රෝමවරුන්ට 3:1-31

  • “දෙවියන් කතා කරන්නේ ඇත්ත” (1-8)

  • යුදෙව්වන් වගේම ග්‍රීකයනුත් පාපයට යටත් (9-20)

  • විශ්වාසය නිසා ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරනවා (21-31)

    • දෙවියන්ගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පෙන්නන්න හැමෝම අසමත් වෙනවා (23)

3  ඉතින් යුදෙව්වෙක් වුණා කියලා තියෙන වාසිය මොකක්ද? චර්මච්ඡේදනය වෙන එකේ තියෙන ප්‍රයෝජනේ මොකක්ද?  ඇත්තටම ගොඩක් ප්‍රයෝජන තියෙනවා. දෙවියන් යුදෙව්වන්ට ඔහුගේ ශුද්ධ වචන භාර දුන්නා.+ ඒක තමයි පළවෙනි ප්‍රයෝජනේ.  ඒත් සමහරුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ. එයාලට විශ්වාසයක් නැහැ කියන එකෙන් අදහස් කරනවාද දෙවියන් ගැනත් විශ්වාසය තියන්න බැහැ කියලා?  කොහොමටවත් එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු හැමෝම බොරුකාරයන් කියලා ඔප්පු වුණත්+ දෙවියන් කතා කරන්නේ ඇත්ත කියලා අනිවාර්යයෙන්ම ඔප්පු වෙනවා.+ “ඔබ කියපු දේ හරියි කියලත් ඔබට චෝදනා කරද්දී ඔබ නිදොස් කියලත් ඔප්පු වෙනවා”+ කියලා ශුද්ධ ලියවිලිවලත් ලියලා තියෙනවා.  අපි කරන අධර්මිෂ්ඨ දේවලින් දෙවියන් හරියි කියන දේ* තවත් පැහැදිලි වෙනවා නම් දෙවියන් ඔහුගේ කේන්තිය පිට කරද්දී ඔහු කරන්නේ අසාධාරණයක් කියලා කියන්න පුළුවන්ද? (මං මේ කියන්නේ සමහරු හිතන දේ.)  ඔහු අසාධාරණයක් කරනවා කියලා කීයටවත් කියන්න බැහැ. දෙවියන් අසාධාරණයි නම් ඔහු කොහොමද ලෝකය විනිශ්චය කරන්නේ?+  සමහරු මේ විදිහට අහනවා. ‘මම කියන බොරුවෙන් දෙවියන් කියන දේ ඇත්ත කියලා තවත් පැහැදිලි වෙනවා නම්, දෙවියන්ට තව ගෞරවය ලැබෙනවා නම්, ඇයි මට පව්කාරයෙක් කියලා කියන්නේ?’  අපිටත් කියන්න බැරිද “නරක දේවල් කරමු. අන්තිමේදී ඒකෙන් හොඳක් වෙයි” කියලා? අපි එහෙම කියනවා කියලා සමහරු බොරුවට චෝදනාත් කරනවානේ. එහෙම චෝදනා කරන අයව විනිශ්චය කරනවා. එයාලට ලැබෙන විනිශ්චය සාධාරණයි.+  එහෙමනම් යුදෙව්වන් වන අපි අනිත් අයට වඩා ඉහළ තැනක ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද? කොහොමටවත් බැහැ. අපි පැහැදිලි කරපු විදිහට යුදෙව්වන් වුණත් ග්‍රීකයන් වුණත් අපි දෙගොල්ලන්ම පාපයට යටත්.+ 10  ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන විදිහට “ධර්මිෂ්ඨ කෙනෙක් නැහැ. එක් කෙනෙක්වත් නැහැ.+ 11  අවබෝධයෙන් වැඩ කරන කිසිම කෙනෙක් නැහැ. දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන කිසිම කෙනෙක් නැහැ. 12  හැමෝම හරි දේ කරන එක අත්හැරලා ගිහින්. එයාලා කිසි වැඩකට නැති අය වෙලා. අනිත් අයට කරුණාවෙන් සලකන කිසිම කෙනෙක් නැහැ. එක් කෙනෙක්වත් නැහැ.”+ 13  “එයාලාගේ කටවල් ඇරලා දාපු සොහොනක් වගේ. එයාලා කියන දේවලින් අනිත් අයව රවට්ටනවා.”+ “එයාලාගේ කටින් පිට වෙන වචන සර්ප විෂ වගේ මාරාන්තිකයි.”+ 14  “එයාලාගේ කටින් පිට වෙන්නෙම ශාප සහ වෛරයෙන් පිරුණ වචන.”+ 15  “ලේ හලන්න එයාලා දුවලා යනවා.”+ 16  “එයාලා යන්නේ හානියක් සහ විනාශයක් කරන්නයි. 17  සමාදානයට යන මාර්ගය ගැන එයාලා දන්නෙවත් නැහැ.”+ 18  “දෙවියන් ගැන එයාලට කිසිම ගෞරවයක්* නැහැ.”+ 19  නීතිය යටතේ ඉන්න අය නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්න ඕනෙ කියලා අපි දන්නවා. නීතිය දුන්නේ කාටවත් තමන් නිර්දෝෂයි කියලා කියන්න බැරි වෙන්නයි. මුළු ලෝකයම දෙවියන් ඉස්සරහා වරදකරුවන් කියලත් දඬුවම් ලබන්න සුදුසුයි කියලත් නීතියෙන් පැහැදිලි වෙනවා.+ 20  ඉතින් නීතියේ කියලා තියෙන හැම දෙයක්ම ඒ විදිහටම පිළිපැද්දා කියලා දෙවියන් කෙනෙක්ව ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ.+ ඇත්තටම නීතියෙන් කරන්නේ පාපය කියන්නේ මොකක්ද කියලා අපිට තව හොඳින් තේරුම්ගන්න උදව් කරන එකයි.+ 21  නීතිය පිළිපදින්නේ නැති කෙනෙක්ට වුණත් දෙවියන් ඉස්සරහා හරි දේ කරන* කෙනෙක් වෙන්න පුළුවන් කියලා දෙවියන් දැන් පැහැදිලි කරලා තියෙනවා.+ ඒ ගැන නීතියේ වගේම අනාගතවක්තෘවරුනුත් කියලා තිබුණා.+ 22  කෙනෙක්ගේ ජාතිය, පසුබිම මොකක් වුණත්+ ඒ කෙනාට විශ්වාසයක් ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසයක් තියෙනවා නම් එයාට දෙවියන් ඉස්සරහා හරි දේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. 23  හැම කෙනෙක්ටම පාපය උරුම වෙලා තියෙන නිසා දෙවියන්ගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග* තමන්ගේ ජීවිතවලින් පෙන්නන්න හැමෝම අසමත් වෙනවා.+ 24  ඒ වුණත් දෙවියන් ඔහුගේ මහත් කරුණාව පෙන්නලා+ එයාලා ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කළා. ඒක දෙවියන්ගෙන් නොමිලේ ලැබුණ තෑග්ගක්.+ ඒ කරුණාව ඔහු පෙන්නුවේ මිනිස්සුන්ව බේරගන්න* අවශ්‍ය වන්දිය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ගෙවන්න සැලසුම් කරලයි.+ 25  දෙවියන් එක්ක අපිට ආයෙත් සමාදාන වෙන්න* ඔහු ක්‍රිස්තුස්ව පූජාවක් විදිහට දුන්නා. ක්‍රිස්තුස් තමන්ගෙම ලේ හලලා ඔප්පු කරපු ඒ පූජාව ගැන විශ්වාසය තියන අයට+ දෙවියන් එක්ක සමාදාන වෙන්න පුළුවන්.+ දෙවියන් එහෙම කළේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව තමන් වැඩ කරනවා කියලා පෙන්නන්නයි. ඔහු හරිම ඉවසීමෙන් වැඩ කරලා අතීතයේ වැරදි කරපු අයට සමාව දීපු එකෙනුත් ඒක පේනවා. 26  යේසුස් ගැන විශ්වාසය තියන කෙනෙක් ධර්මිෂ්ඨයි කියලා දැන් ප්‍රකාශ කරන එකෙනුත්+ දෙවියන් පෙන්නනවා ඔහු වැඩ කරන්නේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟවයි+ කියලා. 27  එහෙමනම් අපිට මහ ඉහළින් කතා කරන්න කිසිම හේතුවක් තියෙනවාද? නීතියට කීකරු වෙන එක ගැන ලොකුවට කියවන එක හරිද?+ ඇත්තටම අපිට කතා කරන්න පුළුවන් විශ්වාසය කියන නීතියට කීකරු වෙන එක ගැන විතරයි. 28  මොකද කෙනෙක් ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරන්නේ එයාට තියෙන විශ්වාසය නිසයි. එහෙම නැතුව නීතියේ කියලා තියෙන දේවල් ඒ විදිහටම පිළිපදින්න උත්සාහ කරන නිසා නෙමෙයි.+ 29  දෙවියන් අයිති යුදෙව්වන්ට විතරද?+ ඔහු හැම ජාතියකටම අයිති මිනිස්සුන්ගේ දෙවියන් නෙමෙයිද?+ ඔව්, ඔහු හැම ජාතියකටම අයිති මිනිස්සුන්ගේ දෙවියන්.+ 30  ඉන්නේ එකම දෙවි කෙනෙක් නිසා+ ඔහු චර්මච්ඡේදනය වුණ අයව+ වගේම චර්මච්ඡේදනය වෙලා නැති අයවත් ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරනවා.+ එහෙම කරන්නේ එයාලට තියෙන විශ්වාසය නිසයි. 31  ඒ කියන්නේ අපිට විශ්වාසය තියෙනවා නම් නීතියෙන් කිසිම වැඩක් නැහැ කියලද අපි කියන්නේ? නැහැ. ඇත්තටම නීතිය කොච්චර වැදගත්ද කියලයි අපි පෙන්නන්නේ.+

පාදසටහන්

හෝ, “දෙවියන් කොච්චර ධර්මිෂ්ඨද කියන දේ.”
මූ.අ., “ගරුබියක්.”
හෝ, “ධර්මිෂ්ඨ.”
මූ.අ., “දෙවියන්ගේ තේජස.”
හෝ, “නිදහස් කරන්න.”
හෝ, “නැති වුණ බැඳීම ආයෙත් ඇති කරගන්න.”