රෝමවරුන්ට 14:1-23

  • එකිනෙකාව විනිශ්චය කරන්න එපා (1-12)

  • වරදක් කරන්න තව කෙනෙක්ව පොලඹවන්න එපා (13-18)

  • සාමය, එකමුතුකම වෙනුවෙන් වැඩ කරන්න (19-23)

14  දුර්වල විශ්වාසයක් තියෙන කෙනෙක්ව* වුණත් ආදරෙන් පිළිගන්න.+ ඔයාලාගේ අදහස්වලට වඩා වෙනස් අදහස් තියෙන අයව විනිශ්චය කරන්න එපා.  ශක්තිමත් විශ්වාසයක් තියෙන කෙනෙක් ඕනෙම දෙයක් කනවා. ඒත් දුර්වල විශ්වාසයක් තියෙන කෙනෙක් කන්නේ එළවළු විතරයි.  ඕනෙම කෑමක් කන කෙනා එහෙම කරන්නේ නැති කෙනාව පහත් කරලා සලකන්න හොඳ නැහැ. හැම කෑමක්ම කන්නේ නැති කෙනා ඕනෙම කෑමක් කන කෙනාව විනිශ්චය කරන්න හොඳ නැහැ.+ මොකද දෙවියන් ඒ කෙනාව පිළි අරගෙනයි තියෙන්නේ.  වෙන කෙනෙක්ගේ සේවකයාව විනිශ්චය කරන්න ඔයාලට තියෙන අයිතිය මොකක්ද?+ එයා ඔයාගේ සේවකයෙක් නෙමෙයි දෙවියන්ගේ සේවකයෙක්. එයා කරන දේ හරිද වැරදිද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ එයාගේ ස්වාමියා වන දෙවියන්ට.+ යෙහෝවා* එයාට උදව් කරන නිසා ඔහු එයාව යහපත් කෙනෙක් විදිහට පිළිගන්නවා.  සමහරු හිතනවා සමහර දවස් අනිත් දවස්වලට වඩා විශේෂයි කියලා.+ තවත් අය හිතනවා හැම දවසක්ම එක වගේ, ඒකේ විශේෂත්වයක් නැහැ කියලා.+ කොහොම හිතුවත් කාටවත් තමන් විශ්වාස කරන දේ ගැන කිසිම සැකයක් තියෙන්න බැහැ.  අනිත් දවස්වලට වඩා එක දවසකට විශේෂත්වයක් දෙන අය එහෙම කරන්නේ යෙහෝවාව* ගෞරවයට පත් කරන්න. ඕනෙම කෑමක් කන අය එහෙම කරන්නේ යෙහෝවාව* ගෞරවයට පත් කරන්න. මොකද කෑම දුන්න එක ගැන එයාලා දෙවියන්ට ස්තුති කරනවා.+ කෑම කන්නේ නැතුව ඉන්න අයත් එහෙම කරන්නේ යෙහෝවාව* ගෞරවයට පත් කරන්න. එයාලත් දෙවියන්ට ස්තුති කරනවා.+  අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් නෙමෙයි.+ අපි මැරෙන්නෙත් අපි වෙනුවෙන් නෙමෙයි.  මොකද අපි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ යෙහෝවා* වෙනුවෙන්.+ අපිට මැරෙන්න වුණොත් අපි මැරෙන්නේ යෙහෝවා* වෙනුවෙන්. ඉතින් අපි ජීවත් වුණත් මැරුණත් අපිව අයිති යෙහෝවාටයි.*+  ඇත්තටම ක්‍රිස්තුස් මැරුණෙත් ඔහු ආයේ ජීවත් වුණෙත් මැරුණ අයගේ වගේම ජීවත් වෙන අයගේ ස්වාමියා වෙන්නයි.+ 10  ඇයි ඔයාලා ඔයාලාගේ සහෝදරයාව විනිශ්චය කරන්නේ?+ ඇයි ඔයාලාගේ සහෝදරයාව පහත් කරලා සලකන්නේ? අපි හැමෝටම දෙවියන් ඉස්සරහට යන්න වෙනවා. එදාට ඔහු අපිව විනිශ්චය කරයි.*+ 11  ශුද්ධ ලියවිලිවල මෙහෙම ලියලා තියෙනවා. “‘ජීවමාන දෙවියන් වන මම මං ගැනම දිවුරලා කියන්නේ+ හැමෝම මට දණ නමයි. මම දෙවියන් කියලා හැමෝම පිළිගනියි.’+ එහෙම කියන්නේ යෙහෝවායි.”* 12  ඒ කියන්නේ අපි හැම කෙනෙක්ටම අපි කරන කියන දේවල් ගැන දෙවියන්ට උත්තර දෙන්න වෙනවා.+ 13  ඉතින් එකිනෙකාව විනිශ්චය කරන එක දැන් නතර කරන්න.+ සහෝදරයෙක්ගේ විශ්වාසය දුර්වල වෙන්න හේතු වෙන දෙයක්වත් එයාව වරදක් කරන්න පොලඹවන දෙයක්වත්* නොකර ඉන්න අධිෂ්ඨාන කරගන්න.+ 14  ස්වාමීන් වන යේසුස්ගේ අනුගාමිකයෙක් වන මට සහතිකවම කියන්න පුළුවන් අපි කන කිසිම දෙයක් අපවිත්‍ර නැහැ කියලා.+ ඒත් මොකක් හරි කෑමක් අපවිත්‍රයි කියලා කෙනෙක් හිතනවා නම් එයා ඒක කන එක වැරදියි.* 15  ඔයා කන කෑම ඔයාගේ සහෝදරයාට ප්‍රශ්නයක් වෙනවා නම් ඔයා ආදරෙන් වැඩ කරන කෙනෙක් කියලා තවත් කියන්න බැහැ.+ ඒ කෙනා වෙනුවෙනුත් ක්‍රිස්තුස් මැරුණා කියලා මතක තියාගන්න. කන කෑමක් නිසා එයාගේ විශ්වාසය නැති කරන්න එපා.+ 16  ඔයාලා කරන දෙයක් හරියි කියලා ඔයාලා දන්නවා වෙන්න පුළුවන්. ඒත් ඒක කරන එකෙන් අනිත් අය ඔයාලට දොස් කියන්න ඉඩ තියෙනවා කියලා හිතනවා නම් ඒක නොකර ඉන්න. 17  කෙනෙක් දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ එයා කන බොන දේවල් නිසා නෙමෙයි.+ දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් කෙනෙක් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන, සතුටින් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එයා අනිත් අය එක්ක සමාදානයෙන් ඉන්නත් ඕනේ. ඒ හැම දෙයක්ම ලැබෙන්නේ දෙවියන්ගේ බලය මාර්ගයෙන්. 18  ක්‍රිස්තුස්ගේ දාසයෙක් විදිහට ඒ වගේ ජීවිතයක් ගත කරන කෙනෙක්ව දෙවියන් පිළිගන්නවා. මිනිස්සුත් එයාට ගෞරව කරයි. 19  ඉතින් සාමය ඇති කරන්නත්+ එකිනෙකාව ශක්තිමත් කරන්නත් අපිට කරන්න පුළුවන් හැම දේම කරමු.+ 20  දෙවියන් ගොඩනඟලා තියෙන දේ කෑම ටිකක් නිසා කඩලා දාන එක දැන් නතර කරන්න.+ ඇත්ත, ඕනෙම කෑමක් කන එකේ වරදක් නැහැ.* ඒත් කෙනෙක් කෑමට ගන්න දෙයක් නිසා තවත් කෙනෙක්ගේ විශ්වාසය දුර්වල වෙනවා නම්* ඒක කන එක වැරදියි.+ 21  මස් කන එකෙන්, වයින් බොන එකෙන් නැත්නම් වෙන මොනවා හරි දෙයක් කරන එකෙන් ඔයාලාගේ සහෝදරයාගේ විශ්වාසය දුර්වල වෙනවා නම්* ඔයාලා ඒ දේවල් කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම දේ.+ 22  ඒ වගේ කාරණා ගැන ඔයාලා එක් එක් කෙනා විශ්වාස කරන දේ ඔයාලයි, දෙවියනුයි අතරේ තියෙන දෙයක්. ඔයාලා හරියි කියලා හිතන දේ* කළාට පස්සේ හිත දොස් කියන්නේ නැත්නම් ඒ ගැන සතුටු වෙන්න ඔයාලට පුළුවන්. 23  ඒත් කෑමක් ගැන කෙනෙක්ගේ හිතේ සැකයක් තියෙද්දීත් එයා ඒක කෑවොත් එයා වැරදිකරුවෙක් වෙනවා. මොකද එයා වැඩ කළේ එයාගේ විශ්වාසයට එකඟව නෙමෙයි. අපේ විශ්වාසයට එකඟ නැතුව අපි කරන ඕනෙම දෙයක් වැරදියි.

පාදසටහන්

හෝ, “විශ්වාසයේ යම් දුර්වලකම් ඇති කෙනෙක්ව.” ඒ කියන්නේ තමන්ගේ විශ්වාසයට එකඟව කරන්න පුළුවන් මොනවාද කියලා හරියට තේරුම් අරන් නැති කෙනෙක්.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
මූ.අ., “අපි හැමෝටම දෙවියන්ගේ විනිශ්චයාසනය ඉස්සරහට යන්න වෙනවා.”
උප. A5 බලන්න.
මූ.අ., “සහෝදරයෙක්ගේ පය පැටලිලා වැටෙන්න හේතු වෙන දෙයක් හරි ගමනට බාධා වෙන දෙයක් හරි.”
මූ.අ., “ඒක එයාට අපවිත්‍රයි.”
මූ.අ., “හැම දෙයක්ම පවිත්‍රයි.”
මූ.අ., “පය පැටලිලා වැටෙන්න හේතු වෙනවා නම්.”
මූ.අ., “සහෝදරයාගේ පය පැටලිලා වැටෙන්න හේතු වෙනවා නම්.”
හෝ, “විශ්වාස කරන දේ.”