ලූක් 13:1-35

  • පසුතැවිලි වුණේ නැත්නම් විනාශ වෙයි (1-5)

  • පල දරන්නේ නැති අත්තික්කා ගහ ගැන උදාහරණය (6-9)

  • කෙළින් හිටගන්න බැරි කාන්තාවක්ව සබත් දවසේදී සුව කරයි (10-17)

  • අබ ඇටය සහ මුහුන් ගැන උදාහරණ (18-21)

  • පටු දොරටුවෙන් ඇතුල් වෙන්න මහන්සි වෙන්න ඕනේ (22-30)

  • හෙරොද් “කපටි නරියෙක් වගේ” (31-33)

  • යේසුස් යෙරුසලම දිහා බලලා දුක් වෙයි (34, 35)

13  ඒ වෙලාවේ මිනිස්සු කට්ටියක් යේසුස් ළඟට ඇවිත් ගලීලයේ හිටපු කීපදෙනෙක්ට වෙච්ච දෙයක් ගැන කිව්වා. ඒ අය පූජා ඔප්පු කරකර ඉද්දී පිලාත් එයාලව මරලා එයාලාගේ ලේ ඒ පූජාවලට මිශ්‍ර කරලා තිබුණා.  ඒක ඇහුවාම යේසුස් එයාලට මෙහෙම කිව්වා. “එයාලට ඒ වගේ දෙයක් වුණේ එයාලා ගලීලයේ ඉන්න අනිත් අයට වඩා පව්කාරයන් වුණ නිසා කියලා ඔයාලා හිතනවාද?  නැහැ. ඒක එහෙම නෙමෙයි. ඒත් මං ඔයාලට කියන්නේ ඔයාලා පසුතැවිලි වුණේ නැත්නම් ඔයාලත් එයාලා වගේ විනාශ වෙයි.+  සිලෝම් පොකුණ ළඟ තිබුණ කුලුන කඩන් වැටුණ වෙලාවේ ඒකට යට වෙලා 18දෙනෙක් මැරුණා ඔයාලට මතක ඇති. ඔයාලා හිතන්නේ එයාලට ඒ දේ වුණේ එයාලා යෙරුසලමේ ඉන්න අනිත් අයට වඩා ගොඩක් වැරදි කරලා තිබුණ නිසාද?  කොහොමටවත් නැහැ. ඒත් පසුතැවිලි වෙන්නේ නැත්නම් ඔයාලත් එයාලා වගේ විනාශ වෙයි.”  ඊටපස්සේ යේසුස් එයාලට මේ උදාහරණේ කිව්වා. “මිනිසෙක් එයාගේ මිදිවත්තේ අත්තික්කා ගහක් පැළ කළා. කාලෙකට පස්සේ එයා ඇවිත් ගහේ ගෙඩි තියෙනවාද කියලා බැලුවා. ඒත් ඒකේ එක ගෙඩියක්වත් තිබුණේ නැහැ.+  ඊටපස්සේ එයා මිදිවත්තේ වැඩ කරන කෙනාට මෙහෙම කිව්වා. ‘මං දැන් අවුරුදු තුනක්ම මේ ගහේ ගෙඩි එයි කියලා බලන් හිටියා. ඒත් තාම එක ගෙඩියක්වත් ආවේ නැහැ. ඒ නිසා ගහ කපලා දාන්න! මොකටද මේ වගේ වැඩකට නැති ගහක් තියාගෙන ඉන්නේ?’  ඒත් වත්තේ වැඩ කරන කෙනා මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, අපි තව අවුරුද්දක් බලමු. මම ගහ වටේට හාරලා පොහොර දාලා බලන්නම්.  ගෙඩි ආවොත් හොඳයි. එහෙම නැත්නම් ඒක කපලා දාන්න.’”+ 10  සබත් දවසක යේසුස් සිනගෝගයක උගන්වමින් හිටියා. 11  භූතයෙක්ගේ බලපෑම නිසා අවුරුදු 18ක් තිස්සේ අසනීප වෙලා හිටපු කාන්තාවක් එතන හිටියා. එයා හිටියේ දෙකට නැමිලා. මොකද එයාට කෙළින් හිටගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. 12  යේසුස් එයාව දැක්කාම එයාට කිව්වා “ඔයාගේ අසනීපෙන් ඔයා දැන් නිදහස්” කියලා.+ 13  එහෙම කියලා යේසුස් එයාව ඇල්ලුවා. ඒ වෙලාවෙම එයා කෙළින් හිටගෙන දෙවියන්ට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. 14  ඒත් යේසුස් ඒ කාන්තාවව සබත් දවසේදී සුව කරපු නිසා සිනගෝගයේ නායකයාට හොඳටම කේන්ති ගිහින් සෙනඟට මෙහෙම කිව්වා. “වැඩ කරන්න සතියට දවස් හයක්ම තියෙනවා.+ ඉතින් අසනීපයක් සුව කරගන්න ඕනෙ නම් සබත් දවසක නැතුව වෙන දවසක ඇවිත් සුව කරගන්න.”+ 15  ඒත් ස්වාමීන් මෙහෙම උත්තර දුන්නා. “ඔයාලා කොච්චර කුහකද!+ ඔයාලා සබත් දවසකදී වුණත් ඔයාලාගේ ගොනෙක්ට හරි බූරුවෙක්ට හරි වතුර ටිකක් දෙන්න ඌව ලිහලා වතුර තියෙන තැනකට අරන් යන්නේ නැද්ද?+ 16  ඒත් මේ කාන්තාව ආබ්‍රහම්ගේ දුවෙක්. සාතන් අවුරුදු 18ක් තිස්සේ එයාව හිර කරගෙන හිටියා. ඉතින් සබත් දවසේදී සාතන්ගෙන් එයාව නිදහස් කරන එක වැරදියි කියලා කියන්නේ කොහොමද?” 17  යේසුස් ඒ දේවල් කිව්වාම ඔහුව විවේචනය කරපු හැමෝටම ලැජ්ජා හිතුණා. ඒත් සෙනඟ ඔහු කරපු පුදුම දේවල් දැකලා ගොඩක් සතුටු වුණා.+ 18  ඊටපස්සේ යේසුස් මෙහෙම කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යය මොන වගේද? ඒක සමාන කරන්න පුළුවන් මොනවාටද? 19  ඒක හරියට කෙනෙක් එයාගේ වත්තේ පැළ කරපු අබ ඇටයක් වගේ. ඒක පැළ වෙලා ගහක් වුණා. අහසේ කුරුල්ලන් ඇවිත් ඒකේ අතුවල කූඩු හදාගත්තා.”+ 20  ඔහු මෙහෙමත් කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යය තව මොකකටද සමාන කරන්න පුළුවන්? 21  ඒක හරියට පිටිවලට මිශ්‍ර කරන මුහුන් වගේ. කාන්තාවක් ඒ මුහුන් ටික අරගෙන පිටි සෙයා මිනුම්* තුනකට මිශ්‍ර කරනවා. ඒ මුහුන් නිසා මුළු පිටි පිඩම පිපෙනවා.”+ 22  යේසුස් යෙරුසලමට යන අතරේ නගරයෙන් නගරයටත් ගමින් ගමටත් ගිහින් ඉගැන්නුවා. 23  ඔය අතරේ මිනිසෙක් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනි, ගැලවෙන්නේ ටිකදෙනෙක් විතරද?” එතකොට එතන හිටපු අයට ඔහු මෙහෙම කිව්වා. 24  “පටු දොරටුවෙන් ඇතුල් වෙන්න ලොකු වෙහෙසක් දරන්න.+ මොකද මං ඔයාලට කියන්නේ හුඟදෙනෙක් ඒ දොරටුවෙන් ඇතුල් වෙන්න උත්සාහ කළත් එයාලට ඒකෙන් ඇතුල් වෙන්න බැරි වෙනවා. 25  ගෙදර අයිතිකරු නැඟිටලා, දොරට අගුල් දැම්මාට පස්සේ ඔයාලා එළියේ ඉඳන් තට්ටු කරකර ‘ස්වාමීනි, දොර ඇරලා අපිව ඇතුළට ගන්න’ කියලා කියයි.+ ඒත් එයා ඔයාලාගෙන් මෙහෙම අහයි. ‘ඔයාලා කොහේ ඉඳන්ද ආවේ? මං නම් ඔයාලව අඳුරන්නේ නැහැ.’ 26  එතකොට ඔයාලා මෙහෙම කියයි. ‘අපි ඔයාත් එක්ක එකට කෑවා, බිව්වා. ඔයා අපේ නගරෙට ඇවිත් ඒකේ ප්‍රධාන පාරවල්වල ඉඳන් අපිට ඉගැන්නුවා.’+ 27  ඒත් ගෙදර අයිතිකරු ‘දුෂ්ටයෙනි,* මගෙන් අහකට යන්න! ඔයාලා කොහෙන් ආවාද කියලවත් මම දන්නේ නැහැ’ කියලා ඔයාලට කියයි. 28  එදාට ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ අනාගතවක්තෘවරුන් හැමෝම දෙවියන්ගේ රාජ්‍යයේ ඉන්නවා ඔයාලා දකියි. ඒත් ඔයාලව එළියට ඇදලා දාලා තියෙයි.+ එහෙදී අඬඅඬ දත්මිටි කකා ඉන්න ඔයාලට සිද්ධ වෙයි. 29  ඒ වගේම සෙනඟ උතුරෙන්, දකුණෙන්, බස්නාහිරෙන් සහ නැඟෙනහිරෙන් ඇවිත් දෙවියන්ගේ රාජ්‍යයේ සූදානම් කරලා තියෙන මේසය වටේ ඉඳගනියි. 30  මේ දේත් මතක තියාගන්න. අන්තිමයන් වෙලා ඉන්න සමහර අය පළවෙනියන් වෙනවා. පළවෙනියන් වෙලා ඉන්න සමහර අය අන්තිමයන් වෙනවා.”+ 31  ඒ එක්කම වගේ පරිසිවරු කීපදෙනෙක් ඇවිත් ඔහුට මෙහෙම කිව්වා. “ඉක්මනට මෙහෙන් යන්න. හෙරොද් ඔයාව මරන්න හොයනවා.” 32  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “හෙරොද් හරියට කපටි නරියෙක් වගේ. එයාට ගිහින් මෙහෙම කියන්න. ‘අදයි, හෙටයි මං මේ පළාතේ ඉඳන් භූතයන් වැහිලා ඉන්න අයවයි, අසනීප වෙලා ඉන්න අයවයි සුව කරනවා. තුන්වෙනි දවස වෙද්දී මගේ වැඩ ටික ඉවර වෙලා තියෙයි.’ 33  ඒත් අදත් හෙටත් අනිද්දාත් මං මගේ ගමන යන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අනාගතවක්තෘවරයෙක්ව යෙරුසලමෙන් පිට මරලා දාන්නේ නැහැ.*+ 34  යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරලා දාපු, තමන් ළඟට එවපු අයට ගල් ගහපු නුවර!+ කිකිළියක් ඇගේ පැටවුන්ව පියාපත් යටට එකතු කරගන්නවා වගේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී පාරක් නම් උත්සාහ කළාද! ඒත් ඔබ ඒකට කැමති වුණේ නැහැ.+ 35  බලන්න! දෙවියන් ඔබේ ගෘහය අත්හැරලා දාලා!+ ඇත්තටම මං කියන්නේ ‘යෙහෝවාගේ* නමින් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා’ කියලා ඔබ කියන දවස එන කල් ඔබට ආයෙත් නම් මාව දකින්න ලැබෙන්නේ නැහැ.”+

පාදසටහන්

සෙයා මිනුමක් කියන්නේ ලීටර් 7.33ක්. උප. B14 බලන්න.
මූ.අ., “අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි.”
හෝ, “මරලා දායි කියලා හිතාගන්නවත් බැහැ.”
උප. A5 බලන්න.