ලූක් 14:1-35

  • ඇඟ ඉදිමෙන රෝගයක් තිබුණ මිනිසෙක්ව යේසුස් සබත් දවසේදී සුව කරයි (1-6)

  • කෙනෙක්ගේ ගෙදරට ගියාම නිහතමානීව හැසිරෙන්න (7-11)

  • ඔයාට ආපහු දෙයක් දෙන්න බැරි අයට ආරාධනා කරන්න (12-14)

  • ලැබුණ ආරාධනාව ප්‍රතික්ෂේප කරපු අය ගැන උදාහරණය (15-24)

  • යේසුස්ගේ අනුගාමිකයන් වෙන අයට කරන්න වෙන කැප කිරීම් (25-33)

  • ලුණුවල ලුණු රසය නැති වෙද්දී (34, 35)

14  සබත් දවසකදී යේසුස් පරිසිවරුන් අතරේ හිටිය ප්‍රධානියෙක්ගේ ගෙදර කෑමකට ගියා. එතන හිටිය හැමෝම ඔහු දිහා හොඳට බලාගෙනයි හිටියේ.  ඇඟපත ඉදිමෙන රෝගයක්* තිබුණ මිනිසෙක් ඔහු ඉස්සරහා හිටියා.  එයාව දැක්කාම යේසුස් නීතිය ගැන හොඳ දැනුමක් තිබුණ අයගෙනුයි, පරිසිවරුන්ගෙනුයි මෙහෙම ඇහුවා. “නීතියේ කියන විදිහට සබත් දවසේදී කෙනෙක්ව සුව කරන එක හරිද, වැරදිද?”+  ඒත් එයාලා ඒකට උත්තරයක් දුන්නේ නැහැ. ඉතින් ඔහු ඒ කෙනාගේ අතින් අල්ලලා එයාව සුව කරලා එතනින් පිටත් කරලා යැව්වා.  ඊටපස්සේ යේසුස් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “සබත් දවසේදී ඔයාලාගේ පුතා හරි ඔයාලට අයිති ගොනෙක් හරි ළිඳකට වැටුණොත්+ ඔයාලා ඉක්මනටම ගිහින් ඒ පුතාව නැත්නම් සතාව ළිඳෙන් එළියට ගන්නේ නැද්ද?+ ඔයාලාගෙන් එක් කෙනෙක් හරි එහෙම නොකර ඉන්නවාද?”  ඒකට උත්තර දෙන්න එයාලට බැරි වුණා.  ඊටපස්සේ කෑමට ආරාධනා කරලා තිබුණ අය විශේෂ අමුත්තන්ට වෙන් කරපු ආසනවලට ගිහින් ඉඳගන්නවා+ යේසුස් දැක්කා. ඉතින් ඔහු එයාලට මෙහෙම කිව්වා.  “කෙනෙක් ඔයාලට විවාහ උත්සවයකට ආරාධනා කළොත් හොඳම ආසනවල ඉඳගන්න එපා.+ මොකද ඔයාලට වඩා වැදගත් කෙනෙක්ට ආරාධනාවක් ලැබිලා තියෙන්න පුළුවන්.  එතකොට ආරාධනා කරපු කෙනා ඇවිත් ‘ඔයා ඉඳන් ඉන්න තැන මෙයාට දෙන්න’ කියලා කිව්වොත් ඔයාලට වෙන්නේ ලැජ්ජාවෙන් අන්තිමට තියෙන ආසනයට යන්නයි. 10  ඉතින් ඔයාලට ආරාධනාවක් ලැබුණාම අන්තිමට තියෙන ආසනය තෝරගන්න. එතකොට ඔයාලට ආරාධනා කරපු කෙනා ඇවිල්ලා ‘ඉස්සරහින්ම තියෙන ආසනයකට යන්න’ කියලා කියයි. ඒකෙන් අනිත් අමුත්තන් ඉස්සරහා ඔයාලට ගෞරවය ලැබෙයි.+ 11  උසස් වෙන්න උත්සාහ කරන හැමෝවම පහත් කරයි. ඒත් නිහතමානීව වැඩ කරන හැම කෙනෙක්වම උසස් කරයි.”+ 12  ඊටපස්සේ යේසුස් ඔහුට කෑමට ආරාධනා කරපු කෙනාට මෙහෙම කිව්වා. “ඔයා දවල් කෑමකට නැත්නම් රෑ කෑමකට කාට හරි ආරාධනා කරන්න හිතන් ඉන්නවා නම් ඒකට ඔයාගේ යාළුවන්ට, සහෝදරයන්ට, නෑදෑයන්ට, පොහොසත් අසල්වැසියන්ට ආරාධනා කරන්න එපා. මොකද එයාලත් පස්සේ දවසක ඔයාට කෑමකට ආරාධනා කරයි. ඒක හරියට ඔයා එයාලා වෙනුවෙන් දෙයක් කරපු නිසා එයාලත් ඔයා වෙනුවෙන් දෙයක් කරනවා වගේ. 13  ඒත් ඔයා කෑමක් ලෑස්ති කරද්දී දුප්පත්, කොර, අන්ධ, ආබාධයක් තියෙන අයට ආරාධනා කරන්න.+ 14  එතකොට ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද ආපහු ඔයාට කිසිම දෙයක් දෙන්න එයාලට පුළුවන්කමක් නැහැ. ධර්මිෂ්ඨ අයව නැවත නැඟිට්ටවන කාලයේදී+ ඔයාට ඒ වෙනුවෙන් ආශීර්වාද ලැබෙයි.” 15  එතන හිටපු අමුත්තෙක් යේසුස් කියපු දේ අහලා මෙහෙම කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යයේදී කෑමකට ආරාධනා ලබන* කෙනාට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද!” 16  එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. “මිනිසෙක් ලොකු භෝජන සංග්‍රහයක්+ ලෑස්ති කරලා රෑ කෑමට හුඟදෙනෙක්ට ආරාධනා කළා. 17  භෝජන සංග්‍රහය පටන්ගන්න වෙලාව ආවාම එයා එයාගේ දාසයාව යවලා ‘එන්න, දැන් ඔක්කොම ලෑස්ති කරලයි තියෙන්නේ’ කියලා ආරාධනා කරපු අයට දැන්නුවා. 18  ඒත් ඒ හැමෝම එක එක හේතු මවලා කෑමට එන්න බැහැ කියලා කිව්වා.+ පළවෙනි කෙනා මෙහෙම කිව්වා. ‘මං කෙතක් ගත්තා. ඒකේ වැඩ ටික බලන්න මං දැන් යන්න ඕනේ. මට සමාවෙන්න. මට එන්න විදිහක් නැහැ.’ 19  තව කෙනෙක් ‘මං හරක් ජෝඩු* පහක් සල්ලිවලට ගත්තා. උන් වැඩට හොඳද කියලා බලන්න මං දැන් යනවා. ඉතින් මට එන්න විදිහක් නැහැ. මට සමාවෙන්න’ කියලා කිව්වා.+ 20  තව කෙනෙක් කිව්වා ‘මම මේ දැන් විවාහ වුණේ. ඒ නිසා මට එන්න බැහැ’ කියලා. 21  ඉතින් ඒ දාසයා ඇවිත් එයාලා කියපු දේවල් ස්වාමියාට කිව්වා. ස්වාමියාට හොඳටම කේන්ති ගිහින් දාසයාට මෙහෙම කිව්වා. ‘දැන්මම නගරේ ප්‍රධාන පාරවල්වලටත් අතුරු පාරවල්වලටත් යන්න. ඒ පාරවල්වල ඉන්න දුප්පත්, අන්ධ, කොර, ආබාධ තියෙන අයව මෙතනට එක්කන් එන්න.’ 22  ටික වෙලාවකට පස්සේ දාසයා ඇවිත් ‘ස්වාමීනි, ඔබ කියපු දේ මං කළා. ඒත් තව ඉඩ තියෙනවා’ කියලා කිව්වා. 23  ඉතින් ස්වාමියා දාසයාට මෙහෙම කිව්වා. ‘මගේ ගෙදර පිරිලා ඉතිරිලා යන තරමටම සෙනඟ ඉන්න ඕනේ.+ ඒ නිසා නගරෙන් පිට තියෙන පාරවල්වලටත් අතුරු පාරවල්වලටත් ගිහින් හම්බ වෙන අයව කොහොමහරි මගේ ගෙදරට එක්කගෙන එන්න. 24  මම කලින් ආරාධනා කරපු කිසිම කෙනෙක්ට මං ලෑස්ති කරපු කෑම වේල කන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+ 25  ලොකු සෙනඟක් යේසුස් එක්ක ඇවිදගෙන ගිය අවස්ථාවක ඔහු එයාලා දිහා බලලා මෙහෙම කිව්වා. 26  “කෙනෙක්ට මං ළඟට එන්න ඕනෙ නම් එයා එයාගේ තාත්තාට, අම්මාට, බිරිඳට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට වඩා මට ආදරේ කරන්න ඕනේ.* ඇත්තටම එයා තමන්ගේ ජීවිතේටත් වඩා මට ආදරේ කරන්න ඕනේ.*+ එහෙම කළේ නැත්නම් එයාට මගේ ගෝලයෙක් වෙන්න බැහැ.+ 27  කෙනෙක් එයාගේ වධකණුව* උස්සගෙන මගේ පිටිපස්සෙන් ආවේ නැත්නම් එයාට මගේ ගෝලයෙක් වෙන්න බැහැ.+ 28  උදාහරණෙකට හිතන්න ඔයාලාගෙන් කෙනෙක්ට ගොඩනැඟිල්ලක් හදන්න ඕනෙ වෙනවා කියලා. ඒක හදලා ඉවර කරන්න ඕනෙ කරන සල්ලි එයා ළඟ තියෙනවාද කියලා එයා මුලින්ම ගණන් බලන්නේ නැද්ද? 29  එහෙම කළේ නැත්නම් එයාට දාන්න වෙන්නේ ඒකේ අත්තිවාරම විතරයි. ඒක හදලා ඉවර කරන්න එයාට බැරි වෙයි. එතකොට බලන් ඉන්න අය එයාට හිනා වෙලා 30  මෙහෙම කියයි. ‘මේ මනුස්සයාට පටන්ගත්ත වැඩේ ඉවර කරගන්නවත් බැරි වුණානේ.’ 31  මේ උදාහරණේ ගැනත් හිතන්න. රජෙක් තව රජෙක්ට විරුද්ධව යුද්ධ කරන්න ලෑස්ති වෙනවා. ඒ රජට ඉන්නේ සෙබළු 10,000යි. ඒත් සතුරු හමුදාවේ සෙබළු 20,000ක් ඉන්නවා. එයාගේ හමුදාවේ ඉන්න සෙබළුන්ට සතුරු හමුදාව පරද්දන්න පුළුවන් වෙයිද කියලා එයා යුද්ධයට යන්න කලින් සාකච්ඡා කරලා බලන්නේ නැද්ද? 32  සටන ජය ගන්න බැහැ කියලා එයාට තේරුණොත් සතුරු හමුදාව දුර ඉද්දීම එයා තානාපතීන් පිරිසක්ව යවලා එයාලා එක්ක සමාදාන වෙනවා. 33  ඒ වගේ, ඔයාලාගෙන් කෙනෙක් තමන් ළඟ තියෙන හැම දෙයක්ම අත්හරින්නේ නැත්නම් එයාට මගේ ගෝලයෙක් වෙන්න බැහැ.+ 34  “ලුණු කියන්නේ ප්‍රයෝජනවත් දෙයක්. ඒත් ලුණුවල ලුණු රසය නැති වුණොත් ඒ රස ආපහු ගන්නේ කොහොමද?+ 35  ඒවා පස් විදිහටවත් පොහොර විදිහටවත් පාවිච්චි කරන්න බැහැ. ඒවා වීසි කරලා දාන්න වෙනවා. ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න.”*+

පාදසටහන්

මූ.අ., “ඩ්‍රොප්සි කියන රෝගය.” මේ ලෙඩේ නිසා ශරීරයේ ඕනෑවට වඩා වතුර එකතු වෙනවා.
හෝ, “කෑම කන.”
මූ.අ., “වියගහකට බැඳපු හරක් ජෝඩු.”
මූ.අ., “පවුලේ අයට වෛර කරන්න ඕනේ.”
මූ.අ., “තමන්ගේ ජීවිතේටත් වෛර කරන්න ඕනේ.”
මූ.අ., “කන් තියෙන අය ඇහුම්කන් දෙන්න.”