රෝමවරුන්ට 12:1-21

  • ඔයාලාගේ ශරීරත් ජීවිතත් පූජාවක් විදිහට ඔප්පු කරන්න (1, 2)

  • හැකියාවන් වෙනස් වුණත් එක ශරීරයක් (3-8)

  • සැබෑ ක්‍රිස්තියානීන් ජීවත් වෙන්න ඕනෙ විදිහ (9-21)

12  සහෝදරයෙනි, දෙවියන් ඔයාලට දයානුකම්පාව පෙන්නලා තියෙන නිසා මම ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලාගේ ශරීරත්+ ජීවිතත් පූජාවක් විදිහට ඔප්පු කරන්න කියලා. ඒ පූජාව ශුද්ධ,+ දෙවියන්ට පිළිගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඉතින් ඔහුට සේවය* කරද්දී හිතලා දේවල් කරන්න ඔයාලට ලැබිලා තියෙන හැකියාව පාවිච්චි කරන්න.+  මේ සමාජයේ* රැල්ලට අනුව වැඩ කරන එක නතර කරන්න. ඒ වෙනුවට ඔයාලා හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දෙවියන්ට ඉඩ දෙන්න.+ එතකොට දෙවියන් ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන දේ* කිසිම සැකයක් නැතුව තේරුම්ගන්න ඔයාලට පුළුවන් වෙයි.+ දෙවියන් බලාපොරොත්තු වෙන දේ කරද්දී ඔහුව සතුටු කරන්න පුළුවන්. ඔහු බලාපොරොත්තු වෙන දේ යහපත්. ඒකේ කිසිම අඩුවක් නැහැ.  දෙවියන් මට පෙන්නලා තියෙන මහත් කරුණාව ගැන හිතද්දී මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලන්නේ තමන් ගැන ඕනෑවට වඩා හිතන්න එපා කියලා.+ ඒ වෙනුවට තමන්ගේ සීමාව තේරුම් අරන් හිතන්න පුරුදු වෙන්න. එහෙම කරද්දී මතක තියාගන්න ඔයාලා එක් එක් කෙනා ළඟ තියෙන විශ්වාසය ඇති කරගන්න ඔයාලට උදව් කළේ* දෙවියන් කියලා.+  ශරීරයකට අවයව ගොඩක් තියෙනවා.+ ඒත් ඒ අවයව හැම එකකින්ම වෙන්නේ එකම දේ නෙමෙයි.  අපිත් ඒ වගේ. අපි හුඟදෙනෙක් හිටියත් අපි හැමෝම ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න නිසා අපි එක ශරීරයක්. අපි එක් එක් කෙනා ශරීරයේ තියෙන එක එක අවයව වගේ. ඒත් අපි හැමෝම එකට සම්බන්ධ වෙලයි ඉන්නේ.+  අපි එක් එක් කෙනාට ලැබිලා තියෙන හැකියාවන්* වෙනස්. ඒ වෙනස් හැකියාවන් අපිට ලැබිලා තියෙන්නේ දෙවියන් පෙන්නලා තියෙන මහත් කරුණාව නිසයි.+ ඉතින් අපිට අනාවැකි කියන හැකියාව ලැබිලා තියෙනවා නම් අපි එක් එක් කෙනා ළඟ තියෙන විශ්වාසයට අනුව අනාවැකි කියමු.  අපිට ලැබිලා තියෙන්නේ සේවය කරන අවස්ථාව නම් අපි පුළුවන් උපරිමයෙන් අනිත් අයට සේවය කරමු. අපිට ලැබිලා තියෙන්නේ උගන්නන හැකියාව නම් පුළුවන් හොඳම විදිහට උගන්නමු.+  දිරිගන්වන්න හැකියාව අපිට ලැබිලා තියෙනවා නම් අපි අනිත් අයව දිරිගන්වමු.+ අනිත් අය එක්ක බෙදා හදා ගන්න එක නම් අපේ හැකියාව, අත දිගහැරලා අපිට තියෙන දේවල් බෙදාගමු.+ පෙරමුණ අරන් වැඩ කරන කෙනා හරිම උනන්දුවෙන්, කඩිසරව ඒක කරන්න ඕනේ.+ දයාව පෙන්නන කෙනා ඒක සතුටින් කරන්න ඕනේ.+  අනිත් අයට ආදරෙයි කියලා මවාපාන්න එපා.+ එයාලට අවංකව ආදරේ කරන්න. දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ යහපත් දේ කරන එක අත්හරින්න එපා.* 10  තමන්ගෙම පවුලේ අයට පෙන්නනවා වගේ ලොකු ආදරයක්,* සෙනෙහසක් ඔයාලා එකිනෙකාට පෙන්නන්න. කැමැත්තෙන්ම එක් එක් කෙනාට ගෞරවය පෙන්නන්න.*+ 11  මහන්සි වෙලා වැඩ කරන්න. කම්මැළි වෙන්න එපා.+ හිතේ උද්‍යෝගයක්, උනන්දුවක් ඇති කරන්න දෙවියන්ගේ බලයට ඉඩ දෙන්න.+ මුළු හදවතින්ම යෙහෝවාට* සේවය කරන්න.+ 12  ඔයාලට තියෙන බලාපොරොත්තුව ගැන සතුටු වෙන්න. ප්‍රශ්න ගැටලු එද්දී විඳදරාගන්න.+ යාච්ඤා කරන එක අත්හරින්න එපා.+ 13  අගහිඟකම්වලට මුහුණ දෙන ශුද්ධ තැනැත්තන් එක්ක දේවල් බෙදා හදා ගන්න.+ අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්නන්න පුළුවන් විදි හොයන්න.+ 14  ඔයාලට පීඩා කරන අයට හොඳක් වෙන්න කියලා පතන්න.+ එයාලට ශාප කරන්න එපා.+ 15  සතුටින් ඉන්න අයත් එක්ක සතුටු වෙන්න. දුකෙන් ඉන්න* අයත් එක්ක අඬන්න. 16  ඔයා ඔයා ගැන සැලකිලිමත් වෙන විදිහටම අනිත් අය ගැනත් සැලකිලිමත් වෙලා වැඩ කරන්න. තමන් ගැන මහ ඉහළින් හිතන්නේ නැතුව කරන හැම දේකදීම නිහතමානී විදිහට හිතන්න පුරුදු වෙන්න.+ අනිත් හැමෝටම වඩා ඔයා බුද්ධිමත් කියලා හිතන්න එපා.+ 17  කෙනෙක් නපුරු දෙයක් කළාම එකට එක කරන්න එපා.+ යහපත් දේ කරන්න. මිනිස්සු හැමෝම හොඳයි කියලා සලකන දේ ගැන හිතලා වැඩ කරන්න. 18  හැම කෙනෙක් එක්කම සමාදානයෙන් ඉන්න ඔයාලාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරන්න.+ 19  ආදරණීය සහෝදරයෙනි, පළිගන්න එපා. ඒ වෙනුවට වැරදි දේවල්වලට විරුද්ධව තමන්ගේ කේන්තිය පිට කරන්න දෙවියන්ට ඉඩ දෙන්න.+ ශුද්ධ ලියවිලිවල මෙහෙම ලියලා තියෙනවා. “‘වරදට දඬුවම් කරන්න අයිතිය තියෙන්නේ මටයි. මම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා’ කියලා යෙහෝවා* කියනවා.”+ 20  ඒත් “ඔයාගේ සතුරා බඩගින්නේ ඉන්නවා නම් එයාට කන්න දෙන්න. එයා තිබහෙන් ඉන්නවා නම් එයාට බොන්න දෙයක් දෙන්න. එහෙම කරන එක හරියට එයාගේ ඔළුව උඩ ගිනි අඟුරු ගොඩගහනවා වගේ.”*+ 21  නපුරු දේවල්වලට ඔයාලව පරාජය කරන්න ඉඩ දෙන්න එපා. යහපත් දේවල් කරලා නපුරු දේවල් පරාජය කරන්න.+

පාදසටහන්

මූ.අ., “පරිශුද්ධ සේවය.”
හෝ, “දෙවියන්ගේ කැමැත්ත.”
හෝ, “විශ්වාසය ඔයාලට බෙදලා දුන්නේ.”
මූ.අ., “තෑගි.”
හෝ, “යහපත් දේට ඇලිලා ඉන්න.”
හෝ, “එක් එක් කෙනාට ගෞරවය පෙන්නද්දී පෙරමුණ ගන්න.”
හෝ, “සහෝදරයන් අතරේ තියෙනවා වගේ ආදරයක්.”
උප. A5 බලන්න.
මූ.අ., “අඬන.”
උප. A5 බලන්න.
ඒ කියන්නේ ඒ කෙනාගේ දැඩි හිත මොළොක් කරනවා.