ලූක් 17:1-37

  • කෙනෙක්ව වට්ටන එක, සමාව දෙන එක සහ විශ්වාසය (1-6)

  • නිකම්ම නිකම් දාසයෝ විතරයි (7-10)

  • ලාදුරු රෝගීන් දහදෙනෙක්ව සුව කරයි (11-19)

  • දෙවියන්ගේ රාජ්‍යය එන විදිහ (20-37)

    • දෙවියන්ගේ රාජ්‍යය “ඔයාලා අතරේමයි” (21)

    • ‘ලොත්ගේ බිරිඳව අමතක කරන්න එපා’ (32)

17  ඊටපස්සේ යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “කෙනෙක් වැටිලා යන්න හේතු වෙන දේවල් වෙයි. ඒක වළක්වන්න බැහැ. ඒත් කවුරු හරි කෙනෙක් තව කෙනෙක් වැටිලා යන්න හේතු වෙන දේවල් කරනවා නම් ඒ කෙනාට මොන තරම් දරුණු විපතක් අද්දකින්න වෙයිද!  පොඩි දරුවන් වගේ ඉන්න මේ එක් කෙනෙක්ට හරි වැටිලා යන්න හේතු වෙන දෙයක් කවුරු හරි කරනවා නම් ඒ කෙනාගේ බෙල්ලේ විශාල ඇඹරුම් ගලක් එල්ලලා එයාව මුහුදට දාන එක හොඳයි.+  ඒ නිසා ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න. ඔයාලාගේ සහෝදරයා වරදක් කළොත් එයාට තදින් අවවාද කරන්න.+ එයා පසුතැවිලි වුණොත් එයාට සමාව දෙන්න.+  එයා දවසකට හත් වතාවක් වුණත් ඔයාලට විරුද්ධව වැරදි කරන්න පුළුවන්. ඒත් එයා ඒ හත් වතාවම ඔයාලා ළඟට ඇවිත් ‘මට සමාවෙන්න’ කියලා කිව්වොත් ඔයාලා එයාට සමාව දෙන්න ඕනේ.”+  එතකොට යේසුස්ගේ නියෝජිතයන් ස්වාමීන්ට මෙහෙම කිව්වා. “අපේ විශ්වාසය තව වැඩි කරගන්න අපිට උදව් කරන්න.”+  ස්වාමීන් එයාලට මෙහෙම කිව්වා. “අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔයාලට තියෙනවා නම් මේ මල්බෙරි ගහට ‘මෙතනින් අයින් වෙලා මුහුදේ පැළ වෙන්න’ කියලා ඔයාලා කිව්වොත් ඒ ගහ ඔයාලට කීකරු වෙයි.+  “ඔයාලට දාසයෙක් ඉන්නවා කියලා හිතන්න. එයා කෙත හාලා නැත්නම් රැළේ ඉන්න සත්තු බලාගෙන ආයේ ගෙදර එනවා. එයා ආපු ගමන්ම ඔයාලා එයාට කියයිද ‘ඇවිත් මෙතන ඉඳගෙන කෑම කන්න’ කියලා?  ඒ වෙනුවට ඔයාලා කියන්නේ මෙහෙම නේද? ‘රෑ කෑමට මට මොනවා හරි හදලා දෙන්න. ඊටපස්සේ ලෑස්ති වෙලා ඇවිත් මම කාලා බීලා ඉවර වෙන කල් මං ළඟ ඉඳන් මට ඕන කරන දේවල් දෙන්න. ඊටපස්සේ ඔයාට පුළුවන් කන්න බොන්න.’  දාසයා ඒ දේවල් කළා කියලා ස්වාමියා එයාට ස්තුති කරයිද? නැහැ. ඒ දාසයා කළේ එයාට පවරලා තිබුණ වැඩ කොටස. 10  ඒ වගේ, ඔයාලත් ඔයාලට භාර දීලා තියෙන හැම දෙයක්ම කළාට පස්සේ ‘අපි නිකම්ම නිකම් දාසයෝ විතරයි. අපි කළේ අපි කරන්න ඕනෙ දේ’ කියලා කියන්න.”+ 11  යේසුස් යෙරුසලමට යන අතරේ ඔහු සමාරියේ සහ ගලීලයේ දේශ සීමාව පහු කරගෙන ගියා. 12  ඔහු එක ගමකට ආවාම ලාදුරු රෝගීන් දහදෙනෙක් ඔහු ඉස්සරහට ආවා. ඒත් එයාලා හිටියේ ඔහුට ටිකක් ඈතට වෙන්න.+ 13  එයාලා කෑගහලා කිව්වා “යේසුස්, ගුරුතුමනි, අපිට අනුකම්පා කරන්න”* කියලා. 14  එයාලව දැක්කාම යේසුස් එයාලට මෙහෙම කිව්වා. “පූජකයා ළඟට ගිහින් ඔයාලා සුව වෙලා කියලා පෙන්නන්න.”+ ඉතින් එයාලා එතනින් පිට වෙලා ගියා. ඒ යන අතරේ එයාලාගේ ලාදුරු රෝගය සුව වෙලා එයාලා පවිත්‍ර වුණා.+ 15  එයාලා අතරේ හිටිය එක් කෙනෙක් එයා සුව වෙලා කියලා දැක්කාම ආපහු හැරිලා ආවා. එයා කෑගහලා දෙවියන්ට ප්‍රශංසා කරකර ඇවිත්, 16  යේසුස්ගේ කකුල් දෙක ළඟ වැටිලා ඔහුට ස්තුති කළා. එයා සමරිතානු ජාතිකයෙක්.+ 17  යේසුස් එයාට මෙහෙම කිව්වා. “දහදෙනාම සුව වුණා නේද? එතකොට අනිත් නමදෙනා කෝ? 18  වෙනත් ජාතිකයෙක් වන මේ කෙනා විතරද දෙවියන්ට ප්‍රශංසා කරන්න ආවේ?” 19  ඊටපස්සේ යේසුස් එයාට කිව්වා “ඔයා සුව වුණේ ඔයාගේ විශ්වාසය නිසයි.+ දැන් ඔයාට ආපහු යන්න පුළුවන්” කියලා. 20  දෙවියන්ගේ රාජ්‍යය එන්නේ කවදාද+ කියලා පරිසිවරු යේසුස්ගෙන් ඇහුවාම යේසුස් මෙහෙම කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යය එද්දී ඒක හැමෝටම පැහැදිලිව දැකගන්න පුළුවන් වෙන්නේ නැහැ. 21  ‘මෙන්න, ඒක මෙතන තියෙනවා’ කියලා හරි ‘අන්න, ඒක අතන තියෙනවා’ කියලා හරි කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඇත්තටම දෙවියන්ගේ රාජ්‍යය තියෙන්නේ ඔයාලා අතරේමයි.”+ 22  ඊටපස්සේ යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “කවදා හරි දවසක ඔයාලට ආසාවක් ඇති වෙයි මනුෂ්‍ය පුත්‍රයාව ආයෙත් එක දවසක් හරි දකින්න. ඒත් ඒ අවස්ථාව ඔයාලට ලැබෙන්නේ නැහැ. 23  මිනිස්සු ඔයාලට කියයි ‘අන්න අතනට ගිහින් බලන්න’ නැත්නම් ‘මෙන්න මෙහෙට ඇවිත් බලන්න’ කියලා. ඒත් එළියට යන්න එපා. එයාලා පස්සේ යන්නත් එපා.+ 24  අකුණු ගහද්දී ඒ විදුලි සැර අහසේ එක පැත්තක ඉඳන් අනිත් පැත්ත වෙන කල් ආලෝකය විහිදුවන විදිහ ඔයාලා දැකලා ඇති. මනුෂ්‍ය පුත්‍රයා+ ආයෙත් පැමිණෙන කාලයත්*+ ඒ වගේම වෙයි. 25  ඒත් මුලින්ම මනුෂ්‍ය පුත්‍රයාට ගොඩක් දුක් විඳින්න වෙනවා. මේ පරම්පරාවේ අය එයාව ප්‍රතික්ෂේප කරනවා.+ 26  ඒ වගේම නෝවාගේ කාලයේ සිද්ධ වුණා වගේම දේවල්+ මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන කාලයෙත් සිද්ධ වෙයි.+ 27  නෝවාගේ කාලේ හිටපු මිනිස්සු නෝවා නැවට ඇතුල් වුණ දවස+ වෙන කල්ම කකා බිබී හිටියා. විවාහ වුණා. දුවලව විවාහ කරලා දුන්නා. ඊටපස්සේ ජලගැල්ම ඇවිත් ඒ හැම කෙනෙක්වම විනාශ කළා.+ 28  ලොත්ගේ කාලයෙත් ඒ දේම වුණා.+ ඒ කාලේ හිටපු මිනිස්සුත් කකා බිබී හිටියා. දේවල් මිල දී ගත්තා, විකුණුවා. වගා කළා, ගෙවල් හැදුවා. 29  ඒත් ලොත් සොදොම් නගරයෙන් එළියට ආපු දවසේදී අහසෙන් ගින්දර සහ ගෙන්දගම් වැටිලා ඒ හැමෝවම විනාශ කළා.+ 30  මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වෙන දවසේදීත් වෙන්නේ ඒ වගේම දෙයක්.+ 31  “එදාට ගෙදර වහලේ උඩ ඉන්න කෙනෙක් පල්ලෙහට ඇවිල්ලා එයාට අයිති දේවල් ගන්න ගේ ඇතුළට යන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ වගේම කෙතේ වැඩ කරකර ඉන්න කෙනෙක් එයාට අයිති දේවල් ගන්න ආයෙත් ගෙදරට යන්නේ නැතුව ඉන්න ඕනේ. 32  ලොත්ගේ බිරිඳට වෙච්ච දේ අමතක කරන්න එපා.+ 33  කවුරු හරි තමන්ගේ ජීවිතේ ගලවගන්න හදනවා නම් එයාට ඒක නැති වෙයි. ඒත් කෙනෙක්ට තමන්ගේ ජීවිතේ නැති වුණොත් එයාට ඒක ආපහු ලැබෙයි.+ 34  මං ඔයාලට කියන්නේ ඒ රාත්‍රියේදී මිනිස්සු දෙන්නෙක් එකම ඇඳේ නිදාගෙන ඉඳියි. එක් කෙනෙක්ව අරන් යයි. ඒත් අනිත් කෙනාව දාලා යයි.+ 35  කාන්තාවන් දෙන්නෙක් එකම ඇඹරුම් ගලේ අඹරමින් ඉඳියි. එක් කෙනෙක්ව අරන් යයි. ඒත් අනිත් කෙනාව දාලා යයි.” 36 * —— 37  එයාලා ඔහු කියපු දේවල් අහගෙන ඉඳලා “ස්වාමීනි, මේ දේවල් වෙන්නේ කොහෙදීද” කියලා ඇහුවා. ඔහු එයාලට මෙහෙම කිව්වා. “මළ සිරුර තියෙන තැන තමයි රාජාලීනුත් රැස් වෙන්නේ.”+

පාදසටහන්

මූ.අ., “දයාව පෙන්නන්න.”
මූ.අ., “මනුෂ්‍ය පුත්‍රයාගේ දවසත්.”
උප. A3 බලන්න.