ලූක් 16:1-31

  • අධර්මිෂ්ඨ සේවකයා ගැන උදාහරණය (1-13)

    • ‘සුළු දේවලදී විශ්වාසවන්ත කෙනා බැරෑරුම් දේවලදීත් විශ්වාසවන්තයි’ (10)

  • නීතිය සහ දෙවියන්ගේ රාජ්‍යය (14-18)

  • පොහොසත් මිනිසා සහ ලාසරුස් ගැන උදාහරණය (19-31)

16  ඊටපස්සේ යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙමත් කිව්වා. “එක පොහොසත් මිනිසෙක්ට සේවකයෙක්* හිටියා. දවසක් ඒ මිනිසාට දැනගන්න ලැබුණා එයාට අයිති දේවල් ඒ සේවකයා නාස්ති කරනවා කියලා.  ඉතින් එයා ඒ සේවකයාට අඬගහලා මෙහෙම කිව්වා. ‘මොනවාද මේ මට ඔයා ගැන ආරංචි වෙන්නේ? ඔයා කරපු ගනු දෙනු ගැන සඳහන් වෙන ලියකියවිලි ටික මට ගෙනත් දෙන්න. මගේ ගෙදර වැඩ බලාගන්න වගකීම මං ඔයාගෙන් අයින් කරනවා.’  එතකොට සේවකයා මෙහෙම හිතුවා. ‘මං දැන් මොකද කරන්නේ? මගේ ස්වාමියා මට පවරපු වගකීමෙන් මාව අයින් කරන්නයි යන්නේ. බිම කොටලා වගා කරන්න තරම් ශක්තියක් මට නැහැ. අනික මට හිඟා කන්නත් බැහැ.  මට හොඳ අදහසක් ආවා. ඒ විදිහට වැඩ කළොත් මගේ වගකීම් මට නැති වුණත් මිනිස්සු එයාලාගේ ගෙවල්වලට එන්න කියලා මට කියයි.’  ඊටපස්සේ එයා එයාගේ ස්වාමියාට ණය වෙලා හිටපු අයට වෙන වෙනම එන්න කිව්වා. පළවෙනි කෙනා ආවාම එයා ඇහුවා ‘ඔයා මගේ ස්වාමියාට කොච්චරක් ණයද’ කියලා.  ඒ කෙනා කිව්වා ‘ඔලීව තෙල් බාත් ඒකක සීයක්’* කියලා. එතකොට සේවකයා කිව්වා ‘ඔයාගේ ගනු දෙනුව ගැන සඳහන් කරලා තියෙන මේ ලියවිල්ල අරන් ඉක්මනට ඒකේ ඒකක 50ක් කියලා ලියන්න’ කියලා.  ඊළඟට එයා තව කෙනෙක්ගෙන් ඇහුවා ‘ඔයා කොච්චරක් ණයද’ කියලා. එයා කිව්වා ‘තිරිඟු කෝර් ලොකු මිනුම් සීයක්’* කියලා. ඒක ඇහුවාම සේවකයා එයාට මෙහෙම කිව්වා. ‘ඔයාගේ ගනු දෙනුව ගැන සඳහන් කරලා තියෙන මේ ලියවිල්ල අරගෙන මිනුම් 80ක් කියලා ලියන්න.’  සේවකයා කරපු දේ ගැන ආරංචි වුණාම ස්වාමියා එයාට ප්‍රශංසා කළා. මොකද සේවකයා අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් එයා තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා වැඩ කළා.* ඇත්තම කියනවා නම් ආලෝකයේ දරුවන්ට+ වඩා මේ ලෝකයේ* අය* එයාලාගේ පරම්පරාවේ අය එක්ක තැනට සුදුසු නුවණ ඇතුව වැඩ කරන්න දන්නවා.  “ඒ නිසා මං ඔයාලට කියන්නේ, මේ අධර්මිෂ්ඨ ලෝකයේදී උපයන ධනය+ පාවිච්චි කරලා යාළුවන් ඇති කරගන්න කියලයි. එතකොට ඒ ධනය නැති වුණ කාලෙකදී ඒ යාළුවෝ ඔයාලව හැමදාටම ජීවත් වෙන්න පුළුවන් වාසස්ථානවලට සාදරයෙන් පිළිගනියි.+ 10  සුළුම දේකදී වුණත් විශ්වාසවන්තව වැඩ කරන කෙනා බැරෑරුම් දේවලදීත් විශ්වාසවන්තව වැඩ කරනවා. සුළුම දේකදී අවිශ්වාසවන්තව වැඩ කරන කෙනා වඩාත් බැරෑරුම් දේවලදීත් අවිශ්වාසවන්තව වැඩ කරනවා. 11  ඉතින් අධර්මිෂ්ඨ ලෝකයේදී උපයන ධනය ඔයාලා විශ්වාසවන්තව පාවිච්චි කරන්නේ නැත්නම් කවුද ඔයාලව විශ්වාස කරලා ඔයාලට සැබෑ ධනය භාර දෙන්නේ? 12  ඒ වගේම වෙනත් කෙනෙක්ට අයිති දේවල් ඔයාලා විශ්වාසවන්තව පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලට ලැබෙන්න තියෙන තෑග්ග ඔයාලට දෙන්නේ කවුද?+ 13  සේවකයෙක්ට ස්වාමිවරුන් දෙන්නෙක් වෙනුවෙන් වැඩ කරන්න බැහැ. මොකද එයා එක් කෙනෙක්ට වෛර කරලා අනිත් කෙනාට ආදරේ කරන්න පෙලඹෙයි. එහෙම නැත්නම් එයා එක් කෙනෙක්ට ඇලුම් වෙලා අනිත් කෙනාව හෙළා දකියි. ඒ නිසා, දෙවියන්ට සේවය කරන ගමන් ඔයාලට සල්ලි පස්සේ යන්න බැහැ.”*+ 14  යේසුස් කියපු ඒ හැම දෙයක්ම පරිසිවරු අහගෙනයි හිටියේ. එයාලා සල්ලිවලට කෑදර අය වුණ නිසා යේසුස්ට සමච්චල් කරන්න පටන්ගත්තා.+ 15  ඉතින් යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා මිනිස්සු ඉස්සරහා පෙන්නන්න හදන්නේ ඔයාලා හරිම ධර්මිෂ්ඨයි කියලා.+ ඒත් ඇත්තටම ඔයාලාගේ හිත්වල තියෙන්නේ මොනවාද කියලා දෙවියන් දන්නවා.+ මිනිස්සු මහ ඉහළින් සලකන දේවල් දෙවියන් සලකන්නේ හරිම පිළිකුල් දේවල් විදිහටයි.+ 16  “නීතියේ තියෙන දේවලුත් අනාගතවක්තෘවරුන් කියපු දේවලුත් ප්‍රකාශ කරලා තියෙන්නේ යොහන්ගේ කාලය වෙන කල් විතරයි. එතන ඉඳන් ශුභාරංචියක් විදිහට ප්‍රකාශ කරන්නේ දෙවියන්ගේ රාජ්‍යය ගැනයි. ඒ වගේම හැම ජාතියකටම අයිති මිනිස්සු ලොකු වෙහෙසක් දරන්නේ දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්නයි.+ 17  ඇත්තටම අහස පොළොව පහ වෙලා ගියත් නීතියේ තියෙන කිසිම දෙයක් පහ වෙලා යන්නේ නැහැ. ඒකේ තියෙන පුංචිම අකුරක් වුණත් අකුරකට අයිති පුංචිම ලකුණක් වුණත් පහ වෙලා යන්නේ නැහැ. නීතියේ තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+ 18  “පුරුෂයෙක් එයාගේ බිරිඳව දික්කසාද කරලා වෙන කාන්තාවක්ව විවාහ කරගන්නවා නම් එයා අනාචාරයේ යෙදෙනවා. පුරුෂයාගෙන් දික්කසාද වුණ* කාන්තාවක්ව වෙන කෙනෙක් විවාහ කරගන්නවා නම් ඒ කෙනාව සලකන්නෙත් අනාචාරයේ යෙදෙන කෙනෙක් විදිහටයි.+ 19  “හුඟක් පොහොසත් මිනිසෙක් හිටියා. එයා නිතරම වගේ ඇන්දේ දම් පාට රෙදිවලින් සහ ලිනන් රෙදිවලින් මහපු ඇඳුම්. සැපපහසු ජීවිතයක් ගත කරපු ඒ කෙනා හැම දවසක්ම විනෝදයෙන් ගත කළා. 20  ලාසරුස් කියලා හිඟන්නෙකුත් හිටියා. එයාගේ ඇඟ පුරාම තුවාල දාලා ඒවා වණ වෙලා තිබුණා. මිනිස්සු නිතරම වගේ එයාව අරන් ඇවිත් පොහොසත් කෙනාගේ දොරටුව ළඟ තිබ්බා. 21  එයාට ඕනෙ වුණේ පොහොසත් කෙනාගේ මේසයෙන් වැටෙන කෑමවලින් එයාගේ බඩගින්න නිවාගන්නයි. ඒ අතරේ බල්ලොත් ඇවිත් එයාගේ තුවාල ලෙව කෑවා. 22  කාලයක් ගියාට පස්සේ හිඟන්නා මැරුණා. දේවදූතයන් එයාව අරන් ගිහින් ආබ්‍රහම් ළඟින්ම තිබ්බා. “ඔය අතරේ පොහොසත් කෙනාත් මැරිලා එයාවත් තැන්පත් කළා. 23  මිනී වළේ දුක් විඳවිඳ හිටපු පොහොසත් කෙනා උඩ බලද්දී දැක්කා ආබ්‍රහම්වයි, එයා ළඟින්ම හිටිය ලාසරුස්වයි. ඒ දෙන්නා හිටියේ එයාට හුඟක් ඈතට වෙන්න. 24  ඉතින් එයා කෑගහලා මෙහෙම කිව්වා. ‘ආබ්‍රහම්, මගේ තාත්තේ, මට අනුකම්පා කරන්න.* මං මේ ගිනි ජාලාවට වෙලා ඉන්නේ ලොකු වේදනාවකින්. ඒ නිසා ලාසරුස්ට කියන්න එයාගේ ඇඟිල්ලෙන් වතුර ටිකක් අරන් ඇවිත් මගේ දිව තෙමන්න කියලා.’ 25  ඒත් ආබ්‍රහම් එයාට මෙහෙම කිව්වා. ‘පුතේ, ඔයා ජීවත් වෙලා ඉද්දී කිසිම අඩුපාඩුවක් නැති සැපපහසු ජීවිතයක් ගත කළා කියලා ඔයාට මතක නැද්ද? ඒත් ලාසරුස් ගත කළේ හරිම දුක්බර ජීවිතයක්. එයා මෙහෙදී ලොකු සහනයක් ලබනවා. ඒත් ඔයා දැන් ඉන්නේ ලොකු වේදනාවකින්. 26  අනික අපිට කොහොමටවත් ඔයාගේ පැත්තට එන්න බැහැ. මොකද පොළොව පැළිලා අපි දෙගොල්ලෝ අතරේ ලොකු අගාධයක් ඇති වෙලා. ඒ නිසා යන්න කැමති වුණත් මේ පැත්තේ ඉන්න අයට ඔය පැත්තට එන්න බැහැ. ඔය පැත්තේ ඉන්න අයට මෙහෙට එන්නත් බැහැ.’ 27  එතකොට පොහොසත් කෙනා මෙහෙම කිව්වා. ‘එහෙනම් තාත්තේ, ලාසරුස්ව මගේ තාත්තාගේ ගෙදරට යවන්න පුළුවන්ද? 28  මට සහෝදරයෝ පස්දෙනෙක් ඉන්නවා. ලාසරුස් ගිහින් එයාලව හොඳින් දැනුවත් කළොත් එයාලට මෙතනට ඇවිත් දුක් විඳින්න වෙන්නේ නැහැ.’ 29  ඒත් ආබ්‍රහම් කිව්වා ‘එයාලව දැනුවත් කරන්න මෝසෙස් සහ අනාගතවක්තෘවරුන් ඉන්නවා. එයාලට පුළුවන් ඒ අය කියන දේට ඇහුම්කන් දෙන්න’ කියලා.+ 30  එතකොට පොහොසත් කෙනා කිව්වා ‘ආබ්‍රහම්, මගේ තාත්තේ, ඒක නම් වෙන්නේ නැහැ. මිය ගිය කෙනෙක් එයාලා ළඟට ගියොත් නම් එයාලා අනිවාර්යයෙන්ම පසුතැවිලි වෙයි’ කියලා. 31  ඒත් ආබ්‍රහම් මෙහෙම කිව්වා. ‘ඔයාගේ සහෝදරයෝ මෝසෙස්ටයි, අනාගතවක්තෘවරුන්ටයි ඇහුම්කන් දෙන්නේ නැත්නම්+ කෙනෙක් මරණයෙන් නැඟිටලා ගියත් එයාලා ඒ කෙනාව විශ්වාස කරන්නේ නැහැ.’”

පාදසටහන්

හෝ, “නිවස භාර සේවකයෙක්.”
ඒ කියන්නේ ලීටර් 2,200ක්. බාත් මිනුමක් කියන්නේ ලීටර් 22ක්. උප. B14 බලන්න.
ඒ කියන්නේ තිරිඟු කි.ග්‍රෑ. 17,000ක් විතර. කෝර් මිනුමක් කියන්නේ ලීටර් 220ක්. උප. B14 බලන්න.
හෝ, “බුද්ධිමත්ව වැඩ කළා.”
මූ.අ., “මේ සමාජයේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “පුතාලා.”
මූ.අ., “දෙවියන්ගේ දාසයෙක් වෙන ගමන් ධන සම්පත්වලට දාසකම් කරන්න බැහැ.”
ඒ කියන්නේ අනාචාරය හැරෙන්න වෙන හේතුවක් නිසා දික්කසාද වුණ.
මූ.අ., “දයාව පෙන්නන්න.”