ලූක් 18:1-43

  • අත්හරින්නේ නැතුව උදව් ඉල්ලපු වැන්දඹුවගේ උදාහරණය (1-8)

  • පරිසිවරයා සහ බදු එකතු කරපු කෙනා (9-14)

  • යේසුස් සහ පොඩි දරුවන් (15-17)

  • පොහොසත් පාලකයා අහපු ප්‍රශ්නය (18-30)

  • යේසුස් ඔහුගේ මරණය ගැන ආයෙත් කියයි (31-34)

  • අන්ධ හිඟන්නෙක්ට පෙනීම ලැබෙයි (35-43)

18  නිතරම යාච්ඤා කරන එකේ සහ බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්න+ එකේ වැදගත්කම ගැන කියලා දෙන්න යේසුස් මේ උදාහරණය  කිව්වා. “එක නගරයක විනිශ්චයකරුවෙක් හිටියා. එයා දෙවියන් ගැන කිසි ගරුබියක් තිබුණේ නැති, මිනිස්සුන්ට ගෞරවයක් පෙන්නුවේ නැති කෙනෙක්.  ඒ නගරේ හිටපු වැන්දඹුවක් හැම වෙලේම එයා ළඟට ගිහින් ‘මගේ නඩුවට සාධාරණ විනිශ්චයක් දෙන්න’ කියලා එයාගෙන් ඉල්ලුවා.  කාලයක් යන කල් එයා වැන්දඹුවට උදව් කරන්න කැමති වුණේ නැහැ. ඒත් පස්සේ එයා මෙහෙම හිතුවා. ‘මම කිසිම මනුස්සයෙක්ට ගරු කරන්නේ නැහැ. මං දෙවියන්ටවත් බය නැහැ.  ඒත් මේ වැන්දඹුව හැම වෙලේම ඇවිත් මට කරදර කරනවා. ඒ නිසා මම එයාට සාධාරණය ඉටු කරලා දෙනවා. එහෙම කළේ නැත්නම් එයා ආයේ ආයේ ඇවිත් මට එපා වෙන තරමටම කරදර කරයි.’”+  ඊටපස්සේ ස්වාමීන් මෙහෙම කිව්වා. “ඒ විනිශ්චයකරු අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් එයා කියපු දේ ගැන හිතන්න.  එහෙමනම් දෙවියන් ගැන මොනවාද කියන්න පුළුවන්? දෙවියන් තෝරගත්ත සේවකයන් රෑ දවල් දෙකේම ඔහුට කන්නලව් කරද්දී+ ඔහු එයාලා වෙනුවෙන් සාධාරණය ඉටු කරලා දෙන්නේ නැද්ද? ඒ වගේම ඔහු එයාලා එක්ක ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා.+  මං ඔයාලට කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම එයාලට ඉක්මනින්ම සාධාරණය ඉටු කරලා දෙනවා. ඒත් මනුෂ්‍ය පුත්‍රයා ආයේ එද්දී ඒ වගේ විශ්වාසයක් තියෙන අය පොළොවේ ඉඳියිද?”  තමන් හරිම ධර්මිෂ්ඨයි කියලා හිතලා තමන් ගැනම ලොකු විශ්වාසයකින් හිටපු පිරිසක් හිටියා. එයාලා අනිත් අයව සැලකුවේ හුඟක් පහත් කරලා. යේසුස් එයාලට මේ උදාහරණය කිව්වා. 10  “මිනිස්සු දෙන්නෙක් යාච්ඤා කරන්න දේවමාලිගාවට ගියා. එක් කෙනෙක් පරිසිවරයෙක්. අනිත් කෙනා බදු එකතු කරන කෙනෙක්. 11  පරිසිවරයා නැඟිටලා හිතින් මෙහෙම යාච්ඤා කරන්න පටන්ගත්තා. ‘දෙවියනි, මම ඔබට ස්තුති කරනවා. මොකද මම අනිත් අය වගේ නෙමෙයි. මම කවදාවත් එයාලා වගේ හොරකම් කරලා නැහැ. වංචා කරලා නැහැ. අනාචාරයේ* යෙදිලා නැහැ. මේ බදු එකතු කරන කෙනාට වඩා මම කොච්චර වෙනස්ද! 12  මම සතියට දෙපාරක් නිරාහාරව ඉන්නවා. හම්බ කරන හැම දේකින්ම දහයෙන් කොටසක් මම අනිවාර්යයෙන්ම දෙනවා.’+ 13  ඒත් එයාට ටිකක් දුරින් හිටගෙන හිටිය බදු එකතු කරන කෙනා හුඟක් බයෙන් ස්වර්ගය දිහාවත් බලන්නේ නැතුව එයාගේ පපුවට ගගහා කිව්වේ මෙහෙමයි. ‘අනේ දෙවියනි, මං පව්කාරයෙක්. මට අනුකම්පා කරන්න.’*+ 14  මම ඔයාලට කියන්නේ එයා ආපහු ගෙදර ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් විදිහටයි.+ උසස් වෙන්න උත්සාහ කරන හැමෝවම පහත් කරයි. ඒත් නිහතමානීව වැඩ කරන හැම කෙනෙක්වම උසස් කරයි.”+ 15  ඊටපස්සේ සෙනඟ යේසුස් ළඟට එයාලාගේ අත දරුවන්ව අරන් ආවා. එයාලා එහෙම කළේ යේසුස් ඒ දරුවන් පිට අත තියලා ආශීර්වාද කරයි කියලා හිතාගෙන. ඒත් ගෝලයෝ ඒ අයට බැන්නා.+ 16  හැබැයි යේසුස් ඒ දරුවන්ව ඔහු ළඟට අරන් එන්න කියලා මෙහෙම කිව්වා. “එයාලව නවත්තන්න එපා. පොඩි දරුවන්ව මං ගාවට අරන් එන්න ඉඩ දෙන්න. මොකද දෙවියන්ගේ රාජ්‍යය අයිති වෙන්නේ මේ දරුවන් වගේ ඉන්න අයටයි.+ 17  ඇත්තටම මං ඔයාලට කියන්නේ කෙනෙක් පොඩි දරුවෙක් වගේ වෙලා දෙවියන්ගේ රාජ්‍යය පිළිගත්තේ නැත්නම් එයාට ඒකට ඇතුල් වෙන්න බැහැ.”+ 18  ඔය අතරේ පාලකයෙක් “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න මං මොනවාද කරන්න ඕනෙ” කියලා ඔහුගෙන් ඇහුවා.+ 19  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඇයි ඔයා මට යහපත් කියලා කියන්නේ? කිසිම කෙනෙක්ව යහපත් කියලා හඳුන්වන්න බැහැ. එහෙම හඳුන්වන්න පුළුවන් එක් කෙනෙක්ව විතරයි. ඒ දෙවියන්.+ 20  ‘අනාචාරයේ* යෙදෙන්න එපා,+ මිනී මරන්න එපා,+ හොරකම් කරන්න එපා,+ බොරු සාක්ෂි දෙන්න එපා,+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න’+ කියන ආඥා ගැන ඔයා හොඳට දන්නවා නේද?” 21  එතකොට ඒ කෙනා කිව්වා “ඔව්, මම ඒ හැම දෙයක්ම පොඩි කාලේ ඉඳන්ම පිළිපදිනවා” කියලා. 22  ඒක අහලා යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ එක අඩුවක් තියෙනවා. ගිහින් ඔයාට තියෙන හැම දෙයක්ම විකුණලා ඒ සල්ලි දුප්පත් අයට දෙන්න. එතකොට ඔයාට ස්වර්ගයේ වස්තු හම්බ වෙයි. ඊටපස්සේ ඇවිත් මගේ අනුගාමිකයෙක් වෙන්න.”+ 23  එයා ඒක ඇහුවාම හුඟක් දුක් වුණා. මොකද ඒ කෙනා ගොඩක් පොහොසත් කෙනෙක්.+ 24  යේසුස් එයා දිහා බලලා මෙහෙම කිව්වා. “ගොඩක් සල්ලි තියෙන අයට දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන එක කොච්චර අමාරු දෙයක් වෙයිද!+ 25  ඇත්තටම පොහොසත් කෙනෙක්ට දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙක්ට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වෙන එක ලේසියි.”+ 26  ඒක අහගෙන හිටපු අය “එහෙමනම් කාටවත් ගැලවෙන්න බැරිද” කියලා ඔහුගෙන් ඇහුවා.+ 27  ඔහු කිව්වා “මිනිස්සුන්ට කරන්න බැරි දේවල් දෙවියන්ට කරන්න පුළුවන්” කියලා.+ 28  එතකොට පේතෘස් “බලන්න! අපි අපිට අයිති හැම දෙයක්ම අත්හැරලා ඔයාගේ පස්සෙන් ආවා” කියලා කිව්වා.+ 29  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඇත්තටම මං කියන්නේ දෙවියන්ගේ රාජ්‍යය නිසා කෙනෙක් ගෙවල් දොරවල් හරි බිරිඳ හරි සහෝදරයන් හරි අම්මා, තාත්තා හරි දරුවන් හරි අත්හැරියොත්+ 30  එයාට මේ කාලේදී ඒ දේවල්වලට වඩා හුඟක් වැඩියෙන් ලැබෙනවා. ඉස්සරහට එන කාලේදී* සදාකාල ජීවනයත් ලැබෙනවා.”+ 31  ඊටපස්සේ යේසුස් නියෝජිතයන් දොළොස්දෙනාව පැත්තකට අඬගහලා එයාලට මෙහෙම කිව්වා. “අහන්න, අපි දැන් මේ යන්නේ යෙරුසලමට. මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියපු හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+ 32  ඒ අය කියපු විදිහටම මිනිස්සු ඔහුව වෙනත් ජාතීන් අතට භාර දෙනවා.+ ඔහුට සමච්චල් කරලා වධ දෙනවා.+ ඔහුට කෙළ ගහනවා.+ 33  එයාලා ඔහුට කසයෙන් ගහලා අන්තිමට මරලා දානවා.+ ඒත් තුන්වෙනි දවසේදී ඔහුව නැවත නැඟිට්ටවනවා.”+ 34  යේසුස් කියපු ඒ දේවල් නියෝජිතයන්ට තේරුම්ගන්න බැරි වුණා. මොකද ඒක තේරුම්ගන්න ඕනෙ කරන අවබෝධය එයාලට ඒ වෙලාවේ ලැබිලා තිබුණේ නැහැ. 35  යේසුස් යෙරිකෝවට ළං වෙද්දී අන්ධ මිනිසෙක් පාර අයිනේ ඉඳගෙන හිඟමන් ඉල්ල ඉල්ල හිටියා.+ 36  එතනින් කට්ටියක් යනවා ඇහුණ නිසා මොකක්ද වෙන්නේ කියලා එතන හිටපු අයගෙන් එයා ඇහුවා. 37  එයාලා කිව්වා “නාසරෙත්වලින් ආපු යේසුස් මෙතනින් යනවා” කියලා. 38  ඒක ඇහුවාම එයා “දාවිත්ගේ පුතා යේසුස්, මට අනුකම්පා කරන්න”* කියලා හයියෙන් කෑගැහුවා. 39  ඒත් ඉස්සරහින්ම ගිය අය කෑගහන්න එපා කියලා එයාට සැර කරන්න පටන්ගත්තා. ඒත් එයා තව තවත් හයියෙන් කෑගහලා මෙහෙම කිව්වා. “දාවිත්ගේ පුතා, මට අනුකම්පා කරන්න.”* 40  ඉතින් යේසුස් නැවතිලා එයාව එක්කගෙන එන්න කියලා එතන හිටපු අයට කිව්වා. එයා ආවාම යේසුස්, 41  “මං මොනවාද ඔයා වෙනුවෙන් කරන්න ඕනෙ” කියලා එයාගෙන් ඇහුවා. එයා කිව්වා “ස්වාමීනි, මට පෙනීම ලබා දෙන්න” කියලා. 42  ඉතින් යේසුස් “ඔයාට දැන් පෙනීම ලැබෙයි. ඔයාගේ විශ්වාසය නිසයි ඔයා සුව වෙන්නේ” කියලා කිව්වා.+ 43  ඒ වෙලාවෙම එයාට පෙනීම ලැබුණා. ඊටපස්සේ එයා දෙවියන්ට ප්‍රශංසා කරකර යේසුස්ගේ පිටිපස්සෙන් ගියා.+ ඒක දැක්කාම එතන හිටපු හැමෝම දෙවියන්ට ප්‍රශංසා කළා.+

පාදසටහන්

ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
හෝ, “දයාව පෙන්නන්න.”
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
මූ.අ., “සමාජ ක්‍රමයේදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “දයාව පෙන්නන්න.”
මූ.අ., “දයාව පෙන්නන්න.”