත් කවදාවත් මැනලා ඉවර කරන්න බැහැ. ඔහු විනිශ්චය කරන විදිහ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ. ඔහු කරන හැම දෙයක්ම වටහාගන්න එක කොච්චර අමාරුද! 34  “යෙහෝවාගේ* සිතුවිලි දැනගන්න පුළුවන් කාටද? ඔහුගේ උපදේශකයා වෙන්න පුළුවන් කාටද?”+ 35  “මුලින් කවුරු හරි දෙයක් දෙවියන්ට දුන්නාද? දෙවියන්ට සිද්ධ වෙනවාද කාට හරි ආපහු දෙයක් ගෙවන්න?”+ 36  මොකද හැම දෙයක්ම හැදුවේ ඔහුයි. ඒවා දිගටම පවතින්නේ ඔහු නිසයි. හැම දෙයක්ම තියෙන්නේ ඔහුගේ අරමුණ නිසයි. ඔහුට සදහටම ගෞරවය ලැබේවා! ආමෙන්.

පාදසටහන්

උප. A5 බලන්න.
හෝ, “ඊශ්‍රායෙල්වරුන්ගේ සහ වෙනත් ජාතීන්ගේ.”
හෝ, “ඊශ්‍රායෙල්වරුන්ගෙන් සමහරදෙනෙක්ව.”
හෝ, “ආඩම්බරෙන් කියන්න එපා.”
හෝ, “ගැලවුම්කරු.”
හෝ, “ඊශ්‍රායෙල්වරුන්ගෙන් සමහරදෙනෙක්.”
මූ.අ., “දෙවියන්ගේ වස්තු සම්භාරය.”
උප. A5 බලන්න.