ලූක් 12:1-59

  • පරිසිවරුන්ගේ මුහුන් (1-3)

  • මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට බය වෙන්න (4-7)

  • අනිත් අය ඉස්සරහා ක්‍රිස්තුස්ව පිළිගන්න එක (8-12)

  • මෝඩ විදිහට වැඩ කරපු පොහොසතා ගැන උදාහරණය (13-21)

  • කනස්සලු වෙන එක නවත්තන්න (22-34)

    • කුඩා රැළ (32)

  • සෝදිසියෙන් ඉන්න (35-40)

  • විශ්වාසවන්ත සේවකයා සහ අවිශ්වාසවන්ත සේවකයා (41-48)

  • සාමය දෙන්න නෙමෙයි, භේද ඇති කරන්න (49-53)

  • සිද්ධ වෙන දේවල අර්ථය තේරුම්ගන්න එක වැදගත් (54-56)

  • ප්‍රශ්න විසඳගන්න විදිහ (57-59)

12  ඒ වෙලාවේ දහස් ගාණක් සෙනඟ එතනට එකතු වෙන්න පටන්ගත්තා. සෙනඟ කොච්චර තෙරපි තෙරපි හිටියාද කිව්වොත් එයාලට කකුල තියාගන්නවත් හරියට ඉඩක් තිබුණේ නැහැ. යේසුස් ඒ වෙලාවේ මුලින්ම කතා කළේ ඔහුගේ ගෝලයන්ට. ඔහු එයාලට මෙහෙම කිව්වා. “පරිසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න. මුහුන්වලින් අදහස් වෙන්නේ එයාලාගේ හිත්වල තියෙන කුහකකම්.+  ඒත් පරෙස්සමින් හංගලා තියෙන හැම දෙයක්ම එළි වෙනවා. රහසිගතව තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම හැමෝටම දැනගන්න ලැබෙනවා.+  ඉතින් ඔයාලා අඳුරු තැන්වල කියන දේවල් එළිමහනේදී* අහන්න ලැබෙයි. ඔයාලාගේ කාමරවල ඔයාලා රහසින් කියන දේවල් වහලවල් උඩ ඉඳන් හැමෝටම ඇහෙන්න දේශනා කරයි.  ඔයාලා මගේ යාළුවෝ.+ ඉතින් මං ඔයාලට කියන්නේ, ඔයාලව* මරලා දැම්මත් ඊට වඩා දෙයක් කරන්න බැරි අයට බය වෙන්න එපා කියලයි.+  ඒත් ඔයාලා බය වෙන්න ඕනෙ කාටද කියලා මං කියන්නම්. ඔයාලා ඇත්තටම බය වෙන්න ඕනෙ+ ඔයාලව මරලා දාන්න විතරක් නෙමෙයි ගෙහෙන්නාවට*+ නියම කරන්නත් බලය තියෙන කෙනාටයි.  ගේකුරුල්ලන් පස්දෙනෙක්ව විකුණන්නේ හරිම අඩු වටිනාකමක් තියෙන කාසි* දෙකකට නේද? ඒත් දෙවියන්ට උන්ගෙන් එකෙක්වත් අමතක වෙන්නේ නැහැ.*+  ඔයාලා ගැන කියන්න පුළුවන් මොනවාද? දෙවියන් ඔයාලාගේ හැම කෙස්ගහක්ම ගණන් කරලයි තියෙන්නේ.+ ඒ නිසා බය වෙන්න එපා. ඔයාලා ගේකුරුල්ලන් හුඟදෙනෙක්ට වඩා ගොඩක් වටිනවා.+  “මං ඔයාලට කියන්නේ, මාව පිළිගන්නවා කියලා කෙනෙක් අනිත් අය ඉස්සරහා කියනවා නම්+ මනුෂ්‍ය පුත්‍රයාත් ඒ කෙනාව පිළිගන්නවා කියලා ස්වර්ගයේ ඉන්න දේවදූතයන් ඉස්සරහා කියනවා.+  ඒත් කෙනෙක් අනිත් අය ඉස්සරහා මාව ප්‍රතික්ෂේප කරනවා නම් එයාවත් දේවදූතයන් ඉස්සරහා ප්‍රතික්ෂේප කරනවා.+ 10  කෙනෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව දෙයක් කිව්වොත් එයාට සමාව ලැබෙයි. ඒත් කෙනෙක් දෙවියන්ගේ බලය වැඩ කරන විදිහ දැකදැකත් ඒකට අපහාස කරනවා නම් එයාට කොහොමටවත් සමාවක් ලැබෙන්නේ නැහැ.+ 11  මිනිස්සු ප්‍රසිද්ධියේ රැස් වෙන තැනකට* හරි රජයේ නිලධාරීන් ඉස්සරහට හරි වෙනත් බලධාරීන් ඉස්සරහට හරි ඔයාලව අරන් ගියොත් ඔයාලා නිදොස් කියලා ඔප්පු කරන්නේ කොහොමද කියන එක ගැන හිතහිත කරදර වෙන්න එපා. කියන්න ඕනෙ මොනවාද කියන එක ගැන හිතලා කරදර වෙන්නත් එපා.+ 12  මොකද ඒ වෙලාවේ ඔයාලා කියන්න ඕනෙ මොනවාද කියලා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන්* ඔයාලට උගන්වයි.”+ 13  එතකොට සෙනඟ අතරේ හිටපු කෙනෙක් යේසුස්ට මෙහෙම කිව්වා. “ගුරුතුමනි, අපේ තාත්තාගෙන් ලැබුණ උරුමය මාත් එක්ක බෙදාගන්න කියලා මගේ අයියාට කියන්න.” 14  ඒත් යේසුස් “ඔයාලාගේ විනිශ්චයකරු විදිහට හරි ඔයාලාගේ නඩු විසඳන කෙනා* විදිහට හරි මාව පත් කළේ කවුද” කියලා ඒ කෙනාගෙන් ඇහුවා. 15  ඊටපස්සේ ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න. එක එක හේතු නිසා හිත්වල කෑදරකමක් ඇති වෙන්න පුළුවන්.+ ඒ ගැන පරෙස්සම් වෙන්න. මොකද කෙනෙක්ට කොච්චර දේවල් තිබුණත් එයා ජීවත් වෙන්නේ ඒ දේවල් නිසා නෙමෙයි.”+ 16  ඊටපස්සේ ඔහු එයාලට මේ උදාහරණය කිව්වා. “එක පොහොසත් මිනිසෙක් හිටියා. එයාට අයිති ඉඩමෙන් හොඳ අස්වැන්නක් ලැබුණා. 17  ඉතින් එයා මෙහෙම හිතුවා. ‘මගේ අස්වැන්න එකතු කරලා තියන්න තැනක් නැහැනේ. මං දැන් මොකද කරන්නේ? 18  ඉස්සෙල්ලාම මං මට තියෙන ගබඩා ටික කඩලා ඊට වඩා ලොකු ගබඩා හදනවා.+ එතකොට මට පුළුවන් ඔක්කොම ධාන්‍ය ටිකයි, මං ගාව තියෙන අනිත් හැම දෙයක්මයි ඒවාවල ගබඩා කරන්න. 19  එතකොට අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් ඇති තරම් මට තියෙයි. මට තියෙන්නේ හොඳට කාලා බීලා සතුටු වෙලා විවේකයෙන් ඉන්න.’ 20  ඒත් දෙවියන් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා හිතන විදිහ කොච්චර මෝඩද! අද රෑම ඔයාගේ ජීවිතය නැති වෙයි. එතකොට ඔයා එකතු කරගත්ත දේවල් අයිති වෙන්නේ කාටද?’+ 21  දෙවියන් ඉස්සරහා පොහොසත් වෙන්නේ නැතුව*+ තමන්ටම වස්තු රැස් කරගන්න කෙනෙක්ට වෙන්නෙත් ඒ දේමයි.” 22  ඊටපස්සේ යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “ඒ නිසයි මං ඔයාලට මෙහෙම කියන්නේ. කන්නේ මොනවාද කියලා හිතහිත ඔයාලාගේ ජීවිත ගැනයි, අඳින්නේ මොනවාද කියලා හිතහිත ඔයාලාගේ ශරීර ගැනයි කනස්සලු වෙන එක නවත්තන්න.+ 23  මොකද කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වටිනවා. 24  දැන් කපුටන් ගැන ටිකකට හිතන්න. උන් බීජ වපුරන්නෙවත් අස්වැන්න නෙළාගන්නෙවත් නැහැ. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැහැ. ඒත් දෙවියන් උන්ව පෝෂණය කරනවා.+ ඔයාලා කුරුල්ලන්ට වඩා ගොඩක් වටින්නේ නැද්ද?+ 25  කනස්සලු වුණා කියලා ඔයාලාගේ ආයු කාලය මොහොතකින් හරි* දික් කරගන්න ඔයාලාගෙන් කාට හරි පුළුවන්ද? 26  ඒ වගේ පොඩි දෙයක්වත් ඔයාලට කරගන්න බැරි නම් අනිත් දේවල් ගැන කනස්සලු වෙන එකෙන් වැඩක් තියෙනවාද?+ 27  ලිලී මල් වැවෙන විදිහ ගැන ටිකක් හිතන්න. ඒවා මහන්සි වෙලා වැඩ කරන්නෙවත් ඇඳුම් මහගන්නෙවත් නැහැ.* ඒත් මං ඔයාලට කියන්නේ, ඉස්තරම්ම වර්ගයේ ඇඳුම් ඇඳගෙන හිටිය සලමොන් රජවත් කවදාවත් මේ මල් තරම් ලස්සනට ඇඳ පැලඳගෙන හිටියේ නැහැ.+ 28  ඉතින් ඇයි ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දෙන්නේ? අද තිබිලා හෙට ගිනි උදුනේ පුච්චලා දාන තණබිමේ පැළෑටි දෙවියන් ඒ විදිහට සරසනවා නම් ඔහු ඔයාලව ඇඳුම්වලින් සරසන්න ඊටත් වඩා කොච්චර සතුටු වෙනවාද! 29  ඒ නිසා කන්නේ මොනවාද, බොන්නේ මොනවාද කියලා හැම වෙලේම හිතහිත ඉන්න එපා. අනවශ්‍ය විදිහට දේවල් ගැන කනස්සලු වෙන එක නවත්තන්න.+ 30  ලෝකේ ඉන්න ජාතීන් නම් ඒ හැම දේම ලබාගන්න එයාලාගේ මුළු ජීවිතේම කැප කරනවා. ඒත් ඒ දේවල් ඔයාලට අවශ්‍යයි කියලා ඔයාලාගේ තාත්තා දන්නවා.+ 31  ඒ නිසා දිගටම ඔහුගේ රාජ්‍යයට මුල් තැන දෙන්න. එතකොට ඔයාලට ඕනෙ කරන ඒ හැම දේම ඔහු ඔයාලට දෙනවා.+ 32  “කුඩා රැළ,+ බය වෙන්න එපා. මොකද ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ තාත්තා ඔයාලට රාජ්‍යය දෙන්න ඔහුගේ අනුමැතිය දීලා තියෙනවා.+ 33  ඔයාලට අයිති දේවල් විකුණලා දුප්පත් අයට උදව් කරන්න.+ කවදාවත් දිරලා යන්නේ නැති මුදල් පසුම්බි හදාගන්න. ඒ කියන්නේ ස්වර්ගයේ වස්තු රැස් කරගන්න. ඒවා කවදාවත් නැති වෙන්නේ නැහැ.+ හොරුන්ට ඒවා හොරකම් කරන්නවත් කාවන්ට ඒවා නාස්ති කරලා දාන්නවත් බැහැ. 34  ඔයාලාගේ වස්තුව තියෙන්නේ කොහෙද ඔයාලාගේ හිත් තියෙන්නෙත් එතනමයි. 35  “වැඩට සුදුසු ඇඳුම් ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්න.*+ ඔයාලාගේ පහන් දල්වලා තියාගන්න.+ 36  ස්වාමියා විවාහ උත්සවයට+ ගිහින් ආපහු එන කල් බලාගෙන ඉන්න දාසයන්+ වගේ වෙන්න. ඒ දාසයන් බලාගෙන ඉන්නේ ස්වාමියා ඇවිත් දොරට තට්ටු කරපු ගමන්ම දොර අරින්නයි. 37  ස්වාමියා එද්දී එයාගේ දාසයන් සෝදිසියෙන් ඉන්නවා කියලා එයා දැක්කොත් ඒ දාසයන්ට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද! ඇත්තටම මං ඔයාලට කියන්නේ, ස්වාමියා වැඩට සුදුසු ඇඳුමක් ඇඳගෙන* ඒ දාසන්ට මේසේ වටේ ඉඳගන්න කියලා එයාලට ඕනෙ කරන කෑම බීම එයාලා ළඟටම ගෙනත් දෙයි. 38  ස්වාමියා දෙවෙනි රැකවල් යාමයේ* නැත්නම් තුන්වෙනි රැකවල් යාමයේ* ආවත් ඒ දාසයන් සෝදිසියෙන් ඉන්නවා කියලා එයා දැක්කොත් ඒ දාසයන්ට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද! 39  ඒත් මේ දේ හිතට ගන්න. හොරා එන්නේ කොයි පැයේද කියලා ගෙදර අයිතිකරු දැනගෙන හිටියා නම් එයාගේ ගේ බිඳින්න එයා හොරාට ඉඩ දෙන්නේ නැහැ.+ 40  ඒ නිසා ඔයාලත් සූදානමින් ඉන්න. මොකද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔයාලා හිතන්නේ නැති පැයකදියි.”+ 41  එතකොට පේතෘස් “ස්වාමීනි, ඔයා මේ උදාහරණේ කිව්වේ අපිට විතරද නැත්නම් හැමෝටමද” කියලා ඇහුවා. 42  ස්වාමීන් මෙහෙම කිව්වා. “තමන්ගේ අනිත් සේවකයන්ව* බලාගන්නත් එයාලට ඕන කරන කෑම නියම වෙලාවට දෙන්නත් ස්වාමියා පත් කරපු විශ්වාසවන්ත සහ නුවණ ඇති සේවකයා* කවුද?+ 43  ස්වාමියා එද්දී ඒ දාසයා තමන්ට භාර දුන්න වැඩේ කරනවා කියලා ස්වාමියා දකිනවා නම් ඒ දාසයාට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද! 44  මං ඔයාලට කියන මේ දේ අනිවාර්යයෙන්ම වෙනවා. ස්වාමියා තමන්ට අයිති හැම දෙයක්ම බලා කියා ගන්නත් ඒ දාසයාව පත් කරයි. 45  ඒත් ඒ දාසයා ‘මගේ ස්වාමියා එන්න පරක්කුයි’ කියලා හිතන්න පටන් අරන් අනිත් දාස දාසීන්ට ගහලා කකා බිබී වෙරි වෙලා හිටියොත් එයාට වෙන්නේ මේ දේ.+ 46  ඒ දාසයාගේ ස්වාමියා එයා බලාපොරොත්තු වෙන්නේ නැති දවසක, හිතන්නේ නැති පැයකදී ඇවිත් එයාට දරුණු විදිහට දඬුවම් කරලා අවිශ්වාසවන්ත අය ඉන්න තැනට එයාව ඇදලා දානවා. 47  ස්වාමියා තමන්ගෙන් බලාපොරොත්තු වුණ දේ දැන දැනත් සූදානමින් හිටියේ නැති, ස්වාමියා කියපු දේ* කරපු නැති ඒ දාසයාට හුඟක් පහර කන්න සිද්ධ වෙයි.+ 48  ස්වාමියා බලාපොරොත්තු වුණ දේ හරියට තේරුම්ගන්නේ නැතුව, දඬුවම් ලබන්න වටින දේවල් කරපු දාසයාටත් පහර කන්න වෙනවා. ඒත් එයාට පහර ලැබෙන්නේ අඩුවෙන්. මොකද කෙනෙක්ට වැඩියෙන් දේවල් භාර දුන්නොත් ඒ කෙනාගෙන් වැඩියෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෙනෙක්ව හුඟක් දේවල් බලා කියා ගන්න පත් කළොත් ඒ කෙනාගෙන් අනිත් අයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා.+ 49  “මං ආවේ පොළොවේ ගින්නක් අවුළන්න. ඒක දැනටමත් ඇවිළිලා නම් මං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. 50  මට වෙනස් විදිහේ බව්තීස්මයකට මුහුණ දෙන්න වෙනවා. ඒ බව්තීස්මය ඉවර වෙන කල් මං ඉන්නේ ලොකු පීඩනයකින්!+ 51  මං ආවේ පොළොවට සාමය දෙන්න කියලා ඔයාලා හිතනවාද? නැහැ, මං ආවේ භේද ඇති කරන්නයි.+ 52  දැන් ඉඳන් එකම ගෙදර ඉන්න අය අතරේ භේද තියෙයි. ගෙදර පස්දෙනෙක් හිටියොත් එයාලාගෙන් තුන්දෙනෙක් දෙන්නෙක්ට විරුද්ධ වෙයි. දෙන්නෙක් තුන්දෙනෙක්ට විරුද්ධ වෙයි. 53  තාත්තා පුතාට විරුද්ධ වෙයි. පුතා තාත්තාට විරුද්ධ වෙයි. අම්මා දුවට විරුද්ධ වෙයි. දුව එයාගේ අම්මාට විරුද්ධ වෙයි. නැන්දම්මා එයාගේ ලේළිට විරුද්ධවත් ලේළි එයාගේ නැන්දම්මාට විරුද්ධවත් වැඩ කරයි.”+ 54  ඊටපස්සේ යේසුස් සෙනඟට මෙහෙමත් කිව්වා. “සාමාන්‍යයෙන් බස්නාහිර පැත්තෙන් වලාකුළක් එනවා දැක්ක ගමන්ම ඔයාලා කියනවා ‘කුණාටුවක් එනවා’ කියලා. ඒක ඒ විදිහටම වෙනවා. 55  ඒ වගේම දකුණෙන් හුළඟක් හමනවා දැක්කොත් ඔයාලා කියනවා ‘අද රස්නේ ගොඩක් වැඩි වෙයි’ කියලා. ඒකත් ඒ විදිහටම වෙනවා. 56  ඔයාලා කොච්චර කුහකද! අහසෙයි, පොළොවෙයි වෙන වෙනස්කම් දිහා බලලා වෙන්න යන දේ තේරුම්ගන්න ඔයාලට පුළුවන්. එහෙනම් ඇයි ඔයාලට මේ කාලයේ සිද්ධ වෙන දේවල අර්ථය තේරුම්ගන්න බැරි?+ 57  ඔයාලම හරි දේ මොකක්ද කියලා තේරුම් අරන් ඒ දේ කරන්නේ නැත්තේ ඇයි? 58  උදාහරණෙකට කෙනෙක් ඔයාලට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳගන්න නිලධාරියා ගාවට යන්න කලින්* ඉක්මනින් ඒ කෙනාව හම්බ වෙලා ප්‍රශ්නය විසඳගන්න. එහෙම කළේ නැත්නම් එයා ඔයාව විනිශ්චයකරු ඉස්සරහට අරන් යයි. විනිශ්චයකරු ඔයාව අධිකරණයේ නිලධාරියාට භාර දෙයි. එයා ඔයාව හිරේ දායි.+ 59  මං ඔයාලට කියන්නේ, ඔයාලා ළඟ තියෙන අන්තිම සතය* ගෙවන කල් ඔයාලට කොහොමටවත් එතනින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ.”

පාදසටහන්

මූ.අ., “ආලෝකයේදී.”
මූ.අ., “ඔයාලාගේ ශරීර.”
මූ.අ., “අසේරියන් කාසි.” උප. B14 බලන්න.
හෝ, “උන්ගෙන් එකෙක්වත් දෙවියන් ගණන් නොගෙන ඉන්නේ නැහැ.”
හෝ, “සිනගෝගවලට.”
මූ.අ., “දෙවියන්ගේ බලය.”
හෝ, “මැදිහත්කරු.”
ඒ කියන්නේ දෙවියන්ට මුල් තැන දෙන්නේ නැතුව.
මූ.අ., “රියනකින්වත්.” උප. B14 බලන්න.
මූ.අ., “රෙදි වියන්නෙවත් නැහැ.”
මූ.අ., “ඔයාලාගේ ඉණපටි බැඳගෙන ඉන්න.”
හෝ, “ඉණපටිය බැඳගෙන.”
මධ්‍යම රාත්‍රියේ ඉඳන් පාන්දර 3 අතර කාලය.
රෑ 9ත් මධ්‍යම රාත්‍රියත් අතර කාලය.
හෝ, “ගෙදර වැඩ කරන සේවකයන්ව.”
හෝ, “නිවස භාර සේවකයා.”
හෝ, “ස්වාමියා කැමති දේ.”
මූ.අ., “නඩුවට යන අතරතුරේ.”
මූ.අ., “අන්තිම ලෙප්ටන් කාසිය.” උප. B14 බලන්න.