ලූක් 15:1-32

  • නැති වුණ බැටළුවා ගැන උදාහරණය (1-7)

  • නැති වුණ කාසිය ගැන උදාහරණය (8-10)

  • අකීකරු පුතාගේ උදාහරණය (11-32)

15  යේසුස් උගන්වන දේවල් අහන්න බදු එකතු කරන හැමෝමත් වැරදි දේවල් කරපු හැමෝමත් ඔහු ළඟට ආවා.+  ඒක දැක්කාම පරිසිවරුයි, නීතිය පිටපත් කරන අයයි මෙහෙම කතා වෙන්න පටන්ගත්තා. “මේ මනුස්සයා පව්කාරයන්ටත් එයා ළඟට එන්න දෙනවානේ. ඒ මදිවට එයාලා එක්ක කෑමත් කනවා!”  එතකොට ඔහු එයාලට මේ උදාහරණය කිව්වා.  “ඔයාලා අතරේ ඉන්න කෙනෙක්ට බැටළුවන් 100ක් ඉන්නවා කියලා හිතන්න. උන්ගෙන් එකෙක් නැති වුණොත් ඒ කෙනා අනිත් 99දෙනාවම පාළුකරයේ තියලා නැති වුණ බැටළුවාව හොයාගෙන යන්නේ නැද්ද? ඒ කෙනා ඒ බැටළුවාව හම්බ වෙන කල්ම ඌව හොයාගෙන යනවා.+  ඌව හම්බ වුණාම එයා ලොකු සතුටකින් ඌව කරේ තියාගෙන  ගෙදර යනවා. ගෙදර ගියාම එයා එයාගේ යාළුවන්ටයි, අහළ පහළ අයටයි කියයි ‘ඇවිල්ලා මාත් එක්ක සතුටු වෙන්න. මොකද නැති වෙච්ච මගේ බැටළුවාව මං හොයාගත්තා’ කියලා.+  ඒ නිසා මං ඔයාලට කියන්නේ, පසුතැවිලි වෙන්න හේතුවක් නැති ධර්මිෂ්ඨයන් 99දෙනෙක් ගැන සතුටු වෙනවාට වඩා පසුතැවිලි වෙන එක පව්කාරයෙක්+ ගැන ස්වර්ගයේ ඉන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා!  “එහෙම නැත්නම් ඩ්‍රැක්මා කාසි* දහයක් තියෙන කාන්තාවක් ගැන හිතන්න. ඒ එක කාසියක් හරි නැති වුණොත් එයා පහනක් දල්වලා ගේ අතුගාලා කාසිය හම්බ වෙන කල්ම අස්සක් මුල්ලක් නෑර ඒක හොයන්නේ නැද්ද?  ඒක හොයාගත්තාම එයා එයාගේ යාළුවන්ටයි, අසල්වැසියන්ටයි එන්න කියලා මෙහෙම කියයි. ‘ඇවිල්ලා මාත් එක්ක සතුටු වෙන්න. මොකද නැති වෙච්ච මගේ ඩ්‍රැක්මා කාසිය* මට හම්බ වුණා!’ 10  ඒ නිසා මං ඔයාලට කියන්නේ, පසුතැවිලි වෙන එක පව්කාරයෙක් ගැන දේවදූතයන් හුඟක් සතුටු වෙනවා කියලයි.”+ 11  යේසුස් මේ උදාහරණයත් කිව්වා. “එක මිනිසෙක්ට පුතාලා දෙන්නෙක් හිටියා. 12  දවසක් බාල පුතා තාත්තා ළඟට ඇවිත් කිව්වා ‘තාත්තේ, ඔයාගේ දේපළෙන් මට අයිති කොටස දෙන්න’ කියලා. ඉතින් තාත්තා පුතාලා දෙන්නාට දේපළ බෙදලා දුන්නා. 13  ටික දවසකට පස්සේ බාල පුතා එයාට අයිති හැම දේම අරගෙන දුර රටකට ගියා. එහෙදී එයා අන්තිම පහත්* ජීවිතයක් ගත කරලා එයාට අයිති හැම දේම නැති නාස්ති කරගත්තා. 14  අන්තිමට එයා ළඟ තිබුණ සල්ලි ඔක්කොම ඉවර වුණා. ඊටපස්සේ ඒ රටේ දරුණු සාගතයක් ඇති වෙලා එයා අන්ත අසරණ තත්වයකට වැටුණා. 15  කොච්චරද කියනවා නම් එයා ඒ රටේ කෙනෙක් ළඟ කුලියට වැඩ කරන්නත් පටන්ගත්තා. එහෙදී එයාට වුණා ඒ කෙනාගේ වතුවල ඉන්න ඌරන්ව බලාගන්න.+ 16  ඒ කාලේ එයාට කාගෙන්වත් කෑම හම්බ වුණේ නැහැ. එයා කොච්චර බඩගින්නේ හිටියාද කිව්වොත් ඌරන්ට දෙන කෑම* කන්න වුණත් එයා ලෑස්ති වෙලයි හිටියේ. 17  “පස්සේ එයාට තේරුණා එයා වැඩ කරලා තියෙන්නේ කොච්චර මෝඩ විදිහටද කියලා. එයා මෙහෙම හිතුවා. ‘මම මෙතන බඩගින්නේ මැරෙන්න යනවා. ඒත් මගේ තාත්තා ගාව වැඩ කරන කුලීකරුවොත් කිසි අඩුවක් නැතුව හොඳට කාලා බීලා ඉන්නවා. 18  මං දැන් තාත්තා ළඟට යන්න ඕනේ. මං ගිහින් එයාට මෙහෙම කියනවා. “තාත්තේ, මං දෙවියන්ටත්* ඔයාටත් විරුද්ධව ගොඩක් පව් කළා. 19  මං ඔයාගේ පුතෙක් කියලා කියන්නවත් වටින්නේ නැහැ. ඒ නිසා ඔයා ළඟ කුලීකරුවෙක් විදිහට වැඩ කරන්න මට ඉඩ දෙන්න.”’ 20  ඉතින් එයා එයාගේ තාත්තා ළඟට යන්න පිටත් වුණා. පුතා එනවා තාත්තා ඈත තියා දැක්කා. පුතාව දැක්කාම තාත්තාට දැනුණේ ලොකු අනුකම්පාවක්. ඉතින් එයා පුතා ගාවට දුවගෙන ගිහින් එයාව බදාගෙන ආදරෙන් ඉඹගත්තා. 21  එතකොට පුතා මෙහෙම කිව්වා. ‘තාත්තේ, මං දෙවියන්ටත්* ඔයාටත් විරුද්ධව ගොඩක් පව් කළා.+ මං ඔයාගේ පුතෙක් කියලා කියන්නවත් වටින්නේ නැහැ.’ 22  ඒත් තාත්තා එයාගේ දාසයන්ට මෙහෙම කිව්වා. ‘ඉක්මනට ගිහින් තියෙන හොඳම ඇඳුම අරන් ඇවිත් පුතාට අන්දවන්න. පාවහන් දෙකකුත් ගේන්න. එයාගේ ඇඟිල්ලට මුද්දකුත් දාන්න. 23  හොඳ මහත වස්සෙක්ව මරලා රස කෑමක් හදන්න. අපි හොඳට කාලා, බීලා සතුටු වෙමු. 24  මොකද මෙච්චර දවසක් මැරිලා හිටිය මගේ පුතා දැන් ආයෙත් ජීවත් වෙනවා.+ නැති වෙච්ච මගේ පුතාව මට ආයෙත් හම්බ වුණා.’ ඉතින් එයාලා හැමෝම එකතු වෙලා හුඟක් සතුටු වුණා. 25  “ඒ වෙලාවේ වැඩිමල් පුතා හිටියේ කෙතේ වැඩ කරකර. එයා වැඩ ඉවර කරලා ගෙදර එද්දී එයාට ගෙවල් පැත්තෙන් සංගීතයකුයි, නටන සද්දෙකුයි ඇහුණා. 26  ඉතින් එයා සේවකයෙක්ට එන්න කියලා එයාගෙන් ඇහුවා ගෙවල් පැත්තේ මොනවාද වෙන්නේ කියලා. 27  සේවකයා කිව්වා ‘ඔයාගේ මල්ලි ගෙදර ඇවිල්ලා. එයා කරදරයක් නැතුව* ආපහු ගෙදර ආපු නිසා ඒ සතුටට තාත්තා හොඳ මහත වස්සෙක්ව මරලා කෑමක් හැදුවා.’ 28  ඒක ඇහුවාම වැඩිමල් පුතාට හොඳටම කේන්ති ගියා. ගේ ඇතුළට යන්නවත් එයා කැමති වුණේ නැහැ. ඉතින් තාත්තා එළියට ඇවිත් ‘අනේ පුතේ ඇතුළට එන්න’ කියලා කීප සැරයක්ම කිව්වා. 29  ඒත් එයා තාත්තාට මෙහෙම කිව්වා. ‘මං අවුරුදු ගාණක් තිස්සේ තාත්තා වෙනුවෙන් මැරීගෙන වැඩ කළා. මම එක දවසක්වත් තාත්තා කියපු දේකට පිටින් ගිහින් නැහැ. ඒත් මගේ යාළුවෝ එක්ක කාලා බීලා සතුටු වෙන්න ඔයා කවදාවත් මට එක එළු පැටියෙක්වත් දීලා තියෙනවාද? 30  හැබැයි ගණිකාවන් එක්ක ඉඳලා ඔයාට අයිති දේවල් නැති නාස්ති කරපු ඔයාගේ පුතා ආවා විතරයි, ඔයා හොඳ මහත වස්සෙක්ව මරලා එයාට කන්න දුන්නා.’ 31  එතකොට තාත්තා එයාට මෙහෙම කිව්වා. ‘පුතේ, ඔයා හැමදාම හිටියේ මාත් එක්කමයි. ඉතින් මට තියෙන හැම දෙයක්ම අයිති ඔයාට. 32  ඒත් මේ වෙලාවේ කොහොමද අපි සතුටු වෙන්නේ නැතුව ඉන්නේ? මෙච්චර දවසක් මැරිලා හිටිය ඔයාගේ මල්ලි දැන් ආයෙත් ජීවත් වෙනවා. නැති වුණ ඔයාගේ සහෝදරයාව ආයෙත් හම්බ වුණා.’”

පාදසටහන්

උප. B14 බලන්න.
උප. B14 බලන්න.
හෝ, “නාස්තිකාර; සෙල්ලක්කාර.”
මූ.අ., “කැරොබ් ගහේ කරල්.”
මූ.අ., “ස්වර්ගයටත්.”
මූ.අ., “ස්වර්ගයටත්.”
හෝ, “නිරෝගීව.”