රෝමවරුන්ට 2:1-29

  • යුදෙව්වන්ටයි, ග්‍රීකයන්ටයි දෙවියන් දෙන විනිශ්චය (1-16)

    • හෘද සාක්ෂිය වැඩ කරන විදිහ (14, 15)

  • යුදෙව්වන් සහ නීතිය (17-24)

  • සැබෑ චර්මච්ඡේදනය (25-29)

2  ඉතින් ඔයාලා කවුරු වුණත් අනිත් අයව විනිශ්චය කරන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ.+ මොකද ඒ අය කරන දේවල්ම ඔයාලත් කරනවා. ඒ නිසා එයාලව විනිශ්චය කරද්දී ඔයාලා කරන්නේ ඔයාලත් වරදකරුවන් කියලා ඔප්පු කරන එකයි.+  කලින් කියපු දේවල් කරන අයව දෙවියන් විනිශ්චය කරද්දී ඔහු තීන්දුවක් දෙන්නේ සත්‍ය තොරතුරුවලට එකඟවයි කියලා* අපි දන්නවා.  ඔයාලා කරන දේවල්ම කරන අයව ඔයාලා විනිශ්චය කරනවා නම් දෙවියන්ගේ විනිශ්චයෙන් ඔයාලට බේරෙන්න පුළුවන් කියලා හිතනවාද?  දෙවියන් ඔයාලට කොයි තරම් කරුණාවක්+ පෙන්නනවාද! ඔයාලා එක්ක කේන්ති ගන්නේ නැතුව+ කොච්චර ඉවසීමකින්+ වැඩ කරනවාද! ඒ ගැන ඔයාලට කිසිම ගාණක් නැද්ද? දෙවියන් මෙච්චර ආදරෙන් දේවල් කරන්නේ ඔයාලට පසුතැවිලි වෙන්න උදව් කරන්නයි+ කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද?  ඔයාලාගේ තියෙන මුරණ්ඩුකම නිසා පසුතැවිලි වෙන්න අකමැති වෙද්දී දෙවියන්ගෙන් දඬුවම් ලබන්න ඔයාලා සුදුසුයි කියලා ඔයාලා පෙන්නනවා. ඔහු ධර්මිෂ්ඨ විනිශ්චයක් ලබා දීලා තමන්ගේ කේන්තිය පිට කරන දවසේදී අනිවාර්යයෙන්ම ඔයාලට දඬුවම් කරයි.+  එක් එක් කෙනා කරපු දේවල්වලට අනුව ඔහු එයාලට ආශීර්වාද හරි දඬුවම් හරි කරයි.+  අත්හරින්නේ නැතුව දිගටම යහපත් දේ කරන අයට ඔහු සදාකාල ජීවනය දෙනවා. ඒ වගේ අය උත්සාහ කරන්නේ දෙවියන් දෙන තේජස, ගෞරවය සහ කවදාවත් විනාශ වෙන්නේ නැති* ශරීරයක් ලබාගන්න.+  ඒත් වාදවිවාද කරන්න කැමති අයටත් සත්‍ය මාර්ගයේ ගමන් කරනවා වෙනුවට අධර්මිෂ්ඨ දේවල් කරන අයටත් විරුද්ධව දෙවියන් තමන්ගේ කේන්තිය, තරහ පිට කරනවා.+  කෙනෙක් යුදෙව්වෙක් වුණත් ග්‍රීකයෙක්* වුණත් හානිකර දේවල් කරන ඕනෙම කෙනෙක්ට හරිම දුෂ්කර, අමාරු දේවල්වලට මූණ දෙන්න වෙනවා. 10  ඒත් යහපත් දේ කරන හැමෝටම දෙවියන් තේජසත් ගෞරවයත් ලබා දෙනවා. ඔහුත් එක්ක සමාදානයෙන් ඉන්නත් එයාලට පුළුවන් වෙනවා. ඒ අවස්ථාව මුලින්ම යුදෙව්වන්ටත්+ ඊටපස්සේ ග්‍රීකයන්ටත්+ ලැබුණා. 11  මොකද දෙවියන් හැමෝටම සලකන්නේ එකම විදිහට.+ 12  දෙවියන්ගේ නීතිය ගැන දන්නේ නැතුව වැරදි කරන අයත් මැරෙනවා. එයාලා නීතිය ගැන දැනගෙන හිටියේ නැහැ කියලා මරණයෙන් ගැලවීමක් නැහැ.+ ඒත් නීතිය ගැන දන්න අය වැරදි කරද්දී එයාලව ඒ නීතියට අනුව විනිශ්චය කරනවා.+ 13  මොකද කෙනෙක් නීතියේ තියෙන දේවල් අහගෙන හිටියා කියලා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. නීතියේ තියෙන දේ පිළිපදින අයව තමයි දෙවියන් ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරන්නේ.+ 14  වෙනත් ජාතීන්ට අයිති අය දෙවියන්ගේ නීතිය ගැන දන්නේ නැති වුණත්+ නීතියේ තියෙන දේවල් එයාලා ඉබේම* කරනවා. ඒකෙන් පේන්නේ එයාලාගේ හිත්වල නීතියක් තියෙනවා කියලයි. 15  නීතියෙන් උගන්නන දේවල් එයාලාගේ හිත්වල ලියලා තියෙනවා කියලා එයාලා වැඩ කරන විදිහෙන් පේනවා. එයාලා කරන දේ හරිද වැරදිද කියලා එයාලාගේ හෘද සාක්ෂිය එයාලට දන්නනවා. එයාලාගෙම සිතුවිලි එක්කෝ එයාලට දොස් කියනවා එහෙම නැත්නම් එයාලා වරදක් කළේ නැහැ කියලා දන්නනවා. 16  මිනිස්සු රහසින් කරන දේවල්+ දෙවියන් විනිශ්චය කරන දවසේදී ඒ හැම දෙයක්ම පැහැදිලි වෙයි. ඒ විනිශ්චය කරන්න දෙවියන් භාර දීලා තියෙන්නේ ක්‍රිස්තුස් යේසුස්ට. මම දැනුම් දෙන ශුභාරංචියට ඒ හැම දෙයක්ම ඇතුළත්. 17  යුදෙව්වන් කියලා කියන ඔයාලාගෙන්+ සමහරදෙනෙක් විශ්වාසය තියන්නේ නීතිය ගැන. දෙවියන් එක්ක ඔයාලට තියෙන බැඳීම ගැන ඔයාලා මහ ඉහළින් කතා කරනවා. 18  නීතියේ තියෙන දේවල් ඔයාලට උගන්නලා තියෙන නිසා+ දෙවියන්ගේ කැමැත්ත ගැන ඔයාලට අවබෝධයක් තියෙනවා. හරි දේත් ඔයාලා පිළිගන්නවා. 19  අන්ධයන්ට මඟ පෙන්නන්නත් අන්ධකාරයේ ඉන්න අයට ආලෝකයක් වෙන්නත් ඔයාලට පුළුවන් කියලා ඔයාලා විශ්වාස කරනවා. 20  නීතියේ තියෙන මූලික ඉගැන්වීම් සහ සත්‍යයන් ගැන අවබෝධයක් තියෙන නිසා ඔයාලා හිතනවා මෝඩයන්ව නිවැරදි කරන්නත් පොඩි දරුවන්ට උගන්නන්නත් ඔයාලට පුළුවන් කියලා. 21  ඔයාලා අනුන්ට ඉගැන්නුවාට ඒ උගන්නන දේවල් ඔයාලා පිළිපදිනවාද?+ ඔයාලා දේශනා කරනවා “හොරකම් කරන්න එපා” කියලා.+ ඒත් ඔයාලා හොරකම් කරනවාද? 22  “අනාචාරයේ* යෙදෙන්න එපා” කියලා කියන ඔයාලම අනාචාරයේ යෙදෙනවාද?+ ඔයාලා රූප පිළිකුල් කරනවා කියලා කිව්වාට දේවාලවලින් හොරකම් කරනවාද? 23  දෙවියන්ගේ නීතිය ගැන දන්න නිසා ඔයාලා හරිම ආඩම්බරයි. ඒත් නීතියේ තියෙන දේවල් කඩ කරලා ඔයාලා දෙවියන්ට අගෞරව කරනවාද? 24  ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන විදිහටම+ “ඔයාලා කරන දේවල් නිසා වෙනත් ජාතීන්ට අයිති අය දෙවියන්ගේ නමට අපහාස කරනවා.” 25  චර්මච්ඡේදනය+ වෙන එකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ නීතියේ තියෙන දේවල් පිළිපදිනවා නම් විතරයි.+ ඒත් නීතියේ තියෙන දේවල් කඩ කරනවා නම් ඔයාලා චර්මච්ඡේදනය වෙලා හිටියත් ඒකෙන් වැඩක් නැහැ. 26  චර්මච්ඡේදනය වෙලා නැති කෙනෙක්+ නීතියේ කියලා තියෙන විදිහට හරි දේ කරනවා නම් දෙවියන් එයාව චර්මච්ඡේදනය වෙලා තියෙන කෙනෙක් විදිහට සලකන්නේ නැද්ද?+ 27  චර්මච්ඡේදනය ගැනයි, නීතියේ තියෙන දේවල් ගැනයි ඔයාලට උගන්නලා තිබුණාට ඔයාලා ඒවා පිළිපදින්නේ නැහැ. ඉතින් චර්මච්ඡේදනය වෙලා නැති කෙනෙක් නීතියේ තියෙන දේවල් පිළිපදිද්දී ඔයාලා වැරදිකරුවන් කියලා ඒ කෙනා ඔප්පු කරනවා. 28  කෙනෙක් සැබෑ යුදෙව්වෙක් වෙන්නේ පිටින් පේන දෙයක් නිසා නෙමෙයි.+ එහෙමනම් චර්මච්ඡේදනය වෙන එකටත් නිකම්ම ශරීරයට කරන දේට වඩා දෙයක් ඇතුළත් වෙන්න ඕනේ.+ 29  කෙනෙක්ගේ හදවතේ තියෙන දේට අනුව තමයි එයා සැබෑ යුදෙව්වෙක් වෙන්නේ.+ සැබෑ චර්මච්ඡේදනය හදවතේ සිද්ධ වෙන දෙයක්.+ ඒක වෙන්නේ දෙවියන්ගේ බලය මාර්ගයෙන් මිසක් නීතියේ තියෙන දේවල් පිළිපදින එකෙන් නෙමෙයි.+ ඒ කෙනාට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිස්සුන්ගෙන් නෙමෙයි දෙවියන්ගෙන්.+

පාදසටහන්

හෝ, “ඔහු දෙන තීන්දුව සාධාරණයි කියලා.”
මූ.අ., “කවදාවත් කුණු වෙන්නේ නැති.”
මේ පදයේ සහ ඊළඟ පදයේ “ග්‍රීකයෙක්” කියද්දී අදහස් කරන්නේ යුදෙව් නොවන අයව.
හෝ, “සහජයෙන්ම.”
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.