ලූක් 1:1-80

  • තෙයොෆිලස්ට ලියයි (1-4)

  • ගාබ්‍රියෙල් යොහන් බව්තීස්තගේ උපත ගැන දැනුම් දෙයි (5-25)

  • ගාබ්‍රියෙල් යේසුස්ගේ උපත ගැන දැනුම් දෙයි (26-38)

  • මරියා එලිසබෙත්ව හම්බ වෙන්න යයි (39-45)

  • මරියා යෙහෝවාට ප්‍රශංසා කරයි (46-56)

  • යොහන්ගේ උපත සහ නම තියපු විදිහ (57-66)

  • සෙකරියා කියපු අනාවැකිය (67-80)

1  ගරු තෙයොෆිලස්තුමනි, අපි කිසි සැකයක් නැතුව විශ්වාස කරන දේවල් ගැන නිවැරදි තොරතුරු එකතු කරලා ඒවා වාර්තා කරන්න හුඟදෙනෙක් උත්සාහ කරලා තියෙනවා.+  එයාලා ලියලා තියෙන්නෙත් දෙවියන්ගේ පණිවිඩය දැනුම් දුන්න අය+ සහ මුල ඉඳන්ම ඒ දේවල් ඇස් දෙකෙන්ම දැක්ක අය+ අපිට කියපු දේවල්මයි.  මමත් මුල ඉඳන්ම ඒ හැම තොරතුරක් ගැනම හොයලා බලලා ඒවා නිවැරදියි කියලා තහවුරු කරගත්තා. ඉතින් මම තීරණය කළා ඒ තොරතුරු ඔබ+ වෙනුවෙන් තර්කානුකූලව පෙළගස්වන්න.  එතකොට ඔබට උගන්වපු දේවල් ඇත්තයි කියලා හොඳින්ම සහතික කරගන්න ඔබට පුළුවන් වෙයි.+  හෙරොද්*+ යුදයේ රජ වෙලා හිටිය කාලේදී සෙකරියා කියලා පූජකයෙක් හිටියා. එයා අයිති වුණේ අබියා+ කියන පූජක කණ්ඩායමට. එයාගේ බිරිඳගේ නම එලිසබෙත්. එලිසබෙත් ආරොන්ගේ පෙළපතට අයිති කෙනෙක්.  එයාලා දෙවියන් දීලා තියෙන හැම නීතියකටම කීකරු වුණ, නිර්දෝෂ ජීවිතයක් ගත කරපු යුවළක්. ඒ නිසා යෙහෝවා* ඒ දෙන්නාව සැලකුවේ ධර්මිෂ්ඨ අය විදිහට.  ඒ වෙද්දී ඒ දෙන්නා හුඟක් වයසයි. ඒත් එයාලට දරුවෝ හිටියේ නැහැ. මොකද එලිසබෙත්ට දරුවන් බිහි කරන්න හැකියාව තිබුණේ නැහැ.  ඒ දවස්වල දෙවියන් ඉස්සරහා සේවය කරන්න වාරය ඇවිත් තිබුණේ සෙකරියා අයිති වෙලා හිටිය පූජක කණ්ඩායමට.+ එදා පූජකයා විදිහට දෙවියන් ඉස්සරහට ගියේ සෙකරියා.  මොකද එයාට තමයි පූජකයන්ගේ සිරිතට අනුව යෙහෝවා* දෙවියන්ගේ ශුද්ධස්ථානයට ගිහින්+ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන වාරය ලැබිලා තිබුණේ.+ 10  එයා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන වෙලාවේදී* සෙනඟ එළියට වෙලා යාච්ඤා කරකර හිටියා. 11  ඒ වෙලාවේ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනයේ දකුණු පැත්තේ යෙහෝවා* දෙවියන්ගේ දූතයෙක් හිටගෙන ඉන්නවා සෙකරියා දැක්කා. 12  දේවදූතයාව දැක්කාම සෙකරියා කලබල වෙලා හොඳටම බය වුණා. 13  දේවදූතයා එයාට මෙහෙම කිව්වා. “සෙකරියා, බය වෙන්න එපා. ඔයා කරපු කන්නලව්වලට දෙවියන් ඇහුම්කන් දීලයි තියෙන්නේ. ඒ නිසා ඔයාගේ බිරිඳ එලිසබෙත්ට පුතෙක් ලැබෙයි. එයාට යොහන් කියන නම තියන්න.+ 14  ඒ දරුවා නිසා ඔයාගේ ජීවිතේට ලොකු සතුටක් ලැබෙයි. ඒ වගේම එයා ඉපදෙද්දී ගොඩක් අය ඒ ගැන සතුටු වෙයි.+ 15  යෙහෝවා* එයාව උතුම් කෙනෙක් විදිහට සලකයි.+ එයාට වයින්වත් මත්පැන්වත් බොන්න අවසර නැහැ.+ දරුවා ඉපදෙන්නත් කලින්ම* දෙවියන්ගේ බලය එයා තුළ ක්‍රියාත්මක වෙයි.+ 16  ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හුඟක් අයට එයාලාගේ දෙවි වන යෙහෝවාට* ආයෙත් කීකරු වෙන්න එයා උදව් කරයි.+ 17  දෙවියන් තමන්ට ඉදිරියෙන්* යන්න ඔයාගේ පුතාව තෝරගෙන තියෙනවා. ඒ, යෙහෝවා* වෙනුවෙන් සෙනඟක්ව සූදානම් කරන්නයි.+ එයා එලියා වගේ ලොකු උද්‍යෝගයකින් සේවය කරයි.+ එලියාට ලැබුණ බලය එයාටත් ලැබෙයි. එයා නිසා තාත්තලාගේ හිත් දරුවන්ගේ හිත් වගේ වෙයි.*+ අකීකරු අය පසුතැවිලි වෙලා ධර්මිෂ්ඨ අය වගේ ප්‍රඥාවන්තව වැඩ කරන්න පටන්ගනියි.” 18  සෙකරියා දේවදූතයාට මෙහෙම කිව්වා. “මං කොහොමද ඔබ කියන දේ ඇත්තයි කියලා විශ්වාස කරන්නේ? මායි, මගේ බිරිඳයි දැන් හොඳටම වයසට ගිහින්.” 19  එතකොට දේවදූතයා එයාට මෙහෙම කිව්වා. “මගේ නම ගාබ්‍රියෙල්.+ මම දෙවියන් ඉස්සරහම ඉන්න කෙනෙක්.+ දෙවියන් මාව එව්වේ මේ ශුභාරංචිය ගැන ඔයාට කියන්න. 20  ඒත් ඔයා මං කියපු දේ විශ්වාස කළේ නැති නිසා ඒ දේ වෙන කල් ඔයාට කතා කරන්න බැරි වෙයි. මං කියපු දේ නියමිත කාලයේදී අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.” 21  ඔය අතරේ සෙකරියා එන කල් බලාගෙන හිටපු සෙනඟ එයා ශුද්ධස්ථානයේ ඉඳන් එන්න එච්චර පරක්කු වෙන්නේ ඇයි කියලා කල්පනා කරකර හිටියා. 22  සෙකරියා එළියට ආවාම එයාට සෙනඟ එක්ක කතා කරන්න බැරි වුණා. ඒ නිසා එයා සංඥා කරලා එයාලට දේවල් කියන්න හැදුවා. එයා ශුද්ධස්ථානයේ ඉද්දී ආශ්චර්යවත් දෙයක්* දැකලා තියෙනවා කියලා එයාලා තේරුම්ගත්තේ එතකොටයි. 23  සෙකරියා තමන්ට සේවය* කරන්න පවරලා තිබුණ කාලය ඉවර වුණාට පස්සේ ආයෙත් ගෙදර ගියා. 24  ටික දවසකට පස්සේ එයාගේ බිරිඳ එලිසබෙත් ගැබ්ගත්තා. එලිසබෙත් මාස පහක් යන කල්ම ගෙදරට වෙලා හිටියා. එයා මෙහෙම කිව්වා. 25  “බලන්න මං වෙනුවෙන් යෙහෝවා* කරපු දේ! ඔහු මං දිහා බලලා මිනිස්සුන්ගෙන් මට විඳින්න වුණ නින්දාව නැති කළා.”+ 26  එයා ගැබ් අරන් මාස හයක් ගත වුණාට පස්සේ දෙවියන් ගාබ්‍රියෙල් දේවදූතයාව+ ගලීලයේ නාසරෙත් කියන නගරයට යැව්වා. 27  එයා ගියේ මරියා+ කියන කන්‍යාව+ හම්බ වෙන්න. ඒ වෙද්දී මරියා දාවිත්ගේ පෙළපතට අයිති යෝසෙප් කියන කෙනා එක්ක විවාහ ගිවිසගෙනයි හිටියේ. 28  දේවදූතයා මරියා ඉස්සරහට ගිහින් මෙහෙම කිව්වා. “ඔයාට සුබ දවසක්! ඔයා දෙවියන්ගෙන් හුඟක් ආශීර්වාද ලබපු කෙනෙක්. යෙහෝවා* ඔයා එක්කම ඉන්නවා.” 29  ඒක ඇහුවාම එයා ගොඩක් කලබල වෙලා, දේවදූතයා එයාට ඒ විදිහට කතා කරන්නේ ඇයි කියලා කල්පනා කළා. 30  ඉතින් දේවදූතයා එයාට මෙහෙම කිව්වා. “මරියා, බය වෙන්න එපා. මොකද දෙවියන්ගේ ආශීර්වාදය ඔයාට තියෙනවා. 31  මං කියන දේ අහන්න. ඔයා ගැබ් අරන් පුතෙක් බිහි කරනවා.+ එයාට යේසුස් කියලා නම තියන්න.+ 32  එයා හුඟක් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙයි.+ එයාව හඳුන්වන්නේ උසස්ම දෙවියන්ගේ පුතා+ කියලයි. යෙහෝවා* දෙවියන් එයාට එයාගේ තාත්තා වුණ දාවිත්ගේ සිංහාසනය+ ලබා දෙනවා. 33  එයා රජ විදිහට යාකොබ්ගේ පෙළපතට අයිති අයව සදහටම පාලනය කරනවා. එයාගේ රාජ්‍යය කවදාවත් අවසන් වෙන්නේ නැහැ.”+ 34  එතකොට මරියා දේවදූතයාගෙන් මෙහෙම ඇහුවා. “ඒක වෙන්නේ කොහොමද? මම කවදාවත් පුරුෂයෙක් එක්ක එකට ඉඳලා නැහැනේ!”+ 35  දේවදූතයා එයාට මෙහෙම කිව්වා. “උසස්ම දෙවියන්ගේ බලය ඔයා තුළ ක්‍රියාත්මක වෙයි.+ ඒ බලය ඔයාව ආරක්ෂා කරයි. ඒ නිසා ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක් කියලත්+ එයා දෙවියන්ගේ පුතා කියලත්+ හඳුන්වයි. 36  මං ඔයාට තවත් දෙයක් කියන්නම්. හැමෝම හිතුවේ ඔයාගේ නෑදෑයෙක් වෙන එලිසබෙත්ට කවදාවත් දරුවන් බිහි කරන්න බැහැ කියලයි. එයා වයසට ගිහින් හිටියත් දැන් එයාටත් පුතෙක් ලැබෙන්න ඉන්නවා. දරුවා පිළිසිඳගෙන දැන් මාස හයක් වෙනවා. 37  දෙවියන් කරනවා කියන හැම දෙයක්ම ඔහු අනිවාර්යයෙන්ම කරනවා. ඔහුට කරන්න බැරි දෙයක් නැහැ.”+ 38  එතකොට මරියා මෙහෙම කිව්වා. “මම යෙහෝවාගේ* දාසියක්. ඒ නිසා ඔබ කියපු දේ ඒ විදිහටම වෙන්න ඕනේ!” ඊටපස්සේ දේවදූතයා එතනින් ගියා. 39  මරියා ඉක්මනටම කඳුකර පැත්තට ගිහින් යූදා දේශයේ තිබුණ නගරයකට ගියා. 40  එයා එහේ තිබුණ සෙකරියාගේ ගෙදරට ගිහින් එලිසබෙත්ව හම්බ වෙලා එයාට සුබ පැතුවා. 41  මරියා එලිසබෙත්ට සුබ පතනවාත් එක්කම එයාගේ කුසේ ඉන්න දරුවා දඟලන්න පටන්ගත්තා. ඒ වෙලාවෙම එලිසබෙත් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙලා, 42  එයා හයියෙන් මෙහෙම කිව්වා. “කාන්තාවන් අතරින් ඔයා තරම් ආශීර්වාද ලබපු කෙනෙක් තවත් නැහැ! ඔයාට ලැබෙන්න ඉන්න දරුවාත් ආශීර්වාද ලබපු කෙනෙක්! 43  මගේ ස්වාමීන්ගේ අම්මා අද මං ළඟට ඇවිල්ලා ඉන්නවා. මට කොහොමද මේ තරම් වටින වරප්‍රසාදයක් ලැබුණේ! 44  මේ බලන්න! ඔයා මට සුබ පැතුව ගමන්ම මගේ බඩේ ඉන්න දරුවා සතුටින් දඟලන්න පටන්ගත්තා. 45  ඔයා යෙහෝවා* කියපු දේවල් විශ්වාස කළා. ඒ නිසා ඔයාට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද ඔහු ඔයාට කියපු හැම දේම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.” 46  එතකොට මරියා මෙහෙම කිව්වා. “මගේ මුළු හදවතින්ම මම* යෙහෝවාට* ප්‍රශංසා කරනවා.+ 47  මගේ ගැලවුම්කරු වන දෙවියන්+ නිසා මගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යනවා. 48  මොකද ඔහුගේ දාසිය+ වන මම ඒ තරම් වැදගත් කෙනෙක් නොවුණත් ඔහු මං දිහා බැලුවා. ඉතින් අද ඉඳන් බිහි වෙන හැම පරම්පරාවක්ම මාව හුඟක් ආශීර්වාද ලබපු කෙනෙක් විදිහට සලකයි.+ 49  බලවත් දෙවියන් මං වෙනුවෙන් මොන තරම් පුදුමාකාර දේවල් කරලා තියෙනවාද! ඔහුගේ නම ශුද්ධයි.+ 50  ඔහුට ගරුබිය පෙන්වන අයට ඔහු සදහටම දයාව පෙන්වයි.+ 51  ඔහුගේ මහත් බලයෙන් ඔහු පුදුම දේවල් කළා. ඔහු උඩඟු හිත්* තියෙන අයව විසුරුවාහරිනවා.+ 52  ඔහු බලවත් අයව සිංහාසනවලින් ඉවත් කරලා+ පහත් තත්වයක ඉන්න අයව උසස් කරලා තියෙනවා.+ 53  දෙවියන් බඩගින්නේ ඉන්න අයව හොඳ දේවලින් තෘප්තිමත් කරලා+ ධනවත් අයව හිස් අතින් යවලා තියෙනවා. 54  ඔහු පොරොන්දු වුණ විදිහටම තමන්ගේ සේවකයා වන ඊශ්‍රායෙල් ජාතියට දයාව පෙන්වන්න අමතක කළේ නැහැ.+ ඒ නිසයි ඔහු එයාලාගේ උදව්වට ආවේ. 55  ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම ආබ්‍රහම්ටත් ඔහුගෙන් පැවතෙන අයටත්+ සදහටම දයාව පෙන්වලා තියෙනවා.” 56  මරියා එලිසබෙත් එක්ක මාස තුනක් විතර නැවතිලා ඉඳලා ඊටපස්සේ ගෙදර ගියා. 57  නියමිත කාලය ආවාම එලිසබෙත්ට පුතෙක් ලැබුණා. 58  යෙහෝවා* එලිසබෙත්ට පෙන්වපු මහත් දයාව ගැන එයාගේ අසල්වැසියන්ටයි, නෑදෑයන්ටයි ආරංචි වුණාම එයාලා ඇවිත් එයාත් එක්ක සතුටු වුණා.+ 59  දරුවා ඉපදිලා ගත වුණ අටවෙනි දවසේදී එයාලා දරුවාව චර්මච්ඡේදනය කරන්න ආවා.+ එයාලා ලෑස්ති වෙලා හිටියේ දරුවාට එයාගේ තාත්තාගේ නම, ඒ කියන්නේ සෙකරියා කියන නම තියන්නයි. 60  ඒත් දරුවාගේ අම්මා “නැහැ. අපි එයාට යොහන් කියලා නම දාමු” කියලා කිව්වා. 61  ඒත් එයාලා එලිසබෙත්ට කිව්වා “ඔයාගේ නෑදෑයන්ගෙන් කාටවත් ඒ වගේ නමක් නෑනේ” කියලා. 62  ඒ නිසා එයාලා සංඥා කරලා දරුවාගේ තාත්තාගෙන් ඇහුවා දරුවාට තියන්න ඕනෙ නම මොකක්ද කියලා. 63  ඉතින් එයා ලෑල්ලක් ඉල්ලගෙන “දරුවාගේ නම යොහන්”+ කියලා ඒකේ ලිව්වා. ඒක දැකලා හැමෝම පුදුම වුණා. 64  ඒ වෙලේම එයාට ආයෙත් කතා කරන්න පුළුවන් වෙලා+ එයා දෙවියන්ට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. 65  සිද්ධ වුණ දේ දැනගත්තාම අවට ජීවත් වුණ හැමෝම හුඟක් පුදුම වුණා. යුදයේ කඳුකර පළාත පුරාම හිටපු අය ඒ ගැන කතා වෙන්න පටන්ගත්තා. 66  ඒ ගැන ආරංචි වුණ හැමෝම ඒක හොඳින් හිතට අරන් “මේ දරුවා මොන වගේ කෙනෙක් වෙයිද” කියලා කතා වුණා. මොකද දරුවාට යෙහෝවාගේ* බලය ලැබිලා කියලා පැහැදිලිව පේන්න තිබුණා. 67  ඒ වෙලාවේ දරුවාගේ තාත්තා වුණ සෙකරියා තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙලා එයා මේ අනාවැකිය කිව්වා. 68  “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන්න ඕනේ!+ මොකද ඔහු තමන්ගේ සෙනඟට අනුකම්පා කරලා එයාලව ගලවගන්න පියවර අරන් තියෙනවා.+ 69  ඔහු තමන්ගේ සේවකයා වුණ දාවිත්ගේ පෙළපතින්+ අපි වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක්ව*+ එවලා තියෙනවා. 70  ඔහු අතීතයේ ඉඳන් තමන්ගේ ශුද්ධ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්+ කියපු විදිහටම ඒ දේ කළා. 71  අපේ සතුරන්ගේ සහ අපිට වෛර කරන හැමෝගෙම අතින් අපිව ගලවගන්න විදිහ ගැන ඔහු කිව්වා.+ 72  ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහට අපිට දයාව පෙන්වලා ඔහු ඇති කරපු ශුද්ධ ගිවිසුම සිහි කරනවා.+ 73  ඒ, ඔහු අපේ තාත්තා වුණ ආබ්‍රහම්ට දිවුරලා වුණ පොරොන්දුවයි.+ 74  ඔහු පොරොන්දු වුණේ අපේ සතුරන් අතින් අපිව බේරගත්තාට පස්සේ කිසිම බයක් නැතුව ඔහුට පරිශුද්ධ සේවයක් කරන වරප්‍රසාදය අපිට දෙනවා කියලයි. 75  ජීවිතේ තියෙන තාක් කල් හරි දේ කරමින් විශ්වාසවන්තව ඔහුට සේවය කරන්න අපිට අවස්ථාව දෙනවා කියලයි. 76  ඒත් මගේ පුතේ, ඔයාව හඳුන්වන්නේ උසස්ම දෙවියන්ගේ අනාගතවක්තෘවරයෙක් විදිහට. මොකද ඔයා යෙහෝවා* දෙවියන්ට ඉදිරියෙන් ගිහින් ඔහු වෙනුවෙන් මාර්ගය සූදානම් කරනවා.+ 77  ඔයා එහෙම ගිහින් දෙවියන් තමන්ගේ සෙනඟගේ පව්වලට සමාව දීලා+ එයාලට ගැලවීම ලබා දෙනවා කියලා එයාලට කියලා දෙයි. 78  දෙවියන් ඒ දේ කරන්නේ ඔහුගේ මහත් දයානුකම්පාව නිසයි. දෙවියන් පෙන්වන ඒ දයානුකම්පාව නිසා හිමිදිරි උදෑසන විහිදෙන ආලෝකයක් අපි ළඟට බැහැලා එයි. 79  ඒ ආලෝකය නිසා අන්ධකාරයේ සහ මරණ සෙවණේ ඉන්න අයට එළිය ලැබෙනවා.+ සාමයට යන මඟ දිගේ ගමන් කරන්න අපිටත් අවස්ථාව ලැබෙනවා.” 80  දරුවා ටිකෙන් ටික ලොකු වෙලා දෙවියන්ගේ බලයේ උදව්වෙන් දෙවියන්ට ආදරේ කරන ශක්තිමත් පුරුෂයෙක් වුණා. ඊශ්‍රායෙල්වරුන් ඉස්සරහා ප්‍රසිද්ධියේ එයාගේ සේවය පටන්ගන්න කාලය එන කල් එයා පාළුකරයට වෙලා හිටියා.

පාදසටහන්

“හෙරොද් පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
මූ.අ., “පැයේදී.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
හෝ, “මව්කුසේ ඉද්දීම.”
උප. A5 බලන්න.
ඒ කියන්නේ දෙවියන් ඔහුගේ පුතා මාර්ගයෙන් කරන වැඩේ පටන්ගන්න කලින්.
උප. A5 බලන්න.
හෝ, “තාත්තලා දරුවන් එක්ක සමාදාන වෙයි.”
හෝ, “දර්ශනයක්.”
මූ.අ., “පරිශුද්ධ සේවය.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “උඩඟු චේතනා.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
මූ.අ., “ගැලවීම ලබා දෙන අඟක්.” “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන “අඟ” බලන්න.
උප. A5 බලන්න.