රෝමවරුන්ට 8:1-39

  • දෙවියන්ගේ බලය නිසා ජීවනයත් නිදහසත් ලැබෙයි (1-11)

  • දරුවන් කියලා දෙවියන්ගේ බලය හිත්වලට කතා කරලා කියනවා (12-17)

  • දෙවියන්ගේ දරුවන්ට නිදහස ලැබෙන කල් හැම නිර්මාණයක්ම බලාගෙන ඉන්නවා (18-25)

  • ‘දෙවියන්ගේ බලය අපි වෙනුවෙන් කන්නලව් කරනවා’ (26, 27)

  • දෙවියන් මුල් කාලේ ඉඳන්ම පියවර ගත්තා (28-30)

  • දෙවියන්ගේ ආදරේ නිසා අපි ජය ගන්නවා (31-39)

8  ඒ නිසා ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න අයව දඬුවම් ලබන්න ඕනෙ අය විදිහට සලකන්නේ නැහැ.  නීතියක් වගේ වැඩ කරන දෙවියන්ගේ බලය ඔයාලට ජීවනය ලබා දුන්නා. එහෙම කළේ ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න* ඔයාලට පුළුවන් වෙන්නයි. ඒ නීතිය ඔයාලව පව්කාරකම කියන නීතියෙනුත් මරණය කියන නීතියෙනුත් නිදහස් කළා.+  මිනිස්සුන්ගේ පව්කාරකම නිසා+ නීතියට පුළුවන්කමක් තිබුණේ නැහැ+ ඔයාලව සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. නීතියට කරන්න බැරි වුණ දේ දෙවියන් කළා. ඔහු ඒක කළේ පව්කාරකම නැති කරලා දාන්න තමන්ගේ පුතාව මිනිසෙක් විදිහට*+ එවලයි.+ ඒ විදිහට ඔහු පෙන්නලා දුන්නා පව්කාරකම නැත්තටම නැති වෙලා යන්න නියමිතයි කියලා.  දැන් අපිට පුළුවන් නීතියේ තියෙන ධර්මිෂ්ඨ ප්‍රමිති රකින්න.+ මොකද අපි පව්කාර ශරීරයට කීකරු වෙන්නේ නැතුව දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට කීකරු වෙනවා.+  පව්කාර ශරීරයට කීකරු වෙන අය හිතන්නෙම වැරදි ආශාවන් ගැනයි.+ ඒත් දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට කීකරු වෙන අය හිතන්නේ ඒ බලය එයාලට කරන්න මඟ පෙන්නන දේවල් ගැනයි.+  කෙනෙක් එයාගේ මනස පව්කාර ආශාවන්වලටම යොමු කළොත් ඒක එයාව ගෙනියන්නේ මරණයට.+ ඒත් කෙනෙක් එයාගේ මනස දෙවියන්ගේ බලයෙන් මඟ පෙන්නන දේවල්වලට යොමු කළොත් ඒක එයාව ගෙනියන්නේ ජීවනයට. සමාදානය අද්දකින්නත් එයාට පුළුවන් වෙනවා.+  මොකද කෙනෙක් එයාගේ මනස පාලනය කරන්න පව්කාර ශරීරයට ඉඩ දුන්නොත් එයා දෙවියන්ගේ හතුරෙක් වෙනවා.+ පව්කාර ශරීරය දෙවියන්ගේ නීතියට කීකරු වෙන්නේ නැහැ. ඇත්තටම නීතියට කීකරු වෙන්න ඒකට බැහැ.  ඉතින් පව්කාර ශරීරය සතුටු කරන විදිහට වැඩ කරන අයට දෙවියන්ව සතුටු කරන්න බැහැ.  හැබැයි ඔයාලා පව්කාර ශරීරය සතුටු කරන විදිහට වැඩ කරන අය නෙමෙයි. දෙවියන්ගේ බලය ඔයාලාගේ හිත්වල ඇත්තටම වැඩ කරනවා නම් ඔයාලා ජීවත් වෙන්නේ ඒ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව.+ කෙනෙක් ක්‍රිස්තුස් හිතන විදිහට හිතන්නේ නැත්නම් එයා ක්‍රිස්තුස්ට අයිති කෙනෙක් නෙමෙයි. 10  හැබැයි ඔයාලා ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්නවා නම්+ පව්කාරකම නිසා ඔයාලාගේ ශරීරය මැරුණත් දෙවියන්ගේ බලය ඔයාලට ජීවනය දෙනවා. මොකද ඔයාලව සලකන්නේ ධර්මිෂ්ඨ අය විදිහටයි. 11  දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් යේසුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා. ඒ බලය ඔයාලාගේ හිත්වල වැඩ කරනවා නම් ක්‍රිස්තුස් යේසුස්ව මරණයෙන් නැඟිට්ටවපු ඒ තැනැත්තා+ මරණයට නියම වෙලා තියෙන ඔයාලාගේ ශරීරවලටත් ජීවනය දෙයි.+ ඔහු ඒක කරන්නේ ඔයාලාගේ හිත්වල වැඩ කරන ඔහුගේ බලයෙන්. 12  ඉතින් සහෝදරයෙනි, අපිව පාලනය කරන්න අපේ පව්කාර ශරීරවලට ඉඩ දෙන්න ඕනෙ නැහැ.+ 13  ඔයාලාගේ පව්කාර ශරීරයට කීකරු වෙලා ජීවත් වුණොත් ඔයාලා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒත් පව්කාර ශරීරය කරන්න පොලඹවන දේවල් මරලා දාන්න ඔයාලට උදව් කරන්න+ දෙවියන්ගේ බලයට ඉඩ දෙනවා නම් ඔයාලා ජීවත් වෙයි.+ 14  තමන්ට මඟ පෙන්නන්න දෙවියන්ගේ බලයට ඉඩ දෙන අය ඇත්තටම ඔහුගේ පුතාලා.+ 15  දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා වහලුන් වුණේ නැහැ. ඔයාලා ආයෙත් බයෙන් ජීවත් වෙන්න පටන්ගත්තේ නැහැ. ඇත්තටම දෙවියන්ගේ බලය ලැබුණාම දෙවියන් අපිව ඔහුගේ පුතාලා විදිහට පිළිගත්තා කියලා අපිට දැනුණා. “අබ්බා,* තාත්තේ”+ කියලා කිසිම බයක් සැකක් නැතුව ඔහුට කියන්න ඒ බලය අපිව පොලඹවනවා. 16  අපි දෙවියන්ගේ දරුවන් කියලා+ ඒ බලය අපේ හිත්වලටම කතා කරලා කියනවා.*+ 17  අපි ඔහුගේ දරුවන් නම් අපි උරුමක්කාරයොත් වෙනවා. ඒ කියන්නේ දෙවියන්ගෙන් උරුමයක් ලැබෙන අය වෙනවා. ඒ වගේම අපි ක්‍රිස්තුස් එක්ක හවුල් උරුමක්කාරයන් වෙනවා.+ ඒත් ඊට කලින් අපිත් ඔහු වගේ දුක් විඳින්න ඕනේ.+ එතකොට ඔහුට ලැබුණ තේජස අපිටත් ලැබෙයි.+ 18  ඉස්සරහට දෙවියන් එළිදරව් කරන්න යන අපේ තේජවත් තෑග්ග+ එක්ක බලද්දී දැන් අපි අද්දකින දුක් වේදනා ගණන් ගන්නවත් බැරි තරම් කියලා මට හිතෙනවා. 19  දෙවියන්ගේ පුතාලට ඒ පුදුමාකාර තෑග්ග ලැබුණා කියලා දෙවියන් එළිදරව් කරන කාලේ එන කල් ඔහු නිර්මාණය කරපු හැම දෙයක්ම* ලොකු ආසාවකින් බලාගෙන ඉන්නවා.+ 20  දෙවියන් නිර්මාණය කරපු දේවල් ඉස්සරහා තිබුණේ කිසිම තේරුමක් නැති අනාගතයක්. අකමැත්තෙන් වුණත් ඒකට යටත් වෙන්න ඒ දේවල්වලට සිද්ධ වුණා.+ මොකද ඒකට ඉඩ දුන්නේ දෙවියන්. ඒත් ඔහු ඒ දේ නියම කරද්දී අපිට බලාපොරොත්තුවකුත් දුන්නා. 21  දෙවියන් දැනගෙන හිටියා ඔහු නිර්මාණය කරපු දේවල් කුණු වෙන සහ මරණයෙන් කෙළවර වෙන ජීවිතේකට වහල් වෙලා හිටියත් ඒකෙන් නිදහස් වෙනවා කියලා.+ ඒ වගේම දෙවියන්ගේ දරුවන් අද්දකින තේජවත් නිදහස ඒ නිර්මාණවලට අද්දකින්න ලැබෙනවා කියලා ඔහු දැනන් හිටියා. 22  හැම නිර්මාණයක්ම මේ වෙන කල් එකට කෙඳිරිගගා වේදනා විඳිනවා කියලා අපි දන්නවා. 23  අපි ඉන්නෙත් කෙඳිරිගගා. ඉස්සරහට අපිට ලැබෙන උරුමයට සාක්ෂියක්* වන දෙවියන්ගේ බලය අපිට ලැබිලා තියෙනවා. දෙවියන්ගේ පුතාලා විදිහට අපිව භාරගන්න කල් අපි ලොකු උනන්දුවකින් බලාගෙන ඉන්නවා.+ ඒත් ඒ වෙන කල් අපි ඉන්නේ කෙඳිරිගගා.+ එදාට අපිව අපේ ශරීරවලින් නිදහස් කරනවා. ඒ නිදහස ලැබෙන්නේ යේසුස් ගෙවපු වන්දිය නිසයි. 24  ඒ බලාපොරොත්තුව අපිට ලැබුණේ අපිව පව්කාරකමින් ගලවගත්තාම. ඒත් කෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු දේ ඉටු වුණාම ඒ ගැන තවත් බලාගෙන ඉන්න ඕනෙ නැහැ. ඇත්තටම දැනටමත් වෙලා තියෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න එකේ වැඩක් තියෙනවාද? 25  ඒත් අපි බලාපොරොත්තුවෙන් ඉන්න දේ+ තවමත් ඉටු වෙලා නැත්නම්+ අපි විඳදරාගෙන ඒක ඉටු වෙන කල් ආසාවෙන් බලාගෙන ඉන්නවා.+ 26  ඒ වගේම අපි දුර්වල වෙලා ඉන්නකොට අපිට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්.+ යාච්ඤා කරන්න ඕනෙ කියලා අපි දන්නවා වුණත් මොනවා ගැන කියලද යාච්ඤා කරන්නේ කියලා අපිට හිතාගන්න බැරි වෙන්න පුළුවන්. කියන්න ඕනෙ දේ වචනවලට පෙරළගන්න බැරුව අපි කෙඳිරිගගා ඉද්දී දෙවියන්ගේ බලයට පුළුවන් අපි වෙනුවෙන් කන්නලව් කරන්න. 27  දෙවියන් අපේ හිත් සෝදිසි කරලා බලලා+ ඔහුගේ බලය ඔහුට එළිදරව් කරන දේ තේරුම්ගන්නවා. මොකද දෙවියන්ගේ බලය කන්නලව් කරන්නේ ඔහුගේ කැමැත්තට එකඟවයි. එහෙම කරන්නේ ශුද්ධ තැනැත්තන්ට උදව් කරන්නයි. 28  දෙවියන් ඔහු කරන හැම දෙයක්ම හරිම පිළිවෙළට කරනවා කියලා අපි දන්නවා. ඔහු එහෙම කරන්නේ ඔහුට ආදරේ කරන අයගේ, ඔහු කරන්න සැලසුම් කරපු දේට එකඟව කැඳවපු අයගේ යහපත වෙනුවෙන්.+ 29  තමන් තෝරගන්න ඒ අය ගැන දෙවියන් මුල් කාලේ ඉඳන්ම දැනන් හිටියා. ඒ අය තමන්ගේ පුතාට සමාන වෙනවා+ කියලත් ඔහු කලින්ම තීරණය කළා. ඒ විදිහට ඔහුගේ පුතා සහෝදරයන් හුඟදෙනෙක් අතරේ+ කුලුඳුලා වුණා.+ 30  ඊටපස්සේ ඔහු තමන් තෝරගත්ත අයව+ කැඳෙව්වා.+ ඒ අයව ධර්මිෂ්ඨ අය කියලත් ඔහු ප්‍රකාශ කළා.+ ඒ විදිහට ධර්මිෂ්ඨ අය කියලා ඔහු ප්‍රකාශ කරපු අයව ඔහු අවසානයේදී ගෞරවයට පත් කළා.+ 31  අපි ඒ දේවල්වලින් තේරුම්ගන්නේ මොකක්ද? දෙවියන් අපේ පැත්තේ නම් අපිට විරුද්ධ වෙන්න පුළුවන් කාටද?+ 32  දෙවියන් ඔහුගෙම පුතාව දෙන්න අදිමදි කළේ නැහැ. අපි හැමෝම වෙනුවෙන් මැරෙන්න වුණත් ඔහු තමන්ගේ පුතාව දුන්නා.+ ඔහු එච්චර දෙයක් කළා නම් අපිට ඕනෙ අනිත් හැම දෙයක්මත් ඔහු හරිම ආදරෙන් දෙයි කියලා විශ්වාස කරන්න බැරිද? 33  දෙවියන් තෝරගත්ත අයට චෝදනා කරන්න පුළුවන් කාටද?+ මොකද ඒ අය ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරන්නේ දෙවියන්.+ 34  ඒ අය දඬුවම් ලබන්න සුදුසුයි කියලා විනිශ්චය කරන්න පුළුවන් කාටද? කාටවත් ඒක කරන්න බැහැ. එයාලා වෙනුවෙන් මැරුණේ ක්‍රිස්තුස් යේසුස්. ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටවලයි තියෙන්නේ. ඔහු දැන් දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳන්+ අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරනවා.+ 35  ක්‍රිස්තුස් අපිට ආදරේ කරන එක නතර කරන්න කිසිම දේකට පුළුවන්ද?+ ඒ දේ කරන්න ප්‍රශ්න ගැටලුවලටවත් දුක් වේදනාවලටවත් විරුද්ධවාදිකම්වලටවත් බඩගින්නටවත් හරිහැටි ඇඳුමක් නැතිකමටවත් උවදුරුවලටවත් කඩුවටවත් පුළුවන්ද?+ 36  ලියවිලිවල ලියලා තියෙන්නේ මෙහෙමයි. “අපි ඔබේ සෙනඟ නිසා අපේ ජීවිත හැම දවසකම තියෙන්නේ අවදානමේ. අපි හරියට මරණයට නියම කරපු බැටළුවන් වගේ.”+ 37  ඒත් අපිට ආදරේ කරන තැනැත්තාගේ උදව්වෙන් ඒ හැම දෙයක්ම පරාජය කරලා අපි ජය ගන්නවා.+ 38  දෙවියන් අපිට ආදරේ කරන එක නතර කරන්න කිසිම දේකට බැහැ කියලා මට විශ්වාසයි. මරණයටවත් මේ ජීවිතේටවත් දේවදූතයන්ටවත් ආණ්ඩුවලටවත් දැන් තියෙන දේවල්වලටවත් ඉස්සරහට එන්න තියෙන දේවල්වලටවත් කිසිම බලවේගයකටවත්,+ 39  උසකටවත්* ගැඹුරකටවත්* නිර්මාණය කරලා තියෙන වෙන කිසිම දේකටවත් ඒක කරන්න බැහැ. අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවියන් පෙන්නන ආදරෙන් අපිව ඈත් කරන්න කිසිම දේකට බැහැ.

පාදසටහන්

හෝ, “ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා ඉන්න.”
හෝ, “පව්කාර මිනිස්සුන්ට තියෙනවා වගේ ශරීරයක් ඇතුව.”
හෙබ්‍රෙව් නැත්නම් ඇරමයික වචනයක්. ඒක දරුවෝ තාත්තාට ආදරෙන් කතා කරද්දී කියන වචනයක්. ගෞරවනීය හැඟීමකුත් ඒ වචනේ ඇතුළේ තියෙනවා.
ඒ කියන්නේ දෙවියන්ගේ දරුවන් කියලා ඔහුගේ බලය එයාලාගේ හිත්වලට කිසිම සැකයක් නැතුව දැනෙන්න සලස්වනවා.
විශේෂයෙන්ම මිනිස්සු.
මූ.අ., “උරුමයේ පළමු පල.”
තේරුම, “අපි ලබන දියුණුවක්” හෝ “උසස් තත්වයක්” වෙන්න පුළුවන්.
තේරුම, “අපි අද්දකින අමාරු තත්වයක්” හෝ “පහත් තත්වයක්” වෙන්න පුළුවන්.