රෝමවරුන්ට 15:1-33

  • ක්‍රිස්තුස් වගේ එකිනෙකාව ආදරෙන් පිළිගන්න (1-13)

  • පාවුල් ජාතීන් වෙනුවෙන් සේවය කළා (14-21)

  • පාවුල්ගේ ගමන් සැලසුම් (22-33)

15  ඉතින් ශක්තිමත් විශ්වාසයක් තියෙන අපි,* ඒ තරම් ශක්තිමත් විශ්වාසයක් නැති අයගේ+ දුර්වලකම් තේරුම් අරන් වැඩ කරන්න ඕනේ. අපි හිතන්න ඕනෙ අපිවම සතුටු කරගන්න එක ගැන නෙමෙයි.+  අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනෙ අපේ අසල්වැසියාගේ සතුට ගැන හිතලා එයා වෙනුවෙන් යහපත් දේවල් කරන්නයි. එයාව ශක්තිමත් කරන්න ඒකෙන් පුළුවන් වෙයි.+  ක්‍රිස්තුස් පවා දේවල් කළේ තමන්ගේ සතුට ගැන හිතලා නෙමෙයි.+ ඔහු ගැන ශුද්ධ ලියවිලිවල කියලා තිබුණේ මෙහෙමයි. “ඔබට නින්දා කරන අයගේ නින්දා අපහාස වැටුණේ මං පිටටයි.”+  අතීතයේ ලියලා තියෙන හැම දෙයක්ම ලිව්වේ අපිට උගන්නන්න.+ ශුද්ධ ලියවිලිවල තියෙන දේවල් අපිට විඳදරාගන්න උදව් කරනවා.+ අපිව සනසවනවා. ඒකෙන් අපිට බලාපොරොත්තුවක් ලැබෙනවා.+  ඔයාලට විඳදරාගන්න උදව් කරන්නෙත් සැනසිල්ල ලබා දෙන්නෙත් දෙවියන්. ක්‍රිස්තුස් යේසුස් හිතපු විදිහටම හිතන්න ඔයාලට උදව් කරන්න කියලා මම දෙවියන්ට යාච්ඤා කරනවා.  එතකොට ඔයාලා හැමෝටම පුළුවන් වෙයි අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තාත්තාට ඒ කියන්නේ දෙවියන්ට එක්සත්ව,+ එක හඬින් ප්‍රශංසා කරන්න.  ක්‍රිස්තුස් ඔයාලව ආදරෙන් පිළිගත්ත විදිහට+ ඔයාලත් එකිනෙකාව ආදරෙන් පිළිගන්න.+ එහෙම කරන එකෙන් දෙවියන්ට ගෞරවයක් ගේන්න ඔයාලට පුළුවන්.  ක්‍රිස්තුස් චර්මච්ඡේදනය වුණ අයගේ සේවකයෙක් වුණා+ කියලා ඔයාලා දැනගන්නවාට මම කැමතියි. ඔහු එහෙම කළේ දෙවියන් හැම වෙලේම සත්‍යය කතා කරනවා කියලත් එයාලාගේ මුතුන්මිත්තන්ට දුන්න පොරොන්දු ගැන විශ්වාසය තියන්න පුළුවන් කියලත් ඔප්පු කරන්නයි.+  ඒ වගේම දෙවියන් පෙන්නපු දයාව නිසා ඔහුව ගෞරවයට පත් කරන්න වෙනත් ජාතීන්ට අයිති අයට පුළුවන් වෙන්නයි.+ ශුද්ධ ලියවිලිවල මෙහෙම ලියලා තියෙනවා. “ජාතීන් අතරේ මම ඔබට ප්‍රසිද්ධියේ ගෞරව කරන්නෙත් ඔබේ නමට ප්‍රශංසා ගී ගයන්නෙත් ඒ නිසයි.”+ 10  මෙහෙමත් ලියලා තියෙනවා. “ජනයෙනි, දෙවියන්ගේ සෙනඟ එක්ක සතුටු වෙන්න.”+ 11  තවත් තැනක මෙහෙම ලියලා තියෙනවා. “සියලු ජාතීන්ට අයිති ජනයෙනි, යෙහෝවාට* ප්‍රශංසා කරන්න. සියලු ජනයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.”+ 12  යෙසායාත් මෙහෙම කියනවා. “යෙස්සේගේ මුල නැඟිට සිටියි.+ ඔහු එන්නේ ජාතීන්ව පාලනය කරන්නයි.+ ජාතීන් ඔහු ගැන බලාපොරොත්තු තියයි.”+ 13  බලාපොරොත්තුවක් දෙන දෙවියන් ගැන ඔයාලට විශ්වාසයක් තියෙන නිසා ඔයාලාගේ හදවත් සතුටින්, සමාදානයෙන් පුරවන්න කියලා මම යාච්ඤා කරනවා. එතකොට දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඔයාලාගේ බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් වෙයි.+ 14  මගේ සහෝදරයෙනි, ඕනෙම වෙලාවක යහපත් දේවල් කරන්න ඔයාලා ලෑස්තියි කියලත් ඔයාලට හොඳ දැනුමක් තියෙනවා කියලත් එකිනෙකාට උගන්නන්න* ඔයාලට පුළුවන් කියලත් මට කිසිම සැකයක් නැහැ. 15  ඒත් සමහර කාරණා ගැන මම කෙළින් ඔයාලට කිව්වේ ඒ දේවල් ගැන ඔයාලට මතක් කරන්නයි. මම එහෙම කරන්නේ දෙවියන් මට පෙන්නපු මහත් කරුණාව නිසයි. 16  මට ඒ කරුණාව ලැබුණේ ක්‍රිස්තුස් යේසුස්ගේ සේවකයෙක් විදිහට ජාතීන්ට+ දෙවියන්ගේ ශුභාරංචිය ගැන කියන්නයි.+ මට භාර දුන්න ඒ ශුද්ධ වැඩේ මම කරන්නේ වෙනත් ජාතීන්ට අයිති මේ සෙනඟව දෙවියන්ගේ බලයෙන් පවිත්‍ර කරලා දෙවියන්ට සතුටක් ගේන පූජාවක් විදිහට ඔප්පු කරන්න පුළුවන් වෙන්නයි. 17  ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ලැබුණ එක ගැනත් දෙවියන් භාර දුන්න වැඩේ කරන්න ලැබුණ එක ගැනත් මට දැනෙන්නේ ලොකු සතුටක්. 18  මං කතා කරන්නේ මං කරපු දේවල් ගැන නෙමෙයි ක්‍රිස්තුස් මාව පාවිච්චි කරලා කරපු, කියපු දේවල් ගැනයි. ඔහු මාව පාවිච්චි කරලා ඒ දේවල් කළේ වෙනත් ජාතීන්ට අයිති අයට ඔහුට කීකරු වෙන්න උදව් කරන්නයි. 19  ඒ අය කීකරු වුණේ දෙවියන් ඔහුගේ බලයෙන් කරපු බලවත් ආශ්චර්යයන් සහ පුදුම දේවල්+ දැකපු නිසයි. ඒ විදිහට ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය මම යෙරුසලමේ ඉඳන් ඉලිරිකම වෙන කල් අස්සක් මුල්ලක් නෑර දේශනා කළා.+ 20  මම උත්සාහ කළේ ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය දැනටමත් අහලා තියෙන ප්‍රදේශවලට යන්නේ නැතුව ඉන්න. එතකොට තවත් කෙනෙක් පටන්ගත්ත වැඩක් කරගෙන යන්න මට සිද්ධ වෙන්නේ නැහැ.* 21  මොකද ශුද්ධ ලියවිලිවල මෙහෙම ලියලා තියෙනවා. “ඔහු ගැන කිසිම දෙයක් අහන්න ලැබුණේ නැති අය ඔහුව දකියි. ඔහු ගැන අහලා තිබුණේ නැති අය තේරුම්ගනියි.”+ 22  ඒ නිසයි කීප සැරයක්ම ඔයාලව හම්බ වෙන්න එන්න හැදුවත් මට එන්න බැරි වුණේ. 23  ඒත් දැන් ඒ ප්‍රදේශවල මං දේශනා කරලා නැති තැනක් නැහැ. ඒ නිසයි අවුරුදු කීපයක් තිස්සේ ඔයාලව හම්බ වෙන්න එන්න මං ආසාවෙන් ඉන්නේ. 24  ඉතින් මං ස්පාඤ්ඤයට යන ගමනේදී ඔයාලවත් බලන්න එන්න හිතාගෙන ඉන්නවා. ටික කාලයක් ඔයාලා එක්ක සතුටින් ඉඳලා මං ස්පාඤ්ඤයට පිටත් වෙලා යද්දී මාව ඇරලවන්න ඔයාලා ටික දුරක් මාත් එක්ක එයි කියලා මං හිතනවා. 25  ඒත් දැන් මං ලෑස්ති වෙන්නේ යෙරුසලමේ ඉන්න ශුද්ධ අයට උදව්* කරන්න එහෙට යන්න.+ 26  මැසිඩෝනියාවේ සහ ඇකේයාවේ ඉන්න අය තමන්ට තියෙන දේවල්වලින් යෙරුසලමේ අගහිඟකම් තියෙන සහෝදරයන්* වෙනුවෙන් සම්මාදමක් දෙන්න සතුටු වුණා.+ 27  ඒ සහෝදරයන් ඒ දේ කළේ ලොකු සතුටකින්. මොකද එයාලට හැඟුණේ යෙරුසලමේ ඉන්න සහෝදරයන්ට එයාලා ණයගැතියි කියලා. යෙරුසලමේ ඉන්න සහෝදරයන් තමන්ට දෙවියන්ගෙන් ලැබුණ හැම දෙයක්ම වෙනත් ජාතීන්ට අයිති අය එක්ක බෙදාගත්තා. ඒ නිසයි එයාලට තියෙන දේවල්වලින් යෙරුසලමේ ඉන්න සහෝදරයන්ට උදව්* කරන්න එයාලා පෙලඹුණේ.+ 28  ඉතින් මම ගිහින් සම්මාදම් විදිහට ලැබුණ දේවල් යෙරුසලමේ අයට භාර දුන්නාට පස්සේ මම ස්පාඤ්ඤයට යන්න පිටත් වෙනවා. ඒ ගමන අතරමඟදී ඔයාලව බලන්න එන්නම්. 29  මම දන්නවා මං ඔයාලව බලන්න එන්නේ ක්‍රිස්තුස් ලබා දෙන ආශීර්වාද ගොඩක් අරගෙන කියලා. 30  සහෝදරයෙනි, අපිට අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන තියෙන විශ්වාසය නිසාත් එකිනෙකාට ආදරේ කරන්න දෙවියන්ගේ බලය අපිව පොලඹවන නිසාත් මං වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන්න කියලා මම ඔයාලාගෙන් ඉල්ලනවා. මාත් ඒ දේ කරනවා. ඔයාලත් ඒක කරන්න.+ 31  යේසුස් ගැන විශ්වාසයක් නැති, යුදයේ ඉන්න අයගෙන් මාව බේරගන්න+ කියලත් මම අරන් යන මේ සම්මාදම් යෙරුසලමේ ඉන්න සහෝදරයන්ට සතුටින් භාරගන්න පුළුවන් වෙන්න කියලත් යාච්ඤා කරන්න.+ 32  එතකොට ඔයාලව බලන්න මට එන්න පුළුවන් වෙයි. ඒක දෙවියන්ගේ කැමැත්ත නම් මං හරිම සතුටින් ඔයාලව බලන්න එනවා. අපිට පුළුවන් වෙයි එකට එකතු වෙලා හොඳ දිරිගැන්වීමක් ලබන්න. 33  සමාදානය ලබා දෙන දෙවියන්ගේ ආශීර්වාද ඔයාලා හැමෝටම ලැබේවා!+ ආමෙන්.

පාදසටහන්

ඒ කියන්නේ තමන් විශ්වාස කරන දේවල් ගැන පුළුල්ව හිතන අය.
උප. A5 බලන්න.
හෝ, “එකිනෙකාව නිවැරදි කරන්න.”
මූ.අ., “තවත් කෙනෙක් දාපු අත්තිවාරමක් උඩ ගොඩනඟන්න මට සිද්ධ වෙන්නේ නැහැ.”
හෝ, “සේවය.”
මූ.අ., “ශුද්ධ අය.”
හෝ, “සේවය.”