රෝමවරුන්ට 4:1-25

  • විශ්වාසය නිසා ආබ්‍රහම්ව ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කළා (1-12)

    • විශ්වාසයක් පෙන්නන හැමෝගෙම තාත්තා ආබ්‍රහම් (11)

  • පොරොන්දුව ලැබුණේ විශ්වාසය නිසයි (13-25)

4  එහෙමනම් අපේ මුතුන්මිත්තා වුණ ආබ්‍රහම් ගැන* අපිට කියන්න පුළුවන් මොනවාද?  ආබ්‍රහම් කරපු දේවල් නිසා නම් එයාව ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කළේ එයාට ආඩම්බරයෙන් කතා කරන්න හේතුවක් තියෙයි. ඒත් දෙවියන් ඉස්සරහා එහෙම ආඩම්බර වෙන්න එයාට කිසිම පදනමක් නැහැ.  ශුද්ධ ලියවිල්ලේ එයා ගැන කියලා තියෙන්නේ මොකක්ද? “ආබ්‍රහම් යෙහෝවා* ගැන විශ්වාසය තිබ්බා. ඒ නිසා එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා” කියලයි.+  උදාහරණෙකට හිතන්න රැකියාවක් කරන කෙනෙක් ගැන. ස්වාමියා එයාට පඩියක් ගෙවන්නේ එයාට කරුණාවෙන් සලකන නිසා නෙමෙයි. ඒක ලබන්න එයාට අයිතියක් තියෙන නිසයි.*  අනිත් අතට තමන් කරන දේවල් ගැන විශ්වාසය තියනවා වෙනුවට දෙවියන් ගැන විශ්වාසය තියන කෙනෙක් ගැන හිතන්න. එයාට තියෙන විශ්වාසය නිසා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකනවා. දෙවියන්ට තමයි පුළුවන් පව්කාරයෙක්ව වුණත් ධර්මිෂ්ඨ කෙනෙක් කියලා ප්‍රකාශ කරන්න.+  කෙනෙක් කරන දේවල් හේතුවක් කරගන්නේ නැතුව දෙවියන් ඒ කෙනාව ධර්මිෂ්ඨයි කියලා සලකද්දී එයාට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ ගැන දාවිත් පවා කතා කළා. දාවිත් මෙහෙම කිව්වා.  “තමන් කරපු වැරදිවලට සමාව ලැබුණ අය සන්තෝෂවත්. වැරදි මකලා දාලා* තියෙන නිසා එයාලා ඉන්නේ සතුටින්.  කෙනෙක් කරපු වැරදි යෙහෝවා* අමතක කරලා දැම්මාම ඒ කෙනාට දැනෙන්නේ සතුටක්.”+  ඒ වගේ සතුටක් අද්දකින්න පුළුවන් චර්මච්ඡේදනය වුණ අයට විතරද? චර්මච්ඡේදනය වෙලා නැති අයට ඒ සතුට අද්දකින්න බැරිද?+ “ආබ්‍රහම්ට තිබුණ විශ්වාසය නිසා එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා”+ කියලා අපි කලින් කිව්වා මතකයිද? 10  ආබ්‍රහම්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවේ කොයි අවස්ථාවේදීද? එයා චර්මච්ඡේදනය වුණාට පස්සේද නැත්නම් ඊට කලින්ද? චර්මච්ඡේදනය වෙන්න කලින් තමයි එයාව ඒ විදිහට සැලකුවේ. 11  පස්සේ කාලෙක දෙවියන් එයාට චර්මච්ඡේදනය වෙන්න කිව්වා. ඒක එයාට දීපු ලකුණක්.+ ඒ ලකුණ එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවේ ඇයි කියන දේට සහතිකයක්. ඒ සහතිකය ලැබුණේ එයා චර්මච්ඡේදනය වෙන්න කලින් පෙන්නපු විශ්වාසය නිසයි. චර්මච්ඡේදනය වෙලා නැති වුණත් විශ්වාසයක් පෙන්නන නිසා ධර්මිෂ්ඨයි කියලා සලකන හැමෝගෙම තාත්තා වෙන්න ඒ විදිහට ආබ්‍රහම්ට පුළුවන් වුණා.+ 12  චර්මච්ඡේදනය වෙලා ඉන්න අයගෙත් තාත්තා ආබ්‍රහම්. හැබැයි එයා තාත්තා වෙන්නේ චර්මච්ඡේදනය වෙන අයගේ විතරක් නෙමෙයි. මොකද අපේ තාත්තා වුණ ආබ්‍රහම්ට+ චර්මච්ඡේදනය වෙන්න කලින් ඉඳන්ම විශ්වාසය තිබුණා. ඒ නිසා ඒ වගේ විශ්වාසයක් පෙන්නන හැමෝගෙම තාත්තාත් එයායි. 13  ආබ්‍රහම්ටත් එයාගෙන් පැවතෙන අයටත් මුළු පොළොවම උරුම වෙනවා+ කියන පොරොන්දුව දුන්නේ නීතියේ තියෙන දේවල් පිළිපැද්ද නිසා නෙමෙයි. ඒ පොරොන්දුව දුන්නේ දෙවියන් ආබ්‍රහම්ට තිබුණ විශ්වාසය දැකලා එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකපු නිසයි.+ 14  පොරොන්දු වෙලා තියෙන දේවල් ලැබෙන්නේ නීතියේ තියෙන දේවල් පිළිපදින අයට නම් විශ්වාසයෙන් කිසිම වැඩක් නැහැ. ආබ්‍රහම්ට දුන්න පොරොන්දුවත් කිසිම තේරුමක් නැති දෙයක් වෙනවා. 15  ඇත්තටම කෙනෙක් නීතියට විරුද්ධව වැඩ කරද්දී එයාට දඬුවම් ලැබෙනවා.+ ඒත් නීතියක් නැත්නම් කෙනෙක් නීතිය කඩ කරනවා කියලා කියන්නත් බැහැ.+ 16  ආබ්‍රහම්ට අනාගතය ගැන පොරොන්දුව ලැබුණේ එයාට තිබුණ විශ්වාසය නිසයි. ඒ වගේම ඒකෙන් දෙවියන්ගේ මහත් කරුණාව පැහැදිලි වුණා.+ ඒ නිසා එයාගෙන් පැවතෙන හැමෝමත් ඒ පොරොන්දුවේ ඉටු වීම අද්දකිනවා.+ නීතිය පිළිපදින අය විතරක් නෙමෙයි ආබ්‍රහම්ට තිබුණා වගේ විශ්වාසයක් තියෙන හැමෝම ඒ පොරොන්දුව අද්දකිනවා. මොකද අපි හැමෝගෙම තාත්තා ආබ්‍රහම්.+ 17  (“මම ඔයාව ගොඩක් ජාතීන්ගේ තාත්තා විදිහට පත් කරනවා” කියලා ශුද්ධ ලියවිලිවල ලියලා තියෙනවා.)+ මැරුණ අයව ආයෙත් ජීවත් කරන, තාමත් වෙලා නැති දේවල් දැනටමත් ඉටු වෙලා කියන හැඟීමෙන් කතා කරන දෙවියන් ඉස්සරහා ආබ්‍රහම් පෙන්නපු විශ්වාසය ගැන හිතන්න. 18  ආබ්‍රහම් හිටියේ දරුවෙක් ලැබෙයි කියලා කොහොමටවත් බලාපොරොත්තු තියාගන්න බැරි වයසක. ඒත් එයා ගොඩක් ජාතීන්ගේ තාත්තා වෙනවා කියන දේ ගැන එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. මොකද “ඔයාගෙන් පැවතෙන අයත් ගණනින් වැඩි වෙනවා”+ කියලා දෙවියන් කියපු දේ එයා විශ්වාස කළා. 19  එයා දැනන් හිටියා (ඒ වෙද්දී එයාට වයස අවුරුදු 100ක් විතර නිසා)+ එයාගේ ශරීරය හරියට මැරුණු ශරීරයක් වගේ කියලා. ඒ වගේම සාරා දරුවන් බිහි කරන්න පුළුවන් වයස පහු කරලා කියලත් එයා දැනන් හිටියා.+ ඒත් එයාගේ විශ්වාසය දුර්වල වුණේ නැහැ. 20  දෙවියන් දීලා තිබුණ පොරොන්දුව ගැන එයාට කොච්චර විශ්වාසයක් තිබුණාද කියනවා නම් ඒක ඉටු වෙයිද කියලා එයා පොඩ්ඩක්වත් සැක කළේ නැහැ. ඒ වෙනුවට එයාට තිබුණ විශ්වාසය එයාව තව ශක්තිමත් කළා. ඒ විදිහට එයා දෙවියන්ව ගෞරවයට පත් කළා. 21  දෙවියන් පොරොන්දු වුණ දේ ඉටු කරන්න ඔහුට පුළුවන් කියලා ආබ්‍රහම් සීයට සීයක්ම විශ්වාස කළා.+ 22  “ඒ නිසා එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා.”+ 23  එයාගේ විශ්වාසය නිසා එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා කියලා ලිව්වේ එයා ගැන හිතලා විතරක් නෙමෙයි.+ 24  ඒක ලිව්වේ අපි ගැනත් හිතලයි. මොකද අපේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිට්ටවපු තැනැත්තා ගැන අපිටත් විශ්වාසයක් තියෙනවා.+ ඒ විශ්වාසය නිසා අපිවත් ධර්මිෂ්ඨයන් විදිහට සලකනවා. 25  යේසුස්ව මරණයට භාර දුන්නේ අපේ වැරදි නිසයි.+ ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වේ අපිව ධර්මිෂ්ඨයන් කියලා ප්‍රකාශ කරන්නයි.+

පාදසටහන්

හෝ, “ආබ්‍රහම්ට ලැබුණ දේ ගැන.”
උප. A5 බලන්න.
හෝ, “ස්වාමියා එයාට ණයගැති නිසයි.”
හෝ, “වැරදිවලට සමාව දීලා.”
උප. A5 බලන්න.