රෝමවරුන්ට 9:1-33

  • ඊශ්‍රායෙල් ජාතිය ගැන පාවුල්ට දැනෙන දුක (1-5)

  • ආබ්‍රහම්ගේ සැබෑ දරුවන් (6-13)

  • දෙවියන්ගේ තේරීම ප්‍රශ්න කරන්න බැහැ (14-26)

    • විනාශ කරන්න වටින අය සහ දයාව ලබන්න වටින අය (22, 23)

  • බේරෙන්නේ පොඩි පිරිසක් විතරයි (27-29)

  • ඊශ්‍රායෙල්වරු වැටුණා (30-33)

9  ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වන මම ඔයාලට කියන්නේ ඇත්ත. දෙවියන්ගේ බලයට මඟ පෙන්නන්න ඉඩ දීලා තියෙන මගේ හෘද සාක්ෂිය මං කියන මේ දේ බොරුවක් නෙමෙයි කියලා සාක්ෂි දෙනවා.  මම ඉන්නේ හරිම දුකෙන්. මගේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා.  මගේම සහෝදරයන්ට, මගේම ජාතියේ අයට යහපතක් වෙනවා නම් ශාපයක් ලබපු කෙනෙක් විදිහට මාව ක්‍රිස්තුස්ගෙන් ඈත් කරලා දැම්මත් කමක් නැහැ  එයාලා ඊශ්‍රායෙල්වරු. දෙවියන්ගේ දරුවන් වෙන්න එයාලව තමයි තෝරගත්තේ.+ දෙවියන් තමන්ගේ තේජස එයාලට පෙන්නුවා. එයාලා එක්ක ගිවිසුම් ඇති කරගත්තා.+ එයාලට නීතිය+ සහ පොරොන්දු දුන්නා.+ ඔහුට සේවය කරන ගෞරවයත් එයාලට දුන්නා.+  එයාලා පැවතෙන්නේ අපේ මුතුන්මිත්තන්ගෙන්.+ මිනිසෙක් විදිහට ක්‍රිස්තුස් ආවෙත් එයාලාගෙන්.+ හැමෝටම වඩා උසස් දෙවියන්ට සදහටම ප්‍රශංසාව ලැබේවා! ආමෙන්.  ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙවියන්ගේ පොරොන්දු ඉටු වුණේ නැහැ කියලා. මොකද ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන හැමෝම “ඊශ්‍රායෙල්වරුන්” කියලා ඇත්තටම කියන්න බැහැ.+  ඒ වගේම ආබ්‍රහම්ගෙන් පැවත ආවා කියලා එයාලා හැමෝවම දරුවන් විදිහට සලකන්නෙත් නැහැ.+ මොකද දෙවියන් ආබ්‍රහම්ට කිව්වේ “ඔයාගේ නම ගෙනියන පරම්පරාව* එන්නේ ඊසාක්ගෙන්” කියලයි.+  ඒකෙන් තේරෙන්නේ ආබ්‍රහම්ගේ දරුවන් හැමෝම දෙවියන්ගේ දරුවන් වෙන්නේ නැහැ කියලයි.+ දෙවියන්ගේ පොරොන්දුව නිසා ඉපදෙන දරුවන්+ තමයි ආබ්‍රහම්ගේ සැබෑ දරුවන් වෙන්නේ.  දෙවියන් පොරොන්දු වුණේ මෙහෙමයි. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම ආයෙත් එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+ 10  ඒ වෙලාවේ විතරක් නෙමෙයි රෙබෙකා දරුවන් පිළිසිඳගත්ත වෙලාවෙත් ඒ කියන්නේ අපේ මුතුන්මිත්තා වුණ ඊසාක්ගෙන්+ එයාට නිවුන් දරුවන් ලැබෙන්න ඉද්දීත් දෙවියන් ඒ පොරොන්දුව දුන්නා. 11  ඒ දරුවන් ඉපදෙන්නත් කලින්, එයාලා හොඳ දෙයක්වත් නරක දෙයක්වත් කරන්න කලින් තමන් තෝරගන්නේ කාවද කියලා දෙවියන් කිව්වා. ඒකෙන් තේරෙනවා දෙවියන් කෙනෙක්ව තෝරගන්නේ ඔහුගේ අරමුණට එකඟව* මිසක් කෙනෙක් කරන කියන දේවල් අනුව නෙමෙයි කියලා. 12  ඉතින් දෙවියන් රෙබෙකාට මෙහෙම කිව්වා. “වැඩිමලා බාලයාගේ දාසයෙක් වෙනවා.”+ 13  ශුද්ධ ලියවිලිවල තියෙන මේ දේට ඒක එකඟයි. “මං ආදරේ කළේ යාකොබ්ට. හැබැයි ඒසව්ව මං ප්‍රතික්ෂේප කළා.”+ 14  අපි මේ කියන්නේ දෙවියන් අසාධාරණ විදිහට වැඩ කරනවා කියලද? කොහොමටවත් නැහැ.+ 15  දෙවියන් මෝසෙස්ට කිව්වේ මෙහෙමයි. “මං කාට හරි දයාව පෙන්නන්න කැමති නම් මං එයාට දයාව පෙන්නනවා. මං කාට හරි අනුකම්පාව පෙන්නන්න කැමති නම් මං එයාට අනුකම්පාවෙන් සලකනවා.”+ 16  ඒ කියන්නේ කෙනෙක්ව තෝරගන්නේ එයා ඒකට ආස කරන නිසාවත් ඒ වෙනුවෙන් එයා මහන්සි වෙලා වැඩ කරන නිසාවත් නෙමෙයි. ඒක දයාව පෙන්නන දෙවියන්ගේ තීරණයක්.+ 17  පාරාවෝට කියපු දේ ගැන ශුද්ධ ලියවිලිවල මෙහෙම තියෙනවා. “ඔයාට මේ වෙන කල් ජීවත් වෙන්න මං ඉඩ දුන්නේ ඔයාට වෙන දේ මාර්ගයෙන් මගේ බලය පෙන්නන්න වගේම පොළොවේ හැමෝම මගේ නම දැනගන්න ඕනෙ නිසයි.”+ 18  ඉතින් දෙවියන් කැමති ඕනෙම කෙනෙක්ට ඔහු දයාව පෙන්නනවා. ඒත් මුරණ්ඩු විදිහට වැඩ කරන්න කැමති අයට ඔහු මුරණ්ඩු වෙන්න ඉඩහරිනවා.+ 19  සමහරු මගෙන් මෙහෙම අහයි. “දෙවියන් සැලසුම් කරලා තියෙන දේට විරුද්ධව යන්න කාටවත් බැරි නම් දෙවියන් මිනිස්සුන්ගේ අඩුපාඩු පෙන්නන්නේ ඇයි?” 20  දෙවියන් කරන දේ ප්‍රශ්න කරන්න නිකම්ම නිකම් මනුස්සයෙක්ට අයිතියක් තියෙනවාද?+ “ඇයි මාව මේ විදිහට හැදුවේ” කියලා කුඹල්කරුගෙන් අහන්න බඳුනකට පුළුවන්ද?+ 21  එකම මැටි පිඩෙන්, එක බඳුනක් වැදගත්* වැඩක් වෙනුවෙන් හදන්නත් තවත් බඳුනක් එදිනෙදා පාවිච්චියට ගන්න* හදන්නත් කුඹල්කරුට අයිතියක් නැද්ද?+ 22  දෙවියන් ගැන කියන්න තියෙන්නෙත් ඒ දේම නෙමෙයිද? ඔහුගේ කේන්තිය පිට කරලා ඔහු කොච්චර බලවත්ද කියලා පෙන්නන්න ඔහු තීරණය කරලා තිබුණත් ඔහුව කේන්ති ගස්සපු, විනාශ කරලා දාන්න වටින අය එක්ක ඔහු හරිම ඉවසීමෙන් වැඩ කළා. එයාලා කරපු දේවල් ඔහු දරාගෙන හිටියා. 23  ඔහු එහෙම කළේ ඔහුගේ දයාව ලබන්න වටින අයට ඔහුගේ පුදුමාකාර තේජස පෙන්නන්නයි.+ ඔහු එයාලව සූදානම් කළේ තේජසට පත් කරන්නයි. 24  අපි තමයි කැඳවපු ඒ අය. අපිව කැඳෙව්වේ යුදෙව්වන් අතරින් විතරක් නෙමෙයි වෙනත් ජාතීන්ට අයිති අය අතරිනුත් අපිව කැඳෙව්වා.+ 25  දෙවියන් හොෂෙයාගේ ලියවිල්ලේ කියලා තිබුණ මේ දේ ඉටු වෙනවා. “මට අයිති නැති සෙනඟකට+ ‘මගේ සෙනඟ’ කියලා මම කියනවා. ආදරේ කළේ නැති තැනැත්තියට ‘මගේ ආදරේ දිනාගත්ත තැනැත්තිය’ කියලා කියනවා.+ 26  ‘මං ඔයාලව තවත් නම් මගේ සෙනඟ විදිහට පිළිගන්නේ නැහැ’ කියලා කියපු තැනදීම, එයාලව ‘ජීවමාන දෙවියන්ගේ දරුවන්’ විදිහට හඳුන්වනවා.”+ 27  යෙසායා ඊශ්‍රායෙල්වරු ගැන හඬ නඟලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ මුහුදේ වැලි වගේ විශාල වුණත් බේරෙන්නේ පොඩි පිරිසක් විතරයි.+ 28  මොකද යෙහෝවා* පොළොවේ ඉන්න අයව විනිශ්චය කරලා ඔහු තීන්දු කරපු දේ ඉක්මනින් ඉටු කරනවා.”+ 29  යෙසායා කියපු මේ දේත් ඉටු වුණා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා* අපෙන් පැවතෙන සමහරදෙනෙක්ට ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැත්නම් අපිටත් සොදොම්වලට වුණ දේම වෙයි. අපි ගොමෝරාවට සමාන වෙයි.”+ 30  අපි මොකක්ද මේකෙන් තේරුම්ගන්නේ? වෙනත් ජාතීන්ට අයිති අය ධර්මිෂ්ඨ අය වෙන්න උත්සාහ කළේ නැතත් එයාලව ධර්මිෂ්ඨ අය විදිහට සලකනවා.+ එහෙම කරන්නේ එයාලා පෙන්නපු විශ්වාසය නිසයි.+ 31  ඒත් ඊශ්‍රායෙල්වරු නීතියට ඇතුළත් ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින්න උත්සාහ කළත් ඒක කරන්න එයාලට බැරි වුණා. 32  එහෙම වුණේ ඇයි? මොකද එයාලා ධර්මිෂ්ඨ අය වෙන්න උත්සාහ කළේ විශ්වාසය පෙන්නලා නෙමෙයි එයාලා කරපු දේවල්වලිනුයි. ඉතින් “පැටලිලා වැටෙන්න හේතු වෙන ගල” නිසා එයාලා වැටුණා.+ 33  ශුද්ධ ලියවිලිවල මෙහෙම කියලා තියෙනවා. “කකුල පැටලිලා වැටෙන්න හේතු වෙන ගලක්,+ ගමනට බාධා වෙන ලොකු ගලක් මම සියොන්වල තියනවා. ඒත් ඒ ගල ගැන විශ්වාසය තියන කිසිම කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ වෙන්නේ නැහැ.”+

පාදසටහන්

හෝ, “ඔයාගෙන් පැවතෙන කෙනා.”
හෝ, “ඔහු සැලසුම් කරපු දේට එකඟව.”
මූ.අ., “ගෞරවනීය.”
මූ.අ., “ගෞරවයෙන් අඩු දෙයක් වෙනුවෙන්.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.