ලූක් 11:1-54

  • යාච්ඤා කරන විදිහ (1-13)

    • ආදර්ශ යාච්ඤාව (2-4)

  • භූතයන්ව එළවන්නේ දෙවියන්ගේ බලයෙන් (14-23)

  • භූතයා ආයෙත් එයි (24-26)

  • සැබෑ සතුට (27, 28)

  • යෝනාගේ ලකුණ (29-32)

  • ශරීරයේ පහන (33-36)

  • කුහක ආගමික නායකයන්ට දුක් වෙන්න වෙනවා (37-54)

11  දවසක් යේසුස් එක තැනකට ගිහින් යාච්ඤා කළා. ඔහු යාච්ඤා කරලා ඉවර වුණාට පස්සේ ගෝලයෙක් ඔහුට මෙහෙම කිව්වා. “ස්වාමීනි, යොහන් එයාගේ ගෝලයන්ට යාච්ඤා කරන්න ඉගැන්නුවා වගේ ඔබත් අපිට යාච්ඤා කරන්නේ කොහොමද කියලා උගන්වන්න.”  ඔහු මෙහෙම කිව්වා. “ඔයාලා යාච්ඤා කරද්දී මෙහෙම කියන්න. ‘පියාණෙනි, ඔබේ නම හැමදාටම ශුද්ධව පවතීවා!*+ ඔබේ රාජ්‍යය පැමිණේවා!+  හැම දවසකම එදාට ඕනෙ කරන කෑම අපිට ලබා දෙන්න.+  අපේ වැරදිවලටත්* සමාව දෙන්න.+ මොකද අපිත් අපිට වැරදි කරපු* හැම කෙනෙක්ටම සමාව දෙනවා.+ වැරදි පෙලඹීම්වලට අහු වෙන්න අපිට ඉඩ දෙන්න එපා.’”+  ඊටපස්සේ යේසුස් එයාලට මෙහෙම කිව්වා. “හිතන්න, ඔයාලාගෙන් කෙනෙක් මහ රෑ යාළුවෙක්ගේ ගෙදරකට ගිහිල්ලා මෙහෙම කියනවා කියලා. ‘යාළුවේ, මට රොටි තුනක් දෙන්න* පුළුවන්ද?  මගේ යාළුවෙක් ගමනක් යන ගමන් මේ දැන් මගේ ගෙදරට ආවා. එයාට දෙන්න මං ළඟ මුකුත්ම නැහැ.’  එතකොට ඒ යාළුවා ගේ ඇතුළේ ඉඳන් මෙහෙම කියනවා. ‘මට කරදර කරන්න එපා. දැනටමත් දොරට අගුලු දාලයි තියෙන්නේ. මායි, මගේ පොඩි ළමයිනුයි දැන් ඇඳේ ඉන්නේ. අපි නිදාගන්නයි යන්නේ. ඒ නිසා දැන් නම් මට නැඟිටලා ඇවිත් ඔයාට කිසිම දෙයක් දෙන්න බැහැ.’  මං ඔයාලට කියන්නේ යාළුකම නිසා එයා නැඟිටලා කිසිම දෙයක් දෙන්නේ නැති වෙයි. ඒත් යාළුවා අත්හරින්නේ නැතුව දිගටම ඉල්ලන නිසා+ එයා අනිවාර්යයෙන්ම නැඟිටලා යාළුවාට ඕනෙ කරන හැම දේම දෙයි.  ඉතින් මං ඔයාලට කියන්නේ, දිගටම ඉල්ලන්න.+ එතකොට ඉල්ලන දේ ඔයාලට ලැබෙයි. දිගටම හොයන්න. එතකොට ඔයාලට හම්බ වෙයි. දිගටම තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි.+ 10  මොකද දිගටම ඉල්ලන අයට ලැබෙයි.+ දිගටම හොයන අයට හම්බ වෙයි. දිගටම තට්ටු කරන අයට දොර ඇරෙයි. 11  තාත්තා කෙනෙක් කවදාවත් එයාගේ පුතා මාළුවෙක් ඉල්ලුවොත් සර්පයෙක් දෙයිද?+ 12  පුතා බිත්තරයක් ඉල්ලුවොත් ගෝනුස්සෙක් දෙයිද? 13  ඔයාලා දුෂ්ට වුණත් ඔයාලාගේ දරුවන්ට හොඳ දේවල් දෙන්නේ කොහොමද කියලා දන්නවා. එහෙනම් ස්වර්ගයේ ඉන්න පියාණන් ඊටත් වඩා කොච්චර වැඩියෙන් ඔහුගෙන් ඉල්ලන අයට ඔහුගේ බලය දෙයිද!”+ 14  තවත් වෙලාවක, භූතයෙක් වැහිලා හිටපු කෙනෙක්ව යේසුස් සුව කළා.+ ඒ භූතයා නිසා ඒ කෙනාට කතා කරන්න බැරුවයි හිටියේ. භූතයා පිට වෙලා ගියාම එයාට ආයෙත් කතා කරන්න පුළුවන් වුණා. ඒක දැක්කාම සෙනඟට අදහාගන්න බැරි වුණා.+ 15  ඒත් සෙනඟ අතරේ හිටපු සමහරදෙනෙක් මෙහෙම කිව්වා. “මේ මිනිහා භූතයන් එළවන්නේ භූතයන්ගේ නායකයා වන බෙල්සෙබුබ්ගේ* උදව්වෙන්.”+ 16  තවත් සමහරු යේසුස්ගේ වරදක් අල්ලගන්න හිතාගෙන අහසෙන් ලකුණක්+ පෙන්නන්න කියලා ඔහුට බල කළා. 17  යේසුස් එයාලාගේ හිතේ තියෙන දේ දැනගෙන හිටපු නිසා+ මෙහෙම කිව්වා. “රාජ්‍යයක් ඇතුළේ භේද තියෙනවා නම් ඒ රාජ්‍යය නැති වෙලා යයි. ඒ වගේම පවුලක ඉන්න අය අතරේ භේද තියෙනවා නම් ඒ පවුල වැඩි කල් පවතින්නේ නැහැ. 18  ඔයාලා කියනවා මම භූතයන්ව එළවන්නේ බෙල්සෙබුබ්ගේ බලයෙන් කියලා. ඒත් සාතන් එයාටම විරුද්ධව වැඩ කරනවා නම් ඒක හරියට එයාම එයාගේ රාජ්‍යයේ භේද ඇති කරනවා වගේ. එතකොට එයාගේ රාජ්‍යය දිගටම තියෙන්නේ කොහොමද? 19  මං භූතයන්ව එළවන්නේ බෙල්සෙබුබ්ගේ උදව්වෙන් නම් ඔයාලාගේ අනුගාමිකයන් භූතයන්ව එළවන්නේ කාගේ උදව්වෙන්ද? ඔයාලා කියන දේ වැරදියි කියලා ඔයාලාගෙම අනුගාමිකයන් පෙන්නලා දෙයි. 20  ඒත් මං භූතයන්ව එළවන්නේ දෙවියන්ගේ බලයෙන්*+ නම් දෙවියන්ගේ රාජ්‍යය ඔයාලා ළඟටම ඇවිත් කියලා දැනගන්න.+ ඒත් ඔයාලා ඒක තේරුම් අරන් නැහැ. 21  හිතන්න මේ උදාහරණේ ගැන. අවිආයුධ අතේ තියාගෙන ඉන්න ශක්තිමත් කෙනෙක් එයාගේ මාලිගාව මුර කරද්දී එයාට අයිති හැම දේම ආරක්ෂිතව තියෙනවා. 22  ඒත් එයාට වඩා ශක්තිමත් කෙනෙක් ඇවිත් එයාට ගහලා එයාව පරද්දනවා. ඒ වගේම ආරක්ෂාවක් වෙයි කියලා එයා හිතාගෙන හිටපු ආයුධ ඔක්කොමත් ඒ කෙනා පැහැරගෙන යනවා. ඊටපස්සේ එයා පැහැරගත්ත දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. 23  කෙනෙක් මගේ පැත්තේ නෙමෙයි නම් එයා වැඩ කරන්නේ මට විරුද්ධවයි. කෙනෙක් මාත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ව රැස් කරන්නේ නැත්නම් එයා කරන්නේ මගෙන් මිනිස්සුන්ව ඈත් කරන එකයි.+ 24  “භූතයෙක් මිනිසෙක්ගෙන් පිට වෙලා නවාතැනක් හොයහොය වියළි දේශවල සැරිසැරුවත් ඒ භූතයාට ඉන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ භූතයා ‘මං කලින් හිටිය ගෙට ආයෙත් යනවා’ කියලා කියනවා.+ 25  භූතයා එතනට ආවාම දකිනවා ඒක අතුගාලා, සුද්ද කරලා, ලස්සනට සරසලා තියෙනවා. 26  ඒ නිසා භූතයා ගිහින් තමන්ට වඩා දුෂ්ට භූතයෝ හත්දෙනෙක්ව එක්කගෙන ඇවිත් ඒ ගෙට ගිහින් ජීවත් වෙයි. එතකොට ඒ මිනිසා කලින් හිටියාට වඩා දරුණු තත්වයකට වැටෙයි.” 27  ඔහු ඒ දේවල් කියකිය ඉද්දී සෙනඟ අතරේ හිටපු එක කාන්තාවක් හයියෙන් මෙහෙම කිව්වා. “ඔබව කුසේ දරාගෙන, ඔබට කිරි දුන්න කාන්තාව කොච්චර සතුටු වෙන්න ඕනෙද!”+ 28  ඒත් යේසුස් එයාට කිව්වා “ඇත්තටම සතුටින් ඉන්නේ දෙවියන් කියන දේ අහලා ඒක පිළිපදින අයයි” කියලා.+ 29  සෙනඟ එක තැනකට එකතු වෙද්දී යේසුස් මෙහෙමත් කිව්වා. “මේ පරම්පරාව දුෂ්ට පරම්පරාවක්. එයාලා හැම වෙලාවෙම ලකුණක් හොයනවා. ඒත් අනාගතවක්තෘ යෝනාගේ ලකුණ හැර වෙන කිසිම ලකුණක් එයාලට දෙන්නේ නැහැ.+ 30  යෝනා+ නිනිවයේ ජීවත් වුණ අයට ලකුණක් වුණා වගේ මනුෂ්‍ය පුත්‍රයාත් මේ පරම්පරාවට ලකුණක් වෙයි. 31  විනිශ්චය දවසේදී මේ පරම්පරාවට අයිති මිනිස්සු එක්ක දකුණු දිශාවේ රැජිනවත්+ නැවත නැඟිට්ටවද්දී, මේ පරම්පරාව කොයි තරම් දුෂ්ටද කියලා එයා කියයි. මොකද සලමොන්ගේ ප්‍රඥාව ගැන දැනගන්න එයා ආවේ පොළොවේ ඈත කෙළවරක ඉඳලයි. ඒත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙතන ඉන්නවා.+ 32  විනිශ්චය දවසේදී මේ පරම්පරාවේ අය එක්ක නිනිවය නුවරේ අයත් නැවත නැඟිටිද්දී, මේ පරම්පරාව මොන තරම් දුෂ්ටද කියලා එයාලා කියයි. මොකද ඒ නුවරේ ඉන්න අය යෝනා දේශනා කළාට පස්සේ පසුතැවිලි වුණා.+ ඒත් බලන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙතන ඉන්නවා. 33  කෙනෙක් පහනක් දල්වලා ඒක කාටවත් පේන්නේ නැති තැනක තියන්නේ නැහැ. එයා ඒක කූඩයකින්* වහන්නෙත් නැහැ. ඒ වෙනුවට ගෙදරට එන අයට ඒකේ ආලෝකය ලැබෙන විදිහට එයා ඒක පහන් රුකක් උඩ තියනවා.+ 34  ඔයාලාගේ ඇහැ තමයි ශරීරයේ පහන. ඇහැ එක දෙයක් දිහාවටම යොමු වෙලා තියෙද්දී* ඔයාලාගේ මුළු ශරීරයත් ආලෝකවත් වෙනවා. ඒත් ඔයාලාගේ ඇහැ කෑදර* විදිහට දේවල් දිහා බලද්දී ඔයාලාගේ මුළු ශරීරයම අඳුරු වෙනවා.+ 35  ඒ නිසා පරෙස්සම් වෙන්න. නැත්නම් ඇහැ නිසා ඔයාලාගේ ශරීරය ආලෝකවත් වෙනවා වෙනුවට ඒක අඳුරු වෙන්න පුළුවන්. 36  ඒත් ඔයාලාගේ මුළු ශරීරයම ආලෝකවත් නම්, ඒකේ කොතනකවත් අඳුරක් නැත්නම් ඒක දීප්තියෙන් බැබළෙන, ආලෝකය විහිදුවන පහනක් වගේ වෙයි.” 37  ඔහු ඒ දේවල් ඉගැන්නුවාට පස්සේ පරිසිවරයෙක් ඇවිල්ලා ඔහුට කිව්වා එයාත් එක්ක කෑම කන්න එන්න කියලා. ඉතින් යේසුස් එයාත් එක්ක ඇතුළට ගිහින් කෑමට ඉඳගත්තා. 38  ඒත් යේසුස් දවල් කෑම කන්න කලින් අත් හේදුවේ නැති* නිසා+ පරිසිවරයා හුඟක් පුදුම වුණා. 39  ස්වාමීන් එයාට මෙහෙම කිව්වා. “ඔයාලා පරිසිවරුන් විදිහට කුසලානයත් දීසියත් පිටින් පිරිසිදු කරනවා. ඒත් ඔයාලාගේ හිත් කෑදරකම්වලින් සහ දුෂ්ටකම්වලින් පිරිලා.+ 40  ඔයාලා හිතන විදිහ කොච්චර මෝඩද! ශරීරයේ පිටින් පේන්න තියෙන දේවල් හදපු කෙනාමයි මිනිස්සුන්ගේ ඇතුළාන්තයත් හැදුවේ. 41  ඉතින් ඔයාලා දුප්පත් අයට උදව්වක් කරද්දී ඒක අවංක හදවතකින් කරන්න. එහෙම කළොත් ඔයාලා හැම අතින්ම පවිත්‍ර අය වෙයි. 42  පරිසිවරුනි, ඔයාලට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඔයාලා මිංචි, අරූද සහ අනිත් හැම පලා* ජාතියකින්ම දහයෙන් කොටස දෙනවා.+ ඒත් ඔයාලා දෙවියන් වගේ යුක්තිය ඉටු කරන්නෙවත් අනිත් අයට ආදරේ පෙන්නන්නෙවත් නැහැ. ඒ ගැන ඔයාලට ගාණක්වත් නැහැ. දහයෙන් කොටස දෙන්න ඕනෙ තමයි. ඒත් ඒවා නිසා නීතියේ තියෙන ඒ වඩා වැදගත් දේවල් නොසලකාහරින එක කොයි තරම් වැරදිද!+ 43  පරිසිවරුනි, ඔයාලට ඇත්තටම දුක් වෙන්න වෙනවා. මොකද ඔයාලා සිනගෝගවල ඉස්සරහින්ම තියෙන ආසනවල* ඉඳගන්නත් වෙළඳපොළවල්වලදී+ හැමෝම ඔයාලට ලොකු ගෞරවයක් දීලා ආචාර කරනවාටත් හරිම කැමතියි. 44  ඔයාලට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඔයාලා කාටවත් පේන්නේ නැති*+ සොහොන් ගෙවල්* වගේ. මිනිස්සු දන්නෙම නැතුව ඒවා උඩ ඇවිදගෙන යනවා.” 45  එතකොට නීතිය ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් “ගුරුතුමනි, ඔය දේවල් කියලා ඔබ අපිටත් අපහාස කරනවා” කියලා කිව්වා. 46  යේසුස් මෙහෙම කිව්වා. “නීතිය ගැන හොඳ දැනුමක් තියෙන ඔයාලටත් කොච්චර දුක් වෙන්න වෙයිද! මොකද ඔයාලා දාන නීති හරියට මිනිස්සු පිට පටවන, දරාගන්න බැරි බරක් වගේ. ඒත් ඒ බර උස්සන්න ඔයාලා ඇඟිල්ලක්වත් තියන්නේ නැහැ.+ 47  “ඔයාලට මුහුණ දෙන්න වෙන විපත හරිම දරුණුයි! මොකද ඔයාලා අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හැදුවත් ඔයාලාගෙම මුතුන්මිත්තන් තමයි එයාලව මරලා දැම්මේ!+ 48  ඔයාලාගේ මුතුන්මිත්තන් කරපු ඒ දේවල් ගැන ඔයාලා දැනන් හිටියත් ඔයාලා කරන දේවලින් පේන්නේ ඔයාලත් ඒවාට එකඟයි කියලා. මොකද එයාලා මරලා දාපු අනාගතවක්තෘවරුන්+ වෙනුවෙන් ඔයාලා සොහොන් ගෙවල් හදනවා. 49  ඒ නිසයි ප්‍රඥාවන්ත දෙවියන් මෙහෙම කිව්වේ. ‘මම මගේ අනාගතවක්තෘවරුන්වයි, නියෝජිතයන්වයි එයාලා ළඟට යවනවා. ඒත් එයාලා ඒ සමහරදෙනෙක්ට පීඩා කරයි. සමහරදෙනෙක්ව මරලා දායි. 50  ඒ නිසා පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් මේ වෙන කල් මරලා දාපු හැම අනාගතවක්තෘවරයෙක්ගෙම ලේවලට මේ පරම්පරාවට වග කියන්න වෙනවා.+ 51  ආබෙල්ගේ+ ඉඳන්, පූජාසනයත් දෙවියන්ගේ ගෘහයත් අතරේ මරලා දාපු සෙකරියා+ වෙන කල් මරපු හැම කෙනෙක්ගෙම ලේවලට මේ පරම්පරාවට වග කියන්න වෙනවා.’ මං ඔයාලට කියන්නේ ඒ වරදට මේ පරම්පරාවේ අයට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙනවා. 52  “නීතිය ගැන හොඳ දැනුමක් තියෙන ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද! මොකද දෙවියන්ව දැනගන්න තියෙන මඟ විවෘත කරන යතුර ඔයාලා පැහැරගත්තා. ඔයාලා ඒ මඟේ යන්නෙත් නැහැ, ඒ මඟේ යන්න කැමති අයටත් ඔයාලා බාධා කරනවා!”+ 53  යේසුස් එතනින් පිටත් වෙද්දී නීතිය පිටපත් කරන අය සහ පරිසිවරු ඔහුව වට කරගෙන ඔහුගෙන් ප්‍රශ්න වැලක් අහලා ඔහුට කරදර කරන්න පටන්ගත්තා. 54  යේසුස් වැරදි දෙයක් කියන කල් එයාලා බලාගෙනයි හිටියේ.+ මොකද එයාලට ඕනෙ වුණේ ඔහුට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්නයි.

පාදසටහන්

හෝ, “ඔබේ නම ශුද්ධ දෙයක් විදිහට සලකනු ලැබේවා!; ඔබේ නමට ලැබිය යුතු ගෞරවය දෙනු ලැබේවා!”
මූ.අ., “ණයවලටත්.”
මූ.අ., “අපේ ණයකාරයන්.”
මූ.අ., “ණයට දෙන්න.”
සාතන්ට කියන තවත් නමක්.
මූ.අ., “දෙවියන්ගේ ඇඟිල්ලෙන්.”
හෝ, “මනින්න පාවිච්චි කරන කූඩයකින්.”
හෝ, “පැහැදිලිව පේනවා නම්.” මූ.අ., “ඇහැ සරලයි නම්.”
මූ.අ., “නපුරු; දුෂ්ට.”
ඒ කියන්නේ චාරිත්‍රානුකූලව අත් හේදුවේ නැහැ.
හෝ, “එළවළු.”
හෝ, “හොඳම ආසනවල.”
හෝ, “සලකුණක් දාලා නැති.”
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙවල්.”
මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.