ලූක් 10:1-42

  • යේසුස් 70දෙනාව පිටත් කරලා යවයි (1-12)

  • පසුතැවිලි වෙන්නේ නැති නගරවලට දුක් වෙන්න වෙනවා (13-16)

  • 70දෙනා ආපහු එයි (17-20)

  • නිහතමානී අයට සත්‍යය හෙළි කරපු එක ගැන යේසුස් තාත්තාට ප්‍රශංසා කරයි (21-24)

  • යහපත් සමරිතානුවරයා ගැන කියපු උදාහරණය (25-37)

  • යේසුස් මාර්තාවයි, මරියාවයි හම්බ වෙන්න යයි (38-42)

10  ස්වාමීන් තව 70දෙනෙක්ව තෝරගෙන එයාලව දෙන්නා ගාණේ පිටත් කරලා යැව්වා.+ ඔහු යන්න හිටිය හැම නගරයකටම සහ ප්‍රදේශයකටම ඔහු යන්න කලින් එයාලව යැව්වා.  එයාලව යවන්න කලින් ඔහු මෙහෙම කිව්වා. “නෙළන්න ලොකු අස්වැන්නක් තියෙනවා. ඒත් වැඩකරුවන් ඉන්නේ ටිකදෙනායි. ඒ නිසා අස්වැන්න නෙළන්න තව වැඩකරුවන්ව එවන්න කියලා අස්වැන්න අයිති ස්වාමියාගෙන් දිගටම ඉල්ලන්න.”+  දැන් යන්න. මං ඔයාලව යවන්නේ හරියට වෘකයන් මැදට බැටළුවන්ව යවනවා වගෙයි.+  මුදල් පසුම්බියක්වත් කෑම මල්ලක්වත් වැඩිපුර පාවහන්වත් අරන් යන්න එපා.+ මඟදී හම්බ වෙන කිසිම කෙනෙක්ට නැවතිලා* ආචාර කරන්නත් එපා.  ඔයාලා කාගේ හරි ගෙදරකට ඇතුල් වෙන්න කලින් ‘මේ ගෙදරට සමාදානය ලැබේවා’ කියලා කියන්න.+  සාමයට ළැදි කෙනෙක් ඒ ගෙදර ඉන්නවා නම් ඔයාලා පතපු සාමය එයාට ලැබෙයි. එහෙම කෙනෙක් ඒ ගෙදර නැත්නම් ඔයාගේ සාමය නැති කරගන්නේ නැතුව එතනින් පිට වෙලා යන්න.  ඔයාලා ගෙදරකට ඇතුල් වුණාට පස්සේ ඒ ගෙදර අය දෙන දේවල් කාලා බීලා+ ඒ ගෙදරම නතර වෙලා ඉන්න.+ මොකද වැඩ කරන කෙනාට එයාගේ කුලිය ලැබෙන්න ඕනේ.+ වෙන නවාතැනක් හොයාගෙන තැනින් තැන යන්න එපා.  “ඔයාලා කොහේ හරි නගරයකට ගියාම ඒ නගරේ අය ඔයාලට දෙන දේවල් කන්න.  එහේ ඉන්න අසනීප අයව සුව කරන්න. ‘දෙවියන්ගේ රාජ්‍යය ඔයාලා ළඟටම ඇවිත්’ කියලා හැමෝටම කියන්න.+ 10  ඒත් නගරයකට ගියාම එහේ ඉන්න අය ඔයාලව පිළිගන්නේ නැත්නම් ඒකේ තියෙන ප්‍රධාන පාරවල්වලට ගිහින් මෙහෙම කියන්න. 11  ‘ඔයාලාගේ නගරයේ ඇවිදගෙන යද්දී අපේ කකුල්වල ගෑවුණ දූවිලි ටිකත් අපි ගසලා දානවා.+ ඒක ඔයාලට විරුද්ධව සාක්ෂියක් වෙයි. ඒත් දෙවියන්ගේ රාජ්‍යය ළං වෙලා කියලා මතක තියාගන්න.’ 12  මං ඔයාලට කියන්නේ, විනිශ්චය දවසේදී සොදොම් නගරයට ලැබෙන දඬුවමට වඩා දරුණු දඬුවමක් ඒ නගරයට ලැබෙයි.+ 13  “කොරාසීන නගරේ වැසියෙනි, බෙත්සයිදා නගරේ වැසියෙනි, ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද! මොකද ඔයාලා ඉස්සරහා කරපු බලවත් දේවල් තීර් සහ සීදොන් නගරවල කළා නම් එහේ ඉන්න අය ගෝණි රෙදි ඇඳගෙන, අළු ගොඩේ ඉඳගෙන පසුතැවිලි වෙන්නේ මීට හුඟ කාලෙකට කලිනුයි.+ 14  ඒ නිසා විනිශ්චය දවසේදී තීර් සහ සීදොන් නගරවලට ලැබෙන දඬුවමට වඩා දරුණු දඬුවමක් ඔයාලට ලැබෙයි. 15  කපර්ණවුම නගරේ වැසියෙනි, ඔයාලව ස්වර්ගය වෙන කල් උසස් කරයි කියලා හිතුවාද? නැහැ, ඔයාලව මිනී වළටම පහත් කරනවා. 16  “කෙනෙක් ඔයාලට ඇහුම්කන් දුන්නොත් ඒ කෙනා මටත් ඇහුම්කන් දෙනවා.+ ඔයාලව ගණන් ගන්නේ නැති කෙනා මාවත් ගණන් ගන්නේ නැහැ. මාව ගණන් ගන්නේ නැති කෙනා මාව එවපු කෙනාවත් ගණන් ගන්නේ නැහැ.”+ 17  යේසුස් යවපු 70දෙනා හරිම සතුටින් ආපහු ඇවිත් ඔහුට මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපි ඔයාගේ නම පාවිච්චි කළාම භූතයනුත් අපි කියන දේ අහනවා.”+ 18  ඒක ඇහුවාම ඔහු එයාලට මෙහෙම කිව්වා. “හරියට අකුණක් ගහනවා වගේ වේගයෙන් සාතන් ස්වර්ගයෙන් පහළට වැටෙනවා+ මට දැනටමත් පේනවා. 19  සර්පයන්වයි, ගෝනුස්සන්වයි පාගලා දාන්න මං ඔයාලට බලය දීලා තියෙනවා. සතුරාට තියෙන බලය පරාජය කරන්නත් මං ඔයාලට බලය දීලා තියෙනවා.+ ඒ නිසා කිසිම දේකින් ඔයාලට අනතුරක් වෙන්නේ නැහැ. 20  ඒත් ඔයාලා සතුටු වෙන්න ඕනෙ භූතයන් ඔයාලට යටත් වෙන නිසා නෙමෙයි. ස්වර්ගයේ ඔයාලාගේ නම් සටහන් කරලා තියෙන නිසයි.”+ 21  ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය යේසුස් තුළ ක්‍රියාත්මක වෙලා ඔහු හරිම සතුටින් මෙහෙම කිව්වා. “පියාණෙනි, ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන ඔබට මම හැමෝම ඉස්සරහා ප්‍රශංසා කරනවා. මොකද ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමත් අයගෙන් හංගලා+ පොඩි දරුවන් වගේ අයට හෙළි කළා. පියාණෙනි, එහෙම වුණේ ඔබේ කැමැත්තට එකඟවයි.+ 22  මගේ පියාණන් හැම දේම මට භාර දීලා තියෙනවා. පුතාව හඳුනන්නේ පියාණන් විතරයි. ඒ වගේම පියාණන්ව හඳුනන්නෙත් පුතා විතරයි.+ කෙනෙක් පියාණන්ව හඳුනගන්නවාට පුතා කැමති නම් පුතා ඒ කෙනාටත් පියාණන් ගැන හෙළි කරනවා.”+ 23  ඊටපස්සේ ඔහු තමන්ගේ ගෝලයන් එක්ක තනියම ඉද්දී එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා දකින දේවල් දකින්න ලැබෙන අයට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද!+ 24  මොකද මම ඔයාලට කියන්නේ, හුඟක් අනාගතවක්තෘවරුන් සහ රජවරුන් ඔයාලා දකින දේවල් දකින්නත් ඔයාලා අහන දේවල් අහන්නත් ලොකු ආසාවකින් හිටියා. ඒත් එයාලට ඒ දේවල් අහන්න දකින්න ලැබුණේ නැහැ.”+ 25  ඒ වෙලාවේ නීතිය ගැන හොඳ දැනුමක් තිබුණ කෙනෙක් නැඟිටලා යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ?”+ එයා එහෙම ඇහුවේ යේසුස්ගේ වරදක් අල්ලගන්න හිතාගෙනයි. 26  යේසුස් එයාගෙන් ඇහුවා “නීතියේ මොනවාද ලියලා තියෙන්නේ? ඒක කියවද්දී ඔයාට තේරුණේ මොකක්ද” කියලා. 27  එතකොට එයා මෙහෙම කිව්වා. “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවාට* මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙන්න ඕනේ. ඔයාලාගේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනේ.+ ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් ඔයාලාගේ මුළු ශක්තියම* වැය කරන්න.’ ඒ වගේම ‘ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.’”+ 28  ඉතින් යේසුස් “ඔයා කියපු දේ හරි. දිගටම එහෙම කරන්න. එතකොට ඔයාට සදාකාල ජීවනය ලැබෙයි”+ කියලා එයාට කිව්වා. 29  ඒත් ඒ මිනිසාට ඕන වුණා එයා ධර්මිෂ්ඨ කෙනෙක් කියලා පෙන්නන්න.+ ඒ නිසා එයා යේසුස්ගෙන් ඇහුවා “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා. 30  යේසුස් එයාට උත්තර දුන්නේ මෙහෙමයි. “එක මිනිසෙක් යෙරුසලමේ ඉඳන් යෙරිකෝවට බැහැගෙන යන පාර දිගේ යද්දී එයාව හොරු කට්ටියකට අහු වුණා. ඒ හොරු එයාට හොඳටම ගහලා එයා ඇඳගෙන හිටපු ඇඳුමයි, එයා ළඟ තිබුණ හැම දේමයි අරගෙන ගියා. ඒ කෙනා හොඳටම තුවාල වෙලා පාර අයිනේ වැටිලා හිටියා. 31  ඔය අතරේ ඒ පාර දිගේ පූජකයෙක් ආවා. ඒත් පූජකයා තුවාල වෙලා හිටපු කෙනාව දැක්කාම එයාව දැක්කේ නැහැ වගේ පාරේ අනිත් පැත්තට ගිහින් එයාගේ ගමන ගියා. 32  ඊටපස්සේ ලෙවීවරයෙක් එතනට ආවා. එයාත් තුවාල වෙලා හිටපු කෙනා දිහා බලලා පාරේ අනිත් පැත්තට මාරු වෙලා එතනින් යන්න ගියා. 33  පස්සේ එතනට සමරිතානුවරයෙක් ආවා.+ අනිත් දෙන්නා වගේ නෙමෙයි, තුවාල වෙලා හිටපු කෙනාව දැක්කාම එයාට දැනුණේ ලොකු අනුකම්පාවක්. 34  ඉතින් එයා ඒ කෙනා ගාවට ගිහින් එයාගේ තුවාලවලට වයිනුයි, තෙලුයි වක් කරලා ඒවා රෙදි පටිවලින් බැන්දා. ඊටපස්සේ එයා ඒ කෙනාව එයාගේ බූරුවා පිටේ තියලා තානායමකට අරන් ගියා. එහෙදී එයා ඒ කෙනාව හොඳට බලාගත්තා. 35  පහුවදා එයා තානායම්කරුට ඩිනාරි* දෙකක් දීලා ‘මේ කෙනාව හොඳට බලාගන්න. මීට වඩා ගාණක් වියදම් වුණොත් මං ආයෙත් ආවාම ඒකත් ගෙවන්නම්’ කියලා කිව්වා. 36  ඔයා හිතන විදිහට හොරුන්ට අහු වෙච්ච කෙනාට ඇත්තටම අසල්වැසියෙක්+ වුණේ ඒ තුන්දෙනාගෙන් කවුද?” 37  “එයාට ආදරෙන්* සලකපු කෙනා”+ කියලා ඒ මිනිසා කිව්වා. එතකොට යේසුස් “ඔයාත් ගිහින් ඒ විදිහටම කරන්න”+ කියලා එයාට කිව්වා. 38  ඊටපස්සේ යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක එක ගමකට ගියා. එහේ මාර්තා+ කියලා කාන්තාවක් හිටියා. මාර්තා යේසුස්ට කිව්වා එයාගේ ගෙදරට එන්න කියලා. 39  එයාගේ සහෝදරියගේ නම මරියා. මරියා ස්වාමීන්ගේ කකුල් දෙක ළඟ ඉඳගෙන ඔහු කියපු දේවල්වලට දිගටම ඇහුම්කන් දීගෙන හිටියා. 40  ඒත් ඒ වෙලාවේ මාර්තාගේ අවධානය යොමු වෙලා තිබුණේ ගෙදරදොරේ එක එක වැඩවලට. ඉතින් එයා යේසුස් ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ස්වාමීනි, බලන්නකෝ මගේ සහෝදරියගෙන් මට කිසිම උදව්වක් නැහැනේ. මට හැම දේම තනියම කරන්න වෙලා. ඇයි ඔයාවත් එයාට මුකුත් කියන්නේ නැත්තේ? එයාට කියන්නකෝ ඇවිත් මට උදව් කරන්න කියලා.” 41  එතකොට ස්වාමීන් එයාට මෙහෙම කිව්වා. “මාර්තා, මාර්තා, ඇයි ඔයා මෙච්චර දේවල් කරන්න කරදර වෙන්නේ? 42  ගොඩක් දේවල් ඕනෙ නැහැ. එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරගත්තේ වැදගත්ම දේ.*+ එයා තෝරගත්ත දේ එයාට නැති වෙන්නේ නැහැ.”*

පාදසටහන්

හෝ, “කිසිම කෙනෙක්ව වැලඳගෙන.”
උප. A5 බලන්න.
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “ඔයාට තියෙන හැම දෙයක්ම.”
උප. B14 බලන්න.
මූ.අ., “දයාවෙන්.”
හෝ, “හොඳම කොටස.”
මූ.අ., “එයාගෙන් උදුරගන්නේ නැහැ.”